Tuesday, August 25, 2015

කවියක්





"සිඳ බිඳ දැවුණු පාලුව සිත වෙහෙසකර
නුඹ විය උදාගිර පෑයූ අරුණු ඉර
තොස කර හද ගිමන් නිවු මේ පාන්දර
එනු මැන සිනා සී නිදිදුව මුදාහැර"


කියවා බැලිමි කවියක්
නුඹ ලියූ මුතු අකුරින්
දනිමි මා දැන්..
මේසය උඩ ඇති තේ කෝප්පයක්,
උදේ කෑමට රසට හැදු යමක්,
දහවලට රතුබතක්, මාලු එක්ක හොද්දක්, මැල්ලුමක්...
තව මොනවහරි දෙයක්..
ගේ පුරාවට හාදු වැස්සක්....
මේවට හිනාවෙන්නෙ මං හරි ආදරෙන්...
හැබැයි දඟලන්නෙ සතුටු වෙන්නෙ වෙන කෙනෙක්..
ආදරෙයි අපි දෙන්නම ඔයාට ගොඩක්.

Tuesday, April 7, 2015

බලා උන්නෙමි.



නුපුරුදු රියෙන් බැස
ඇය යන'යුරු
පියාඹන හාදුවක්
සමගින්
අත වනා නුඹට
මම බලා උන්නෙමි
පුරුදු බස් නැවතුම්පලේ
හිඳ...

Monday, April 6, 2015

තනිකම



හද කකියවන සිතුවිලි රළ නැගුනාම...
නෙතු කඳුලැලි හැලෙයි ඉකිබිඳිමින් තාම....
සිහිනය මා පෙලයි නුඹ දකිමින් රෑම....
හිඳිනා ඉසව්වක නොවියන් දුක  බෝම....

ලා සඳපාන තාමත් වැට උඩින් එබී....
කවුලුව අතැර හෙමිහිට මුව කමල සිඹී...
නුඹ උන් සුවඳ දැනි දැනි කණමැදිරි රැළී....
ඔච්චම් කරයි නිවමින් අඩ අඳුරු එළී....

දහවල ගෙවෙයි ඇයි ඉක්මන් ගමන් හිරූ....
නොදනිමි රාත්‍රිය කිම මේ තරම් දිගූ...
මීදුම් සේල සුදු මුදු පිණි කැට විසිරූ....
හිත හිරිවට්ටවයි අඳිමින් නුඹෙ පිළිරූ...

Monday, March 23, 2015

හැඩයි එදාටත් වැඩියෙන් මගේ හිමී





ඉස්සර වගේ සිනහව මුව රන්දාන
නුඹ එනවාද බිං කළුවර හංගාන
නොකියන වෙහෙස දෙනෙතින් පැන නැංගාම
දෙකොපුල් තෙමමි කාටත් හොර  රහසේම........

දෙවැටේ පිච්ච මල් සුවඳට හිත යනවා
පෝයට පුරා හඳ බැලු හැටි සිහිවෙනවා
මිදුලේ පහන් පැල සුසුමින් සසැලෙනවා
ලා සඳ එළිය මැද උලමෙකු ඉකිළනවා..........

සිතිවිලි කොණිත්තයි හදවත නිමක් නැතී
සේයා රුව අදයි දුටුවේ දෑත බැඳී
එකින් එක හැදිමි මංගල ඇඳුමෙ රැළී
හැඩයි එදාටත් වැඩියෙන් මගේ හිමී.........

Thursday, February 12, 2015

පියෙහි විප්පයෝගෝ දුක්ඛො

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියල දැනෙන්නෙ හිතට ගොඩාක් සමීප කෙනෙක් අපෙන් ඈත් උනාම විතරක්ම නෙවෙයි. අපිත් එක්ක හැමදාම එකවිදියට ඉන්න නොඉන්න ඕනිම කෙනෙක් වෙනුවෙන් අපේ ඇහැට කඳුලක් එන්න පුලුවන්.....

ඒ කටුක ඇත්ත ඊයෙ දවසෙ ඉඳන් මමත් විඳිනවා. ඊයෙ රෑ ඔයා වෙනුවෙන් මමත් ගොඩක් ඇඬුවා. හිතට පුදුමාකාර විදියට දුකක් දැණුන හේතුව තමයි ඔයාගෙ මරණය රොමේෂ්......

ගතවෙන දවසක් ගානෙ ලස්සන පින්තූර ගොඩක් අප්ලෝඩ් කර කර සැහැල්ලුවෙන් හිටිය ඔයාට මොකද මේ උනේ........ මරණය ඔයාට ලඟයි කියල දශමෙකින්වත් නොහිතෙන්න ඇති....... කාටත් උරුම මේ ගමන ඇයි මෙච්චර ඉක්මණට ගියේ රොමේෂ්...

අද මං වගේම තව කී දෙනෙක්ගෙ ඇස් වල කඳුලු තියෙනෙවද කියල ඔයාට පේනවද??? දැනෙනවද???

ඔයා හොස්පිට්ල් ගියාමවත් එකම එක එස් එම් එස් එකක් වත් එවන්න හිතුනෙ නැද්ද?? 

එකම එක ෆොටෝ එකක්....


හිනාවෙවී හිතන්න ඇති ඔයා "මේ පුංචි මදුරුවෙක්ට මාව මරන්න පුලුවන්ද?" කියලා...


ඔයා වෙනුවෙන් මං දිග හරින්නෙ ඔයාගෙ පුංචි මතකයක්...










මේ විදියටම කාටවත් නොකියම ඔයා යන්න ගියාට අපි කාටවත් තරහ වෙන්න බෑ ඔයත් එක්ක. අම්මා ළඟට මාත් යන්න ඕනි කිව්වට මෙච්චර ඉක්මන් වෙයි කියල පොඩ්ඩක්වත් හිතුනෙ නෑ...

ඔයාගෙ අම්ම ළඟට වෙලා සතුටින් ඉන්න... යාලුකමින් පිරුණු  මේ හිතට ඒක සැනසීමක්...






නුඹට නිවන් සුව ලැබේවා!!!



Friday, January 23, 2015

මගේ සඳ.....






පලවෙනි කොටස


චේතියත් තාත්තාත් කුමක් කතා කරනවාදැයි දැන ගන්නට මට උවමනා වුවත් දෙදෙනාම රැකි නිහඬ පිළිවෙත මාද නිහඬ කර තැබිණි. කිසිත් වටහාගත නොහී ළතැවෙන විට, "විසඳුම" උහුලා ගත නොහී බරකින් යුතු මහමෙරක්ව මගේ හිස මතට පතිත විණි.

" වට්??  ඩිවෝස් පේපර්ස්? "

"ලේට් වෙනව.. ඕක සයින් කරල දෙන්න"

"චේති"

"කිව්වනෙ සැරයක්"
චේතියවද පසෙකට තල්ලු කර දමා මා පහළ මාළයට දිව ගියේ තාත්තාගේ හව්හරණ පතන්නට වුවත්.......

"තාත්ති... මේ මොනවද? ඇයි මේ ඩිවෝස් පේපර්ස්?? මොකද්ද තාත්ති මේකෙ තේරුම... අනේ දෙයියනේ ඇයි මේ....ම.. මට කිය..."

"ධාරි..."

තාත්තාගේ හඬ හෙණ සැරයක් මෙන් සවන්පත් මත ගුගුරා යද්දී මගෙන් උදුරාගත් කඩදාසි කොළ කිහිපය තප්පරයකින් අත්සනින් පුරවා මා දෙසට වීසිකර දැමූ චේතිය වාහනය පණගන්වා යන හඬ මට සිහිනයෙන් මෙන් ඇසිණි.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඉදින් කාලයට මා ඉඩ දුන්නෙමි. හදවතේ ගැඹුරුම තැනක නිදන් කොට තැනූ ප්‍රේමයේ හීන එකින් එක හැබෑවී ඊටත් වඩා ඉක්මණින් බොඳ වී යන අයුරු ඔහේ බලා උනිමි.

"ධාරි"

"තාත්ති"

"මං දැන් වයසයි පුතේ"
මම සිනාසුනෙමි.

"මොකද හිනාවෙන්නෙ"

"මුකුත් නෑ"

"ඔයා දැන්වත් ඔය අදහස වෙනස් කරනවද?"

"තාත්තා මට දැන්වත් මේකට හේතු කියනවද?"

"හිතුවක්කාරි, එකට එකම කරනව.."

"මං තාත්තගෙ දුවනෙ.."
තාත්තාගේ මුවට මදහසක් නැගිනි.
"දවස එයි ළඟම"

"තාත්තා අර කවුද?"
මින් පෙර මා නුදුටු කඩවසම් පිරිමි රුවක් අප දෙසට එනු පෙණින.

"ආහ් පුතා.. එන්න එන්න"
තාත්තා ඔහුව පිළිගත් උණුසුම් බවම ඔවුන් මීට පෙර සිට හොඳින්ම අඳුනන බව පමණක් මට වැටහිණි.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

"දැන් තාත්ති කියන්නෙ මට තාරකව මැරි කරන්න කියලද?"

"ඒ ළමය නරක කෙනෙක් නෙවෙයි"

"තාත්තිට චේතියව නරක් උනෙත් නෑනෙ"

"චේතිය උඹට ඔච්චරටම ආදරේ කරා නං උඹල රණ්ඩු සරුවල් උනේ මොකටද?"
තාත්තාගේ කටහඬ බිඳී යනු දැනිණි. එදා තිබූ ගාම්භීර බව අඩු වී ඇති සෙයකි.

"මං නොදන්නව වගේ උන්නට ඔය ඔක්කොම දැන ගෙන හිටියෙ ධාරි. මටවත් නොකිය උඹ කොච්චර දුක් වින්ඳද? ඒකට හේතුවවත් උඹ හෙව්වෙ නෑ. ඒත් මං හෙව්වා. උඹව මට නැතිකර ගන්න බැරිකමට මං හෙව්වා..

ම්..මං.. මං කොහොමද පුතේ අම්මෙකුත් නැතුව දුකක් නොදී මලක් වගේ හදපු උඹ විඳවනව බලන් ඉන්නෙ..."

ඇස් කෙවෙණි පුපුරා කඳුලු පණින දෑස් තාත්තාගේ පපුවට තදකරගත් මොහොතේ දෑස් අගින් දුටුවේ තාරක අප දෙස බලා ඉන්නා අයුරුයි.

"මට සමාවෙන්න මගෙ තාත්ති.."

"උඹේ ඔය නෝක්කාඩු මං එච්චර කල් අහන්නෙ නෑ"

ඉදින් මම ඔහුට කැමැත්ත දුනිමි. පළමු විවාහයෙන් දික්කසාදව උන් තාරක මගේ ස්වාමිපුරුෂයා ලෙස බාරගන්නා බවට මම දිවුරුම් දුන්නෙමි. සිතෙහි තිබුණේ තාත්තා ගැන උපන් අපමණ අනුකම්පාව පමණි.

දෛවය එතරම් අවස්තාවාදීයැයි මට නොහැඟුණි. තවත් දින දෙකකින් පසු මා උන්නේ  සිය පණ දෙවෙනි කොට මා රැකගත් මගේ තාත්තාගේ සොහොන ඉදිරිපිටයි.

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


දුරකථනය නාදවෙයි. මම සිහින ලෝකයෙන් මිදෙන්නට වෙරදැරීමි. එය චේතියගෙන් නම් නොගෙන ඉන්නට සිතා ගතිමි. "තාරක" ලෙස මුහුණතෙහි දැක්වේ... මම ඇමතුම සම්බන්ද කරගතිමි.

"ධාරි"

"කියන්න තාරක"

"පන්සලේ නේද?"

"ඔව් තාරක. ඔයා ගෙදර ගියාද? කමක් නෑ මම එන්නම්"
ඔහු සිනාසෙයි.

"නෑ නෑ දරුවෝ. ඔයාට යාලුවෙක් අඳුන්වල දෙන්න තියනව. මං එයත් එක්ක පන්සලට එන්නං"

පැය බාගයක්වත් ගතවෙන්නට පෙර තාරක පැමිණියේ තනිවමය. තවත් කෙනෙක් එනවා යැයි කීවද පෙනෙන්නට නැත.

"තාරක. ඔයා තනියමනෙ"

"ඇයි.. ඔයා බලන් හිටියද කියපු කෙනාව එක්කන් එනකල්"
මම සිනාසුනෙමි.

"නෑ... ඒත් මෙච්චර දවසක් කියපු දේවල් නොකර ඉඳල නෑනෙ"
ඔහුගේ මුහුණ මදක් වෙනස් වූ අයුරු මට පෙනිණි.

"ඇයි.. මමත් චේතිය වගේ වෙයි කියල හිතුනද?"

"තාරක?"

"පොඩ්ඩක් ඔහොම ඉඳගන්න. දෙයක් කියන්න තියනව"
සියුම් බියක් සිතට දැනිණි.


"අහන්නෙ නැද්ද මොකක්ද කියල"
මම හිස වැනීමි. ඔහු සිනාසෙයි. එහි කුමක් දෝ වටහා ගත නොහැකි හැඟීමක් ගැබ්වී තිබිණි.

"ධාරි"
තාරක චේතිය මෙන් නොව තාත්තාමෙන් මට "ධාරි" කියා අමතයි. චේතියට මා "ධාරා" වේ. නමුදු මම "ධාරි" වෙමි.

"කියන්න"

"ප්‍රශ්නයක් අහන්නද?"

"හ්ම්ම්"

"හ්ම්හ්.. මේ.. මේකයි"
මට සිනා නැගිණි. ඔහු කෙදිනකවත් මෙසේ නොසන්සුන්ව හැසිරෙන අයුරු මා දැක නොතිබිණි. 

"මොකෝ මේ"

"නෑ ධාරි, මේකයි.."

"ඉතින් කියන්න අනේ..."

"මහත්තයා"
එක්වරම ඇසුණු ගැහැණු හඬින් ඔහුත් මාත් එකටම මෙන් පසුපස බැලීමු.

"මැණිකම්මා"
තාරක කලබලයෙන් මුමුණනු මට ඇසිණි.

"තාරක කවුද මේ"
ඔහුට මා කියන දෙය නිනව් නොවිණි.

"මහත්තයා"

"මැණිකම්මා ඔයා මෙහේ මොනවද කරන්නේ.. කෝ දරුවා.. මං.. මං කිව්වනෙ මං එනකල් ගෙදර ඉන්න කියල..."

මට කිසිවක් නොතේරේ... 

"තාරක"
මම මහ හඬින් කෑ ගැසීමි. ඔහුට මා නෑසේ.

"හැමදේම ඉවරයි මහත්තයා. දැන් කරන්න කිසිම දෙයක් නෑ. මට මගේ ගමන යන්න අවසර දෙන්න. මහත්තයට පින් සිද්දවෙනව මට කරපු උදව් වලට"

"දැන් කෝ දරුව"

"නිශා නෝනා අරගෙන ගියා"

"නිශා?"

"මහත්තයා ගෙදරින් ගිය ගමන්ම නිශා නෝන ආව චේතිය මහත්තය එක්ක. එයාල අද රෑ රටින් යනව කිව්ව. මාවත් දාගෙන ඇවිත් මහත්තය එනකල් බලන් ඉඳල පස්සෙන් ඇවිත් මාව දාල ගියා මහත්තය."

"ශිට්.. මොකද්ද මැණිකම්මෙ මේ උනේ. මං දරුවව මගේ කරගන්න බලන් හිටිය...."

"අනේ මට සමාවෙන්න.. මේ දුප්පත් මට කරන්න වෙන දෙයක් තිබුනෙ නෑ මහත්තය. අනික දරුව අම්මයි තාත්තයි එක්කනෙ ගියේ මහත්තයො."

"ඒත් මැණිකම්මෙ.."

තවත් බලා සිටිය නොහැක.
"මට කියනවද මොකද්ද වෙන්නෙ කියල තාරක"

"ඔයා මේක දැනගන්නම ඕනි ධාරි. දන්නවද.... චේතිය ඔයාගෙ වෙන්නත් කලින් ඉඳන් මගේ නංගි නිශාට ළං වෙලා හිටියෙ... මොන හේතුවක් නිසා හරි එයා ඔයාට ලං වුනා. ඔයාගෙ තාත්තා ඔයාගෙ ආසාවට කැමැත්තට ඉඩ දෙන්න ඕනි නිසා ඔයාල බැන්ඳුව. ඒත් චේතිය කවදාවත් මගේ නංගිව අතහැරියෙ නෑ. මං මේක නවත්තන්න බලනකොට මගේ නංගිට දරුවෙක් ලැබෙන්න..."

"නවත්තන්න තාරක. දැන් ඇති."

"ධාරි"

"ඉතිරි ටික මං දන්නව තාරක."

"ඒ කොහොමද"

"මං වෙනුවෙන් ඔයා කොච්චරකල් බලන් හිටියද කියල මං දන්නව...මගේ තාත්ත ඔයාගෙ නංගිව හැංගුව කියල දන්නව.. අවුරුදු ගානක ඉඳන් ඔයා මාව රැක්කා කියලත් මං දන්නව.."

"ධාරි.. ඔ..ඔයා.. මොනාද මේ කියන්නෙ"
මගේ අත රැඳි ඔහුගේ දිනපොත මම ඔහුට පෙන්වීමි.

"ධාරි"

"ඔයාටත් එක දෙයක් වැරදුනා තාරක"

"ධාරි"

"කවදාවත් අම්මෙක්ගෙන් දරුවෙක් උදුරගන්න හදන්න එපා. ඒ දරුව නිශාගෙ"

"මට සමාවෙන්න ධාරි"

පණිවිඩයක් ලැබුණු බවට දුරකතනය හැඬවිණි.

"ධාරා. අපි යනවා. තාරකට කියන්න. අවසාන වතාවට ඔයාව බලල යන්න ආවෙ තාමත් මං ගැන දුක් වෙනවද බලන්න. එහෙම නෑ කියන්න මං දැන් දන්නව. සතුටින් ඉන්න."

අහස මුදුනටම වෙන්න හඳ දිලිසේ... කඳුලු දෑසට බර වැඩි යැයි හැඟේ... අවුරුදු ගානක් දුක් විඳ ඇත්තේ අන්සතු හදකටය... 

තාරක ඈතින් හිඳ බලා ඉඳී.... මා හෙමින් ඔහු දෙසට පා නැගුවෙමි.... දෙපා වලංගු නැතැයි හැඟේ.... එහෙත් බලාපොරොත්තුව .......



~නිමි~