Monday, December 15, 2014

මගේ සඳ.....





මම බලා ඉඳිමි හිස් අහස දෙස දෑස් දල්වා... යලි නුඹ එන තුරු වලාකුළු අතරින් මතුව..... සිනාසී බලා සැනසෙන්න.... මගේ සඳ.....
----------------------------------------------------------------------------------------------------------------------------------------

"ධාරා"

"කියන්න"

"ඔයා තාමත් ආදරෙයිද මට"

"මගේ ආදරේ මග නතර උනාද චේතිය"

"ප්ලීස් ධාරා ප්ලීස්... මගෙන් උනේ හදන්න බැරි වැරැද්දක්"

"ඔයා යන්න චේති"

"මාව පණ පිටින් මරවන්නද ඕනි"

"නෑ මං කොහොමද එහෙම කරන්නෙ"

"ශිට්... ධාරා...ධාරා...ධා..."

ඔහුගේ දුරකථනය නොනවත්වා නදදෙයි.

"ඔය ෆෝන් එකට ආන්සර් කරන්න"

"හෙලෝ..."
"...."

"මගෙ පුතුට තාත්ති එනකොට මොනවද ගේන්න ඕනි"
"........"

"තාත්ති එනකල් දොයියන්න ඔට්ටු නෑ ඔන්න පැටියෝ"
"....."

"හා හා තාත්ති හඳමාමි එන්න කලින් එන්නම්කෝ... "
"........"

"බුදුසරණයි මැණික"
"හ්ම්හ්..."

"පුතුද"

"හ්ම්ම්"

"ඔයා දැන් යන්න චේති"

-------------------------------------------------------------------------------------------------------------------------

වට්ටියක් පුරවා සුදුමල් කැඩුවේ පන්සලට යාමටම ඇති අවශ්‍යතාවය නිසා නොවේ... මට දැන් අවැසි තාරකගෙන් දෑස් සඟවා වසන් වීමටය...

"හෙලෝ තාරක"

"කියන්න ධාරි"

"මම පන්සලට යන්න කියල"

"හ්ම්ම්... ඔයා යන්න. මං එනකොට හත විතර වෙයි. පන්සල ලඟින් ඔයාව ගන්නම්..."

----------------------------------------------------------------------------------------------------------
පොහෝ දිනයක් නොවුණද තරමක් සෙනග ගැවසේ... පිරිත් හඬ මැදින්ම මල් පහන් පූජා කර කාටවත් නොපෙනෙන කොනක ඉඳගතිමි.. අතීතය දෑස් ඉදිරිපස මැවෙන්නේ සිනමාපටයක් මෙනි.

"ධාරි, ආෆ්ටර් ඒලෙවල් මොනාද කරන්න හිතන් ඉන්නෙ"

"නතින්ග් ස්පෙශල් තාත්ති. බිස්නස් වලට ඉන්වොල් වෙන්න එපා කියල තාත්තිනෙ කියන්නෙ. ඒත්..."

"මේකයි පුතේ.. මාත් කැමතියි ඔයාව ඉන්වොල් කරගන්න. බට්, කවද හරි දවසක ඔයාගෙ මැරේජ් එකේදි ඒක ප්‍රශ්නයක් වෙයි"

"ඒකට තව කල් තියෙනවනෙ තාත්ති. එතකොට මං අයින් වෙන්නම්"

"ඔයා හිතන තරම් ඒක ලේසි නෑ දරුවෝ"
මම සිනාසුනෙමි.

"ධාරි කවුද චේතිය කියන්නෙ"
මේ මොහොතේ තාත්තාගෙන් එවන් ප්‍රශ්නයක් මම බලාපොරොත්තු නොවුනෙමි.

"තාත්ති"

"ගොඩක් දේවල් නොදන්නව වගේ හිටියට මං මේව දන්නව පුතේ.. ඒ ළමයට ඇවිත් මාව මුණගැහෙන්න කියන්න.."

ඉදින් මා තරම් තවත් වාසනාවන්තියක් නොවේයැයි මා සිතූ තරම්. චේතියගේත් මගේත් ප්‍රේමය නොසිතූ පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර වූ පසු විවාහයකින් නිම විය..
.....................................................................................................................................................................

"ධාරා"

"ම්ම්ම්"

"දන්නවද මේ ලෝකෙ වැඩියෙන්ම වාසනාවන්ත කවුද කියල"

"හ්ම්ම්"

"කවුද"

"මේ මමනෙ අනේ.."

"පිස්සි... ඔයා නෙවෙයි, මේ මම"

"ඇත්තට...... ඇයි දන්නෙ නෑ එහෙම උනේ"

"උනේද, උනේ මෙන්න මේ පිස්සු මගුල නිසා..."
තවත් කියන්නට උපමා නැත.. මගේත් චේතියගේත් විවාහය, ජීවිතය, සියලු සැප සම්පත් මැද ජය ගෙන තිබිණි...  එහෙත් කොපමණ කලකටද?

............................................................................................................................................................................................

වෙනදා මෙන් නොව විවාහයෙන් දෑවුරුද්දකට පසු චේතිය එන්න එන්නම වෙනස් පුද්ගලයෙකු වන්නට විය.

"ධාරා"

"කියන්න චේති"

"ඔයාගෙ තාත්තට පිස්සු හැදීගෙන එනවද"

"චේති"

"ඔන්න මං නොකිව්වයි කියන්න එපා, එයාට කියනව තමුන්ගෙ වැඩක් බලාගෙන ඉන්න කියල.. මේක පුදුම කරුමයක් උනානෙ, දුවව මට බන්දල දුන්න කියල ඒ පළියට මගේ හැම වැඩකටම ඇඟිලි ගහන්න අයිතියක් නෑනෙ"

මගේ සිරුර පුරා විදුලි සැරයක් වැදුනාක් මෙන් විය. කිසිදාකවත් නොවූ ලෙස චේතිය බැන වදී..... එහෙත් හේතුව.... 

රැය පහන් වූයේ කෙසේදැයි නොදනී... 

"නෝනෙ"
මාලා හෙමින්විත් මා හට කොඳුරයි... මම හිමින් සීරුවේ හිස එසවූවෙමි...

"දැන් ගොඩක් දවල් වෙලා. මහත්තය බැල්කනියට වෙලා ඉන්නව. ලොකු මහත්තය ඇවිත්..."

"මාලා, මහත්තය ඔෆිස් ගියෙ නෑ.."

"ම්හ්හ් නෑ නෝනෙ"

ඉක්මණින් රෑ ඇඳුම උනා දමා, ගවුමක් ඇඟලාගෙන පහලට ගියේ දෙගිඩියාව සිත දරාගෙනමය.

"ධාරි"

"තාත්ති"

"කෝ චේතිය"

"උඩ"

"මට පොඩ්ඩක් හම්බවෙන්න ඕනි"

"චේතී, තාත්ති කතා කරනවා"

"ඉන්න පොඩ්ඩක්, මං එනවා.."



-මතු සම්බන්දයි-