Wednesday, August 20, 2014

නුඹ එනතෙක්....



මග බලන් ඉන්නම් මං
කවදාක හෝ ඇවිදින්
කැන්දාන යන තෙක් රහසින්
වත කමල මවමින් සිත්කොණෙන්

පිච්ච මල් කැකුලු සුවඳින් 
මල් මාල වැටෙන තෙක් ගෙල'ගින්
හෙන්දිරික්කා සුවඳ විඳගෙන
සඳ පහන් රැය ගෙවන්නම් තනිකමින් 

රතු රෝස පොකුරු ගෙන'විත්
අපේ යහනත සරසනා තෙක් මෙතුවක්
හිත මතම දඟකරන හීනය
නොවිඳවා විඳින්නම් නුඹෙ නමින්

Tuesday, August 19, 2014

S.M.S ආදරේ... [ අවසාන කොටස ]



පළවෙනි කොටස
දෙවෙනි කොටස           බලල එන්න...


කතා බහක් නැතුවම මාත් මිගාරත් ඉස්සරහටම ගියා. මිගාරට හිතෙන්න ඇති ඒක හොඳ නෑ කියල.

"අමා, ඇයි කතා නැත්තෙ"

".........."

"ඔයාට කියන්න දෙයක් තියනව"

"ඒකෙන් බාගයක් මං දන්නව."

"මොනවද"

"ඔයා ගීතිකගෙ අයියගෙ නමින් එයාගෙ සිම් එකෙන් මට එස් එම් එස් එව්ව. ගීතිකගෙ පොතේ තිබුණු කවි එව්ව. බස් එකේ ළඟ හිටිය කෙනා කියල මාව බය කරා"
මං එක දිගටම කියෙව්ව.

"ඇයි කියන්නෙ නැත්තෙ ඔයාට බලාපොරොත්තු දුන්න කියල"

"ඒක ඉබේම ඇති උණු දෙයක් මිගාර. ඇයි මාව සෙල්ලමකට ගත්තෙ"

"දිගා ඔයාට ආදරේ හින්ද"
මං එතනම නතර උණා.

"එන්න යමු....... දිගා ඔයාව දැකල තිබුන බස් එකේදි. දවස් ගානක් බලන් ඉඳල කොල්ලෙක් ඉන්නවද කියල. දවසක් මාව මීට් වෙන්න ක්ලාස් එකට ආව. ඔයාව දැකල මට හැමදේම කිව්ව. ඌට ඔයත් එක්ක කතා කරන්න ඕනි උනා. ඒත් ඒක සිද්ද උනේ නෑ. ඌ ඔයාට කවි ලිව්ව. කවදාවත් ලබාගන්න බැරි වෙයි කියල දුක් උනා. එදා ඔයාගෙ නම්බර් එක දුන්න දවසෙත් අපි දෙන්න ඇවිත් ඔයා දිහා හොරෙන් බලන් ඉඳල ගියේ අමා"

"ඇයි ඒ"

"එකක් දිගා කියන්නෙ ගොඩක් දුක් විඳල ඔය තැනට ආපු එකෙක්.  අනික ඌට කවුරුත් නෑ. ඉන්නෙ ආත්තම්ම එක්ක"

"ඇයි අම්ම තාත්ත, සහෝදරයො නැද්ද"

"ඇක්සිඩන්ට් එකකින් අම්මයි තාත්තයි නැති උනා. අයියයි මූයි ආත්තම්ම ළඟ හිටියෙ. දෙන්නව ජීවත්කරවන්න අයිය ආමි එකට ගියා. එයා යුද්දෙ කාලෙ නැති උණා. දැන් දිගා අත්තම්ම බලාගෙන ඔය ඉගනගන්න වැඩයි ජොබ් එකයි කරගෙන ඉන්නව. ඒකයි ඔයා අකමැති වෙයි කියල ඌ හිතේ තියාගෙන ඉන්නෙ"

හිතට අමුතු දුකක් ඇති විණි. ඒ මූණ මැවී පෙනිණි. ඒත්

******* එස් එම් එස් *******

"මිගාර"

"ඇයි"

"එතකොට එස් එම් එස්"

"ඒවත් දිගාගෙම තමයි"

"මොකක්"

"ඒව දිගා එයාගෙ ෆෝන් එකෙන් ඔයාට එවනව වගේ අයියගෙ ෆෝන් එකට එවපු ඒව. මං ඔයාට එව්ව. පලවෙනි එස් එම් එස් එකට අයියගෙ නම දැම්ම"

"ඔයා කියන්නෙ බොරු මිගාර"

"ඇයි"

"එතකොට කොහොමද මං ළඟ ඉඳගෙන ගියා කියල කිව්වෙ"

"ඔයා ලඟ ඉඳගෙන හිටිය කෙනා ඔයා ඉඳගෙන ටික වෙලාවකින් බැහැල ගියා කියල මතකද අමා"

"ඔව් ඉතින්.."

