Tuesday, August 26, 2014

මේඝ

ඉසිඹුලත් මොහොතක ජීවිතය මෙනෙහි කරන ඈ.................

ලස්සන ළමාකාලෙකට, ලස්සන ජීවිතේකට, ලස්සන ආදරේකට මූණ දුන්න අමන්දාගේ ජීවිත කතාව අහන්න එකතුවෙන්න අද ඉඳන්...

මේඝ.....













ඉස්සර වගේම ලස්සනට ගුරු පාර දිගේ ඇහැළ මල් වැටිල. අනිත් පැත්තෙන් ගලාගෙන යන දොල පාරටත් වැටිල පාවෙලා යනව. මේ ලස්සන වින්ද අතීතයෙ දවස් එකින් එක මැවිල පෙනුණ. බට්ටි, ඉන්දු, පොඩ්ඩා, ලොකූ, සංජු, ටික්කා ඔක්කොමල මතක් උණා. ඉස්කෝලෙ ඇරිල අපි ගෙදර යන්නෙ වතුරෙ පෙඟිල සීතලේ හැදෙනකොට.

"පුංචි නෝනෙ ගම ඇවිදින් වගේ. කවදැයි ආවෙ"

"පුංචප්පු මාම ළඟට එනකල් දැනුනෙ නෑ මට"

"දැනෙන්නෙ කොහොමෙයි නෝනෙ. ඇලේ ගිලිලනෙ උන්නෙ"

"මාම මට විහිලු කරනව. නැන්ද ගෙදරද මාමෙ"

"ඕං හතිය වැඩි වෙලා බේත් ටිකක් ගන්ඩෙයි කියල ඉස්පිරිතාලෙ ගියා. එහෙනං මාත් ගොහින් එන්නං නෝනෙ"
මා සිනාසුණා පමණි.

මගේ තාත්තාත් අම්මාත් වෘත්තියෙන් ගුරුවරු වූ නිසාවෙන් ගමේ කවුරුත් ඔවුනට මෙන්ම අපටද එකසේ සැළකූහ. එමෙන්ම මගේ දෙමව්පියන් කෙදිනකවත් මේ ගමේ පොඩිඋන් සමඟ එකට වැටී සිටි අප ඔවුනගෙන් වෙන් කලේද නැත. මා අද මේ සිටිනා තැනට ඒමට ගමෙන් ලැබුණු සහයෝගය මෙතෙකැ'යි කිව නොහැක. 

මගේ දරුවන්ට වැරදුනේ කොතැනද?
******************************************************

"අම්මෙ ආෆ්ටර් ස්කූල් මං නදීරලගෙ ගෙදර යනව, එනකොට හවස් වෙයි"

"පාඩම් කරනව කියල ගිහින් විකාර නටනව එහෙම නෙවෙයි"

"නෑ අනේ.. කෝ දෙන්න ඕක"
ලොකු පුතා පිටව යන්නේ දහවල් කෑම එක රැගෙන මගේ කම්මුලට හාද්දකුත් තබමිනි. හිතේ බය තිබුනේ දෝණි ගැනය. මගේ කීම් කනකටවත් නොගන්නා ඇයට තාත්තා සිටීනම් වෙන කිසිවක් අවශ්‍ය නැත. 

"චූටි දූ නැගිටින්න ලේට් වෙනව මට"

"අම්මි යන්න මං අද ස්කූල් යන්නෙ නෑ"

"ඇයි ඒ"

"අදත් අසෙනි එන්නෙ නෑ. මටත් යන්න බෑ"
හිතට නැගුනේ කේන්තියකි.

"අපි වියදම් කරගෙන ඉන්ටනැෂනල් ස්කූල් වල දම්මල උගන්නන්නෙ අපිට යන්න බැරි වුණ දුරට ඔයාලව යවන්න. එක එක්කෙනා එන්නෙ නෑ කියල ඔයා ස්කූල් කට් කරන්නෙ ඔයාට වියදම් කරන්නෙ එයාල කියල හිතාගෙනද"
හිතට ආ කේන්තිය මම පිට කළෙමි. සාමාන්‍ය පෙළ පන්තියක ඉන්නා දරුවෙකු මෙසේ ඉගනීම නොසලකා හරින්නේ ඇයිද යන ප්‍රශ්නයෙන් මම පීඩා වින්දෙමි. මෙය සිදුවූ පළමුවන වතාව මෙය නොවේ. 

බියවී මා දෙස බලා උන් ඇය දිව ගියාය. තව ටිකකින් තුශාර මගෙන් ප්‍රශ්න කරනු ඇත. මා කාර්යාලයට යෑමට සැරසුණි.

"අමා"

"කියන්න තුශ්"
මම කොණ්ඩය සකසමින්ම කීවෙමි.

