යාන්තම්වත් එළිය නොපෙනෙන බිත්ති හතර ඇතුලට ඇඟිලි තුඩු වලින් වත් ලංවෙන්න බැරිතරම් උසින් තියෙන පුංචිම පුංචි කවුලුවෙන් වැටුණ පාන්දර හීනි අවුරැල්ලක් ගලාගෙන ඇවිත් සංසලාගෙ මූණට වැටුණ. මේක දැන් අරුමයක් නෙවෙයි. එළිවෙනව රෑ වෙනව කියල දැනෙන්නෙ මේක නිසා.
"අද හෙට මෙහෙමම ගෙවිල යයි.. ඒත් ඉස්සරහට යනකොට මට මාවත් අමතක වෙන තරමටම කාලය වෙනස් වෙයි.... දෙයියනේ මොකද මේ උනේ මට.."
හිතට ආව හැගීම් කියාගන්න බැරුව සංසලාගෙ මුවින් සුසුමක් පිටවුනා.
....................................................................................................................................
"සංසී...."
"මොකද බං පන්තියට එන්න කලින් බෙරිහං දෙන්නෙ"
"දන්නවද වැඩක්"
"වැඩ නම් දන්නවා... හැබැයි ඉතින්.... උඹ කියන එක නම් දන්නවද දන්නෙ නෑ"
"මගෙ අම්මෝ මේකි නරක් වෙලා තියෙන තරම... අල්ලගන්නම්කො නලින්ව. මොනාද ඉගැන්නුවෙ අහන්න"
"අනේ මේ ඕව වැඩක් නෑ. කියපන්කො කියන්න ආව එක"
"නෝටිස් බෝඩ් එකට නිකමටවත් එබුනෙ නැද්ද"
"නෑ ඇයි"
"අන්න සමස්ත ලංකා තරඟ එනවලු මග"
"අහා.... එහෙනම් මේ සැරෙත් මගෙ වැඩ පෙන්නන්න පුලුවන් යන්න කලින්"
සංගීත ලෝකයේ කඩඉම් එකින් එක ජය ගනිමින් සංසලා ජීවිත ගීතය හැඩවැඩ කරගත්තේ ඇගේ පුංචි සංදියේදීමයි. මේ ඇගේ උසස්පෙල ජීවිතය ඇරඹූ කාලයයි. පොත්පත් අතර සිරවී සිටිනවාට වඩා සංගීතය හා ඇය බැඳී සිටියා.
"තාත්ති"
"ඇයි පුතේ"
"සමස්ත ලංකා ඇවිත්"
"හ්ම්ම්"
"ඇයි ඉතින් හ්ම්ම් කියන්නෙ. මට ප්‍රැක්ටිස් කරන්නෑ"
"දැන් ඔයා ලොකු ලමයක්. ඔයාට තේරෙනවනෙ මගෙ දරුවෝ. ප්‍රැක්ටිස් පටන් ගන්නකො. හැබැයි පුතේ පාඩම් වැඩත් ඒ වගේම වෙන්න ඕනි."
"හා... තාත්තෙ... මේ.."
"ඇයි. ඒපාර මොකටද තටමන්නෙ"
"නෑ මේ.. නලින්ට එන්න කියන්නද"
"ඇයි දැන් එයාටත් ඉගනගන්න එක ඇතිවෙලාද. මං දැක්ක අදත් ගිටාර් එක එල්ලගෙන යනව. මෙන්න මේක තේරුම් ගන්න පුතේ අපි ඔයාලට අවසර දුන්නෙ පිස්සු නටන්න නෙවෙයි. හොඳට ඉගනගෙන තැනකට ඇවිත් හොඳ ජීවිතයක් ගතකරන්න. මේක වැරදියට තෙරුම් ගන්න එපා"
කියවමින් සිටි පත්තරයත් විසිකරදමා තාත්තා ගිය හැටි අතීත මතක අතරින් සංසලාගේ දෙනෙත් අභියස මැවේ.
"මට සමාවෙන්න තාත්තේ"
හීනි ඉකිබිඳුමක් මුවින් ගිලිහී දෙනෙත් කඳුලින් කම්මුල් පෙඟී යන අයුරු ඈට දැණිනි.