"එයාව මතකද"

"එච්චරම ගාණක් නෑ මට"

"එතන හිටියෙ දිගා. අපි ඔට්ටු අල්ලල ඔයා ලඟ ඉඳගෙන පෙන්නන්න කිව්ව. ඒකයි උනේ"

"ඔයා මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරනවද මිගාර"

"බොරු කතා ඕන නෑ අමා. උඹ දිගාට කැමතියි. එහෙම නේද? "

"මිගාර මං..."

"මේ හැම දෙයක්ම දන්න තව කෙනෙක් ඉන්නව අමා"

"ඒ කවුද?"

"දිනිති"

"මොන විකාරයක්ද මේ. ඇයි මිගාර මෙහෙම වංචා කරන්නෙ. දිනිතිත් මේක දැනගෙන හිටියද?"

"දිනිතිගෙයි මගෙයි සම්බන්දෙට දැන් ගොඩක් කල් අමා. මට දිනිතිව මීට් උනේ දිගා නිසයි. අපි දෙන්න කතාවෙලා තමයි මේක කෙරුවෙ. දැන් හැමදෙයක්ම දිනිතිත් දිගාට කියල ඇති. අපිට ඕනි උනේ දිගාට ඔයාව යාලු කරවන්න. මේ කරපු දේවල් වලින් හිත රිදුන නම් සොරි අමා"

දෑසින් කඳුලු වැල් ගලයි. මිගාර වැරදි නැත. ගීතික මොනව හිතනවාදැයි නොදනිමි.

** එස් එම් එස් ** ගිය දුර වැඩිය.

*********************************************************************************

ඔරලෝසුවේ ටික් ටික් හඬ කාමරය පුරා පැතිරෙයි. ගත වූ වේලාව පිළිබඳව නිශ්චිතයක් නොවිනි.
ජංගමය නාද වෙයි...

***** එස් එම් එස් *****

බලනවද?             නැද්ද?
ඔන්න ආයෙත් හිත දෙකට බෙදිල.

කමක්නෑ බලනව.

එස් එම් එස් එක දිගාගෙන්.          හිතට බයයි.                   ඒත්...              මං එස් එම් එස් එක බැලුව.

Waiting for your "L".....

හිතට දැනුන හැඟීම වචන කරන්නෙ කොහොමද?

අනේ මන්දා.....

මං රිප්ලයි කරා.

ආයෙත් කවදාවත් දිගාට තනිකමක් නොදැනෙන විදියට...

වැරදුනා............. වැරදුනා................... හොඳටම වැරදුනා............

දිගා ට නෙවෙයි ගීතික ට...



"LOVE"



                                       




Monday, August 18, 2014

S.M.S ආදරේ... [ ii කොටස ]






බලන්න බැරි වුණ අය කලින් කොටස බලල එන්න


මොකක්ද ඇඳන් යන්නෙ. බරපතල ප්‍රශ්නයක් මතු උණා කවදාවත් නැති විදියට. හිත දෙපැත්තකට බෙදිල. එක පැත්තක් ප්‍රශ්න අහනව. අනිත් පැත්ත උත්තර බඳිනව.

"මොකද මේ"

"නෑ නිකන්"

"වෙනදට අඳින ඩෙනිමයි ටී එකයි හොඳයිනෙ"

"බෑ වගේ හිතෙනව"

"කාවද ඔය රවට්ටන්න හදන්නෙ"

"මම????            නෑ..."

"ඔයා ආදරේ කරනව"

"මේ මම..           පුදුමයි..        කාටද?"

"අර එස් එම් එස් වලට"

"පිස්සු"

"ඔව්, ඔයාට පිස්සු"

හය්යෝ.... ඇත්තටම මට පිස්සුද???????????????

කමක් නෑ වෙනසක් හොඳයි කියල හිතුන. අත් දිග නිල් පාට චාම් ටොප් එක ඇන්ද. ලා නිල් පාට ඩෙනිමට. කොණ්ඩෙ පොඩ්ඩක් අල්ලල කට්ටක් ගැහුව. දාඩිය දාන ටයිම් එකට උඩට කරල ක්ලිප් කරන්න පුලුවන් එතකොට.

මූණත් තහඩුව දැකල නැති එකෙක්ව දැන් කොහොමද අඳුනගන්නෙ. ඒක මතක් උණේ මගට බැස්සට පස්සෙ. ගත්ත ආපහු කෝල් එකක් දිගාට.

"යෙස් බොස්"

"සොරි දිගා.. ඇඳුමෙ පාට කියපන්. මට අඳුන ගන්න බැරි වෙයි"

"හයියෝ ගෑණු ළමයො, මං ඇවිත් ඉන්නෙ බස් එකට. අන්තිම සීට් එකේ  දිනිති එක්ක කයියක් දාන් ඉන්නව. එන්න"

"ඕකේ"
පැමිණ සිටියේ දිගාත් දිනිතිත් පමණි.
හිත එක තැනක නැත. දිගා ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු  බැන්දේ ඕනාවට එපාවට මෙනි.

"මිගාරට වැරදිලාද මන්ද"

"ඒ මොකද දිගා"
කෙල්ල කටකාරය.

"නෑ බන් මේ ඌ කිව්වෙ ඕල්වේස් නන්ස්ටොප් කටක් එව්ව බය වෙන්න එපා කියලනෙ"
මට සිනා නැගිණි.

"හප්පේ ඇති යන්තම් හිනාවක් පැන්න. ඇත්තටම මොකක් හරි අවුලක්ද. නැත්තම් අද කොල්ලව මීට් වෙන්න තිබුන දවසද. අපි හින්ද කරදරේ නේද"

"අයියෝ එහෙම කිසිම අවුලක් නෑ"

අවුල තියෙන්නෙ හිතේ... කාට කියන්නද? අද මොනව වෙයිද? ප්‍රශ්න කෝටියයි. සාමාන්‍ය තත්වය නැතිවෙලා වගේ.
*********************************************************************************

"දැන් අක්කෙ මේ සෙල් ලිපි ඔක්කොම එකම කාලෙක ඒවද? නැත්තන් රජවරුන්ගෙන් රජවරුන්ට වෙනස් කාලවල ඒවද?"
අක්කා පිළිතුරු සපයයි.

"මේ මෙතන තියන මණ්ඩපේ තමයි විවාහ සිද්ද වෙලා තියෙන්නෙ"
අක්කා කියයි....  මට මැවී පෙනෙයි... එතන ඉන්නෙ මං.   හෑ.. යකෝ කෝ එතකොට මනමාලය??????? මනමාලය ඉන්නව. ඔලුව නෑ... කාගෙද ඒ ඔලුව එතකොට.

වැඩ ටික ඉවර වෙනකොට දවල් උණා. හොඳටම බඩගිනියි. ළඟ තිබුණු කඩේකට ගියා කන්න. උදේ ඉඳන් බලාපොරොත්තු උණ දේ සිද්ද උණේ නෑ තාමත්. අඩුම තරමේ.......
 ~එස් එම් එස්~    එකක්....
ඉතින් කෝමද මං මගේ තීරනේ ගන්නෙ.

"LOVE   OR   LEAVE"

"මොකද නංගි ෆෝන් එක දිහා බලන් භාවනා කරනවද?"
මං හිනා උණා. ඇත්තටම හිනාව තිබුණද මූණේ...

"මේ මොකද මේ... නංගි මොකක් හරි ප්‍රශ්නයක්ද? ඇයි මේ කඳුලු. දිනිති මේ කෙල්ල අඬනව. පොඩ්ඩක් බලන්න."

වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ මට. කිව්ව අග ඉඳන් මුලට ඔක්කොම කතාව දෙන්නට. පෙන්නුව එස් එම් එස්.    දිගාගෙ මූණ වෙනස් උණා. මන් බිම බලා ගත්ත. අපි කතාවක් නැතුව හිටිය. දිනිති ගියා අක්ක එක්ක තව විස්තර ගන්න. දිගා ෆෝන් එක අරන් ඈතට ගියා. මාත් ගියා දිගාගෙ පස්සෙන්. වැරැද්දක් වෙන්න ඇති. ඒත් මං ආව කියල දිගා දන්නෙ නෑ.

"මොකක්ද බං මේ කරපු කැත වැඩේ"
දිගා කාටද බනින්නේ.

"හරි ..... ඇයි හැම කුණුහරපයක්ම කියන උඹට ඕක කලින් කියන්න බැරි උණේ මට. බලපන් ගිය දුර. අනික මං කැමති නෑ උඹ මගෙ අයියව මේකට ගාවපු එකට"

".............."

"මතක තියා ගනින් මිගාර මං උඹට අයියගෙ සිම් එක දුන්නෙ ඌව මතක් වෙන්න මොනාහරි ඕනි කිව්ව නිසා"

"මිගාර...." 
මගේ ගත හිරිවැටිණි.

 "ඇයි ඒකෙන් මෙහෙම වැඩක් කරේ. අර කෙල්ල එක පැත්තකින් බය වෙලා. පිස්සු වැඩනෙ බං.  කොහොමද උඹ මගේ පොතේ තිබුණ කවිය හොරකම් කරේ. මොකක්ද මී හරකො මේ කරපු වැඩේ. දිනිතියා නොහිටියා නම් මං කෙල්ලට ඇත්ත කියනව. බලපන් දැන් ඒකත් බෑ. උඹ මාව කෑව. අනික....."

මා නොසිතූ මොහොතක දිගා පසුපස හැරිණි. වැරදුනා... දිගා නෙවෙයි...    "ගීතික සහන්" දිගා කියන්නෙ උස වැඩි කමට.

දවසම ගෙවුන. ගීතික ඊට පස්සෙ මට කතා කරේ නෑ. කියාගන්න බැරි මොනා හරි තිබුනා. හවස අපි එන්න පිටත් උණා. ගීතිකගෙ මූණ බලන්න බැරිකමක් දැනුණා.

"මං යන්නම් දිනිති අක්කෙ"

"නංගා ඔයා අප්සට් වෙන්න එපා. ඔය කාගෙ හරි විහිලුවක් වෙන්න ඇති. බයයිද තනියෙන් යන්න"

මං ගීතිකගෙ මූණ බැලුව. පසුතැවීමක්ද? ම්හ්, එහෙනම් පරාද වෙච්ච පෙනුමක්ද? ම්හ්, අනේ මන්ද. මොකක්දෝ දෙයක් තිබුණ එයා ලඟ.

"දිගා"
අපි තුන්දෙනාම හැරිල බැලුව.

"මිගාර"
මං කිව්වද? මට කියවුණාද?

"ඔයාල යන්න. මං අමාව ගෙදරට දාන්නම්. දිනිතිව ගෙදරට දාල පලයන්. රෑ වෙලා මං ගෙවල් පැත්තෙ එන්නම්"

"තව කොහෙද බං රැයක් වෙන්න තියෙන්නෙ"
ගීතික අමනාපෙන්ද?

"එළිවෙන්න කල් තියනව නම් තවම රෑ තමයි. පලයන්. මං එන්නං."




~ අවසානය ඊළඟ කොටසින් බලාපොරොත්තුවන්න ~














Saturday, August 16, 2014

S.M.S ආදරේ...




"අම්මෝ සද්දෙ අර කට්ටිය පඩි ගත්තමවත් නෑ මෙච්චර සද්දයක්"

"අනේ පලයන් ගෙම්බො"

"මොකක්........... ආයෙත් කියපන් බලන්න ඇටකිච්චි. උස්සල දානව ජනේලෙන් එළියට පැයකට විතර පස්සෙ බිමට වැටෙන්න"

"ඈහ්හ්... තට්ටු හතරකින් වැටෙන්න එච්චර වෙලා යනවද. එළ එළ මැරෙන්න කළින් කුරුල්ලෙක් වෙන්න කාටද අප්පේ පුලුවන්"

"නොදෝමකින් තොගෙ කට"

හිනාවෙන්නට තරම් දෙයක් නොවූවත් අප හැමදාමත් මෙසේමය. සිතියක් පුරා විඳි වෙහෙස නිවාගන්නට  සති අන්තයේ වූ එකතුව අපට අස්වැසිල්ලකි.

"අනේ මචෝ පොඩි උදවුවක් ඕනි උඹෙන්"
ඒ මිගාරය.

"මොකක්ද බන්."
මම ඇසීමි.

"අනේ බන් මගේ යාලුවෙක්ට ප්‍රොජෙක්ට් එකකට .......................... වල ඩීටේල් ඔනි උදව් කරපන්කො."

"පුලුවන් බන්. මගෙ අක්ක කෙනෙක් ඉන්නව ඒකෙ වැඩ කරන. මගේ නම්බර් එක දීපන්"

"හැබැයි තෝ ඒ අහිංසකයව අමාරුවෙ දානව නෙවෙයි"

"අනේ පල බං. තෝ හිතුවද මට අහේනිය කියල"
සරදම් හිනා මැද කාලය ගෙවිනි. නිවස බලා යාමට බසයට නගින විටම දුරකථනය නාද වෙනු ඇසිණි.

"අනේ බං උඹේ මොබිටෙල් එක දීපන්කෝ. අරකට ඩයලොග් නෑලූ."

"අනේ බං උඹල වගේ පාප මිත්තරයො. ලියාගනින්." මා අංකය දුන්නෙමි.

පුදුමය එය මා අකමැතිම දෙයයි. නමුත් වෙනදා එස් එම් එස් යවන මට එය අමතක වූයේ ඇයි දැයි නොදනිමි. මේ කතන්දරයේ මුල එයයි.

*****************************************************************************
බෝඩිමට වී හිඳීම තරම් එපා වූ දෙයක් මට තවත් නැත. ජංගමය නාද විණි.
එස් එම් එස් එකක්. කවුද මේ අවේලාවෙ.

"I nvr fgt meeting & depature. I dnt knw ur name yet. I'm Sameera Pahan. If u cn... plz send me ur name. bs.tc"
හෑ මේ මොකාද බොලේ.... මට නිකන් පිස්සු ඩබල් වගේ. වