Wednesday, February 19, 2020

පිණි කඳුලු - දෙවෙනි කොටස


Image result for painting art








අපි දැන් මොකද කරන්නෙ අම්මෙ.. ආපහු ගෙදර යමුද...

ආදිත්‍ය අසයි.. මම පිළිතුරක් නැතිවම දැවුනෙමි... මොහොතක් ගෙන හිත වාරුකර ගතිමි. කදුල පිලිතුරක් නොවේයැයි මා දනිමි.

ගෙදර යන්න බෑනෙ පුතේ... අපි ටික දවසක් මෙහෙම ඉමු.

ඇයි ඒ... කවුරුත් දන්නෑනෙ අම්මා අපිට මොකද උනේ කියල. ඇහුවොත් කියමු දෙන්නා ටුවර් එකක් ගිහින් කියල.

ඔහු කියනා දේද සැබෑය. බොහෝ විට තුශාර ව්‍යාපාර කටයුතු සඳහා රටින් පිට කල් ගතකරන බව අසල්වැසියන් දනී. මේ වන විට දියණියත් ඔහුත් නැතිව සතියකි.

ගෙවුණේ තවත් දෙදිනකි.

දැන් ආවෙ ඉක්මනට යන්නෙ නෑ කියල නේද?? අම්මා නෝක්කාඩු කියයි. 

අර ළමයයි කෙලිපොඩ්ඩයි දෙන්නත් ආවනං ඉවරනෙ... උඹලට තව බැරි උණා එකට ගමනක් යන්න. ඒකට අපි. අනේ අපි උඹල තුන්දෙනාව කරගහගෙන නෙව ඒකාලෙ යන හැමතැනම ගියේ... අර මනුස්සයා බර ඇදලම යන්න ගියා.. එකෙක්ට බැරි උණා සැනසීමක් දෙන්න. හිතුවක්කාරකමට යුනිෆෝම් අඳින රස්සාවක් කරන්න ඕනි කියල එකෙක් අකාලෙ මැරුණා.... උඹව කසාද බන්දලා සැනසීමෙන් ඉන්න පුළුවන් කියල හිතුවට ඒක හරිහමනකට උණෙත් නෑ... අනිත් එකා ගෙදරට නාකි වෙවී ඉන්නව... මොකෙක් හරි හදිහූනියමක්වත් කරලද මංදා අපිට...

ඇය හූල්ලයි... තව ටිකකින් එය ඇඩුමකට පෙරලෙන බව මා අත්දැකීමෙන් දනිමි.

අනේ අම්මෙ... දැන් ලොකුමල්ලි මැරුණට පොඩි මල්ලි ඉන්නවනෙ. එයාට තව වයස තියනව.. ඔයත් එයා හොයාගන්න ඒවට කුලමල නොකියා ඉන්නකො..එතකොට බඳියි එයත්.... මට කියල මොන ප්‍රශ්නද... මේ ඉන්නෙ අපූරුවට... 

හිතේ ආවේගය පාලනය කරගනිමින්ම මම කීමි. 

ඔව් ඔව් තකහනියක් මෙහේ දුවගෙන ආවෙ මගේ දුක සැප බලන්නම නං මොන එහෙකටද කාමරේට වෙලා හූල්ල හූල්ල ඉන්නෙ.. ලොකු දුවේ කියපං මට මොකද උනේ කියල... දෙන්න එක්ක ආරෝවක්වත් උනාද...

ඇගේ හඬ රළුය... එදා මෙන්ම අදද මම එයට බිය වීමි.. 

පිස්සුද අම්මෙ... 
මෙය තව දුරටත් ඇයට රහසක් වීම නුවණට හුරු යැයි හැඟේ.

අපි හෙට උදෙන් යන්න කියලා.. ආදිටත් වැඩවගයක් තියනව කිව්ව. තුෂාර නැති නිසා ඔෆිස් එක පැත්තත් බලන්න ඕනිනෙ. 

හදිසියේ ගත් තීරණයෙන් මම ආදි සමගින් ආපසු ගෙදර බලා ආවේ එදින හවසමය.... යළි ගම යායුත්තේ මොවුන් දෙදෙනා සොයාගෙනය.  

දෙසතියක් ඉක්මවූවද ශනූගෙන් හෝ තුශාරගෙන් ඇමතුවක්වත් නොලද්දෙමි... ඉමක්කොනක් හොයාගත නොහැකි වූ කතරක මා අතරමං වූවාසේ මට හැඟේ.......... අවසන තීරණයක් ගතිමි.

******************************************************************

දැන් මිසිස් අමන්දි කියන්නෙ ඔයාගෙ දුවයි මහත්තයයි ගැන ආරංචියක් නැතුව සති දෙකක් කියලද?? 

ඔව් සර්... 
මම පිළිතුරු බැඳීමි.

මෙච්චර දවසක් යනකල් කම්ප්ලේන් නොකරෙ???????

එයාල කතාකරයි කියල මං බලාගෙන හිටියෙ... අපිට වෙන ප්‍රශ්න තිබුනෙ නෑ සර්...
දුව කොහොමත් මට වඩා තාත්ත එක්කයි ඉන්න කැමති... දෙන්නම අතුරුදන් වෙන්න කලින් මම දුවට හොඳටම දොස්කිව්ව සර්..

හේතුව???? ඔහු විමසයි.. ඒ තියුණු ඇස් මා දවයි..

දැන් ගොඩක් කල් ඉඳන් දුවට අෆෙයාර් එකක් තිබිල තියනවා.. කලිනුත් දැනගෙන හිටියට මං හිතුවෙ එයා ඒක නවත්තල ඇති කියල. ඒත් හදිස්සියෙම කලින් දවසෙ දවල් මම ඔෆිස් එකේ වැඩකට එළියට ගියා... එතකොට මං දැක්කා දුව ඒ පිරිමි ළමය එක්ක කා එකකින් බැහැල පේස්ට්‍රි ශොප් එකකට යනව. ඒගැන  අහන්න ගියාම දුව හිතුවක්කාර විදියට රණ්ඩු උණා.. මහත්තයා දුවගෙ පැත්ත අරං මට කෑගහල ගෙදරින් ගියා.

කොහෙ යන්නද ගියේ?? ඔහු විමසයි.

ඔෆිස් එකට.. දුවත් එයා එක්කම ගියා... මම කීමි.

හොඳයි... ඇයි මෙච්චර පරක්කු උනේ කම්ප්ලේන් කරන්න. 

මං කිව්වෙ සර්... මං එයාල එනකල් බලං හිටියා... මම ඔහේ පිළිතුරු දුනිමි.

සති දෙකක් තිස්සෙ.. මාරයිනෙ.. 
ඔහු ඔලොක්කුවට මෙන් හිනාවෙයි.

ඔයාල වගේ අය ඕනිතරම් අපට මුණගැහිල තියනව මිසිස් අමන්දි. අපි බලමු මොකද වෙන්නෙ කියල.. 

පොලිස් නිළධාරියාගේ කටුක වචන දෙකන් පසාරු කරගෙන යනු මට දැනුනි..

එතකොට ඉන්ස්පෙක්ටර් කියන්නෙ මාව සැකයි කියලද.. මම ඇසීමි.
අපි බලමුකො... එය ඔහුගේ පිළිතුරයි... ඔහු ඉදිරියේ මා අසරණ වනු මට දැනිනි.

ඉන්වෙස්ටිගේශන් කරනකොට සර්ලට තේරෙයි...... පිං සිද්ද වෙයි මට උදව් කරන්න මගෙ දරුවයි මහත්තයයි හොයාගන්න... වටේ පිටේ උන් අනෙක් නිළධාරීන්ගේ අවමන් සිනා මැද මා ඉන් පිටතට පැමිණීමි.... ඔවුන් මා මිනීමරුවෙකු යැයි වරදවා වටහා ගෙන ඇතැයි මට සිතේ.. කෑ ගසා හඬන්නට මට අවැසිය......

1 comment:

  1. හැක්... උඹ ආපහු ඇවිත් අවුරුදු ගානකින්. ඒක දැක්කාම කතාව කියෙවුවෙත් නෑ. කමෙන්ට් කරන්න ආවේ. දැන් ගිහින් කතාව කියවලා එන්නම් ....

    ReplyDelete