"ඇයි ශනූට බැන්නෙ"

"තුශ් මේ ළමය ස්කූල් යන්න බෑ කියනව අසෙනි නැතුව. එයා ඕනිද මෙයාට ඉගනගන්න. මෙයාට වියදම් කරන්නෙ අපිනෙ"

"අපි කියන්නෙ ඔයාද? මමද?"
මට දෙන්න උත්තරයක් සොයාගැනීම අපහසුය. සැබැවින්ම ශනූගේ වියදම් සියල්ල දරන්නේ තුශාරය. අහම්බෙන් මුණගැසී පෙම්වතුන් වූ අප පෙම්පළහිලව්ව විවාහයෙන්ම කෙලවර විය. තුශාර පරම්පරාගත ව්‍යාපාරිකයෙකි. තාත්තාටත් දුවටත් ඕනෑ දෙයක් විසඳා ගන්නට ඉඩදී මම නිවසින් පිටවීමි. 

ශනූගේ ඉපදීමත් සමඟ තුශාර වෙනස් වූයේ ඇයිදැයි මා තවම සොයමි. එහෙත් ඉඳහිට හිත් රිදීමක් කළද මා කෙරෙහි වූ ඔහුගේ ආදරයේ අබමල් රේණුවක තරම්වත් වෙනසක් නැත. 

"මැඩම් අද ලේට් නේද"

"ඔව් අල්විස්. දූගෙ වැඩ වගයක් නිසා ලේට් උණා"

"අම්මල රස්සාවල් කරන කොට දරුවන්ගෙ වැඩ අතපහු වෙනව නේද මැඩම්"
මම අල්විස්ට සිනාවකින් පිළිතුරු දී නිරාශා සමඟ කාර්යාලය තුලට ගියෙමි.

හවස මා ගෙදර පැමිණි වෙලාවේ සිට පුතු ආදිත්‍ය වටේ කැරකෙමින් සිටී. මෙය අරුමයක් නොවේ. ඔහුට තාත්තා ගැන හෝ නංගී ගැන කේලමක් කීමට ඇති විට මෙසේය.

"මොකක්ද අවුල"

"නංගි ගැන"

"මොකක්ද"

"අම්මි එනකොට නංගි හිටියද"

"ම්හ් නෑ. මං ඇවිත් විනාඩි දහයකට විතර පස්සෙ ආවෙ"

"අම්මි ඇහුවෙ නෑ කොහෙද ගියේ කියල"

"නෑ තාත්තිනෙ එක්කන් ආවෙ"

"ශිට්"

"ඇයි පුතේ"

"නෑ අම්මි. තාත්ති එක්ක කේන්තියි මට"
තවත් කිසිත් නොකියා ආදිත්‍ය පිට විය. මා මැදිවූයේ ප්‍රෙහේලිකාවකටය. මම තුශාරව සොයා ගියෙමි.

"තුශ්"

"ඇයි බබෝ"

"වැඩක්ද" 
මම ඔහුගේ ගෙල වටින් අත් බැඳ ඇසුවෙමි.

"ම්හ් නෑ. කියන්නකෝ"

"ශනූ උදේ ඇඬුවද"

"ටිකක්.. ඔයාට දුකයි නේද?"

"හ්ම්ම්. ඔයා එයාව කොහෙද එක්කගෙන ගියේ"

"උදේ ගිහින් අසෙනිලාගෙ ගෙදරට දැම්ම. හවස ඔයා එන්න කලින් එක්කගෙන එන්නයි ගියේ. මගදි අම්මව බලල එන්න හිතිල එහෙත් ගිහින් ආවෙ."
මොහොතක් නිහඬව කල්පනාවේ උන් තුශාර දෙස මා බලා උන්නෙමි.

"තුශ්.. මොකද මේ"

"හිතට පොඩි අමුත්තක් දැනෙනව අමෝ"

"ඇයි... වැඩ වැඩියිද"

"වැඩ නම් වැඩි උනත් කමක් නෑ අමා. මුන් දෙන්න වෙනුවෙන්නෙ මේ නැහෙන්නෙ ඔයත්"

"එහෙනම්"

"නෑ කලබල නොවී අපි බලමුකො. ඔයා කිව්ව වගේ ශනූගෙ මොකක් හරි අනවශ්‍ය ගනුදෙනුවක් තියනව අසෙනිත් එක්ක"

"තුශ් මොනාද මේ කියන්නෙ..."

"නෑ අමා මං ශනූව ගන්න යනකොට අසෙනි කොල්ලෙක් එක්ක එළියෙ ඉඳගෙන හිටිය. කාර් එක දැක්ක විතරයි ගෙට දිව්ව. ඇතුලෙ තව කොල්ලෙක් හිටිය. ගෙදර මිනිස්සු හිටියෙත් නෑ. මං හිතන්නෙ ඒ කොල්ලත් එක්ක ශනූගෙ මොකක් හරි සම්බන්ධයක් තියනව වගේ. කෙල්ල මට හරියට මූණ දුන්නෙත් නෑ."

"තුශ්"

"ම්ම්ම්"

"ආදි මේ ගැන මොනාහරි දන්නව වගේ"

"මොකක්"

"හ්ම්ම් අද මට එයා කියපු කතාවක් එච්චර හිතට ඇල්ලුවෙ නෑ"

"ඇයි මොකක්ද කිව්වෙ"

"නංගිව එක්කන් ආවෙ තාත්තිද ඇහුව, තාත්ති එක්ක කේන්තියි කිව්ව. එච්චරයි"

"ආදි ශනූට වැඩිය ඔයත් එක්ක කියවනවනෙ. හෙමීට අහගන්නවද අමා. අපිට ඉන්නෙත් ඔය පැටවු දෙන්න විතරයිනේ"

මට තුශාර ගැන දුක සිතිණි. එක අතකින් ඔහු මගේ අප්පච්චිගේ ගතිගුණම පිහිටියෙකි. මගේ සිත තුශාර ළඟ නවතින්නට වූ හේතුවද එයම විය. අප ගැන හොයන්නට අම්මාට අප්පච්චී උපදෙස් දෙනු මටද සමහර දින වල ඇසී ඇත.

******************************************************

"අක්කව මං හැමතැනම හෙව්ව. අඳුරත් වැටෙනවනෙ, අපි යමු ගෙදර"
චූටි මල්ලි කියවයි.

"අක්ක ආව එකට අම්ම සතුටින් ඉන්නෙ. අප්පච්චි අන්තිම මොහොතෙත් කිව්වෙ ළඟ ඉන්න දරුවො ගැන බයක් නෑ. ඒත් අමා පව් කියල. එයා අපෙන් ඈතයි කියල."

"දැන් ඉතින් මං ඉන්නවනෙ ළඟ"

"අක්කෙ"

"ම්ම්ම්"

"අම්මටත් මේ බොරුව හැමදාම හංගන්න බෑ. තුශාර අයියයි දුවයි ගැන මුකුත්ම ආරංචියක් අපට හොයාගන්න බැරිවෙයිද?"
දෙනෙත් බොඳ වී කඳුලු පිරෙන්නට වූයේ නිමේශයකිනි. මම කාමරයට වැදුණෙමි. රෑ වනතුරු එක ලෙසම උන්නෙමි.

"අම්මෙ"

ආදිත්‍යගේ හඬින් මගේ කඳුලු අලුත් විණි.





~ එකතු වෙන්න හෙටත් ~ 

16 comments:

  1. අවසානය දුකක්ද සතුටක්ද???

    ReplyDelete
    Replies
    1. කියවලම බලමු නේද?

      Delete
  2. දවස ගානේ දානවද?? අම්මෝ..

    ReplyDelete
    Replies
    1. කිව්වට එහෙමම කරන්න බෑ දේශකතුමෝ. අපිත් දුප්පත්, අහිංසක, අසරණ, ළමයිනෙ

      Delete
  3. හපොයි...
    තාත්තගෙයි දුවගෙයි කේස් එක මොකද්ද...
    දා දා...
    අපිට බලනන ඉතුරු ටික

    ReplyDelete
    Replies
    1. හිටු හිටු පෝස්ට් කරනකල්

      Delete
  4. අලුත් කතා මාලාවක් වගේ, හොඳා හොඳා එකත් එහෙනම් කියවගෙන යමුකෝ බලන්න.

    ReplyDelete
    Replies
    1. අහා කාලෙකට පස්සෙ මේ පැත්ත මතක් වෙලා තියෙන්නෙ ඔය. එන්නකො හෙට විතර කියවමු.

      Delete
  5. හ්ම්ම් කියවලම බලමුකො එහෙනම්.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්ම්. කියවලම බලන්නකො එහෙනම්

      Delete
  6. බ්ලමු එහෙනම් ,කතාව ඉස්සරහට

    ReplyDelete
    Replies
    1. එහෙනම් එන්නකො හෙට දිහාට මේ පැත්තෙ

      Delete
  7. අනිකත් එහෙනම් ඉක්මනට දාන්නකෝ බලන්න..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයත් එන්නකො හෙට දිහාට මේ පැත්තෙ

      Delete
  8. හ්ම්....

    බලමු... !!

    මෙගා නාට්ටියක් වගේද බොල.. හෙටත් එන්න කියන්නෙ?

    ReplyDelete
  9. ආ සෑම් යාලුවා, ස්තුති වේවා මේ පැත්තට ආවට. මෙගා එක පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නෙ. බලමුකො.

    ReplyDelete