"සංසි"
"හ්ම්ම්"
"දැන් ඔයාට ඒ ලෙවලුත් ඉවරයි. අපිට ටික කාලයක් ඉන්න පුලුවන්නෙ. ඔයා තරුණසේවා එකට යනවද. ඒක හොඳයි මියුසික් වලට"
"හරි ඉතින් මං දැන්ම බඳින්න ඕනි කිව්වෙ නෑනෙ. දැන් මට කියන්නකෝ මේ ලමය මේ වටින් ගොඩින් කැරකිලා මොකක්ද කියන්න හදන්නෙ කියල"
හෙමින් ඔහුගේ කන්පෙත්ත කොනිත්තමින් ඈ අසයි.
"කපටි කෙල්ල"
"ඌයි මගෙ නහය. මොනාටද දැන් ඔය අවසර ඉල්ලන්නෙ මගෙන්"
"ඇයි දරුවො මං ඔයාට කිව්වෙ මට කොළඹට යන්න ඕනි කියල"
"යන්න එපා"
"ඇයි ඒ"
"එහෙ ඉන්නෙ නරක අයනෙ"
"අයියෝ ඉතින් ඔයා බබෙක් වෙන්න හදනවනෙ"
"ඉතින් ඔයාමනෙ මට බබා කියන්නෙ"
"මේකිට...."
සංසලාගේ සිතුවිලි විල ඉහිරී ගියේ එක පාරටම ඇහුනු අඳෝනාවකින්. අත් දෙකෙන්ම තද කරල ඒක ඇහෙන්නෙ නැති වෙන්න කන් වහගෙන ඔලුව දණිස් අතරෙ ගහගත්තත් එයාට දැනුණ ඒ හඬ එන්නේ නලින්ගෙ මතකය එක්ක කියල. කවදාවත්ම අමතක කරල දාන්න බැරි ඒ අසරණයගෙ මතකය එක්ක.
නලින් ගමෙන් ගියෙත් සංසලා පන්ති යන්න පටන් ගත්තෙත් එකම කාලෙක. වැඩ වැඩි නිසාම වෙන්න ඇති නලින්ට සංසලා ගැන ගොඩක් හොයන්න ඉඩක් ලැබුනෙ නෑ.
සංගීතය එක්ක ගෙවිච්ච ජීවිතේ අමුතු පාලුවක් සංසලාට දැනුනෙම නැති තරම්. ඒත් අන්තිමේ හැම දෙයක්ම කනපිට පෙරලෙන්න වැඩි කාලයක් ගියෙත් නෑ.
"එන්න දරුවො, වාඩිවෙන්න"
අම්ම කියනව සංසලාට ඇහුණ.
"කොහොමද ඉතින් නැන්දෙ"
ඒ කටහඬට දුවගෙන එන්න තරම් ලොකු උවමනාවක් සංසලාට එදා දැණුනෙ නෑ. භාතිය සර් තියාගන්නම කියල දුන්නු වයලීන් එකේ තත් අතරෙ තදට සංසලාගෙ ඇඟිලි තදවෙලා තිබුණ.
"දෝණි, මේ දරුව ඇවිත්"
අම්මගෙ කටහඬ ඇහිල ටික වෙලාවකින් සංසලා එලියට ආව. ඒත් ඉස්සර වගේ ලෙන්ගතුකමක් ඇයි නොතිබුණේ කියල නලින්ට ලොකු ප්‍රශ්නයක්.
"මොකද මේ වෙලා තියෙන්නෙ"
"ඇයි... මට මුකුත් වෙලා නෑ"
"නැද්ද වෙලාද කියල මට තේරෙනවනෙ. තාමත් තරහින්ද ඉන්නෙ. හරි හරි දරුවො එදා මං ඇවිත් ඔයා නැති නිසා එහෙමම ගියේ වැඩ තිබුනු නිසානෙ. කෝ මෙහෙ එන්න"
නලින් සංසලාගෙ අතින් ඇද්දත් එයා අත ගලවගත්තෙ හරියට කවදාවත් ඒ අතේ එතිල හිටියෙ නෑ වගේ හැඟීමකින්. එතකොටමයි නලින් දැක්කෙ "කවදාවත් ඔයා දාන මුද්දක් ඇරෙන්න ආසාවටවත් මුද්දක් දාන්නෙ නෑ" කියපු සංසලාගෙ අතේ තිබුනු ලස්සන රත්තරන් මුද්ද.
"බබා"
"ඇයි නලින් අයියෙ"
"ඉස්සර ගොඩක් දේවල් දැන් වෙනස් වෙනව නේද"
"අපෝ තේරුනා නම් ලොකු දෙයක්"
"මාවත් එහෙමද"
"මට වද දෙන්න එපා අය්යෙ"
එදා ඇතිවෙච්ච හිත් අමනාපකම තමයි සංසලාව මේ තරම් දුර ගෙනාවෙ.
"භාතිය"
"ඇයි වස්තු"
"මට බයයි"
"මොකටද බය වෙන්නෙ ළමයො"
"නෑ නලින් ඉන්නෙ මං ගැන කේන්තියෙන්. මට බයයි කොයි වෙලේ හරි මට මොනවහරි කරයි කියල"
"අනේ මේ නිකන් ඉන්න. මං නලින් උනා නම් මෙලහට ඔයාව බලෙන් අරන් ගිහින්. නැත්තම් ඔයාව අයිති කරගන්න හදන එකාට හොඳ පාඩමක් උගන්නල"
"අනේ මංද"
"පොඩ්ඩක් ඉන්නවකො"
භාතිය කාරයට ගොස් ගෙන ආ යමක් සංසලාට දුන්නේ කපටි හිනාවක් දාගෙන.
"බය නම් මේක තියාගන්න. ඔයාගෙ ආරක්ශාවට. කරදර කරන්න ආවොත් පොඩ්ඩක් පෙන්නුවාම ඇති. කෙල්ලගෙ හැටි කොල්ල දන්නවනෙ"
භාතිය දුන්නු දේ දිහා බයෙන් බැලුවත් සංසලා ඒක අරන් පර්ස් එකට දාගත්තා.
භාතියත් නලිනුත් අන්තිමටම සංසලාට හම්බුන දවසත් එදාමයි.
සෙනග පිරිච්ච බස් එකේ සංසලාට ඉඳගන්න ඉඩක් හම්බ උනේ නෑ. හිටගෙන එන සංසලා ලඟ ඉස්සර වගේම නලින් හිටිය... පිස්සෙක් වගේ කියව කියව. වටේ පිටේ අය ඉන්නව කියල නලින්ට හැඟීමක් තිබුනෙ නෑ. එයා අයිතිවාසිකම් කිව්වෙ පුංචිකාලෙ ඉඳන් ලඟ තිබුනු ආදරේට.
"මාව දාල යන්න හැදුවොත් මරනව උඹව"
නලින් එහෙම කිව්වෙ ආදරේටමයි. මත් වෙච්ච බඹරෙක් ගානට උන්නු භාතිය ගැන නලින් දන්නව හොඳට.
පොඩ්ඩක් අවුල් වෙච්ච මුදු ගැහුණු කොණ්ඩෙ... පළල් නළල...... ඝන ඇස්බැමි....... යාන්තමට වැවීගෙන එන රැවුල දිහා හොරැහින් බලන අතරෙ භාතිය ආදරෙන් අතට දුන්න පිහිය සංසලාගේ අතට හිර උනා.
හැමදේකම අවසානය සංසලා තීරනය කරා......එයාගෙ ජීවිතේ ඇරෙන්න.........
"මාව මරන්න එපා සුදුහාමිනේ මං ආදරෙයි ඔයාට"
නලින්ගෙ අවසන් හුස්ම ටික යනකල්ම නලින් එච්චරයි කිව්වෙ.
නියපොත්තකටවත් තුවාල වෙන්න නොදී සංසලාව බලාගත්තු නලින්ව සංසලා තුවාල ගොඩක් කරල දැම්ම. එක වතාවක්... දෙවතාවක්.... නෑ ... පොලිස් පොතේ ලිය වුනා දහසය පොලක් කියල....
පැදුරටත් නොකිය අතුරුදහන් උන භාතිය කොහෙද දන්නෙ නෑ.
"සේරටම වැරදි උඹ. උඹට බැරි උණා උඹේ ආදරෙ රැකගන්න. කාලකන්නි කෙල්ල"
සංසලාගේ ඇතුලාන්තය කෑ නොගහන වෙලාවක් හොයාගන්න බැරි තරම්. කඳුලු නිසාම ඉදිමිච්ච ඇස්, පිහාටු වලින් එකට ඇලිල තිබුන. අවුල් වෙච්ච කෙස් මූණට වැටිල දවල් ඉර එළියෙ හීනි රැල්ලෙන් තඹපාටට දිලිසුණා.
~ නිමි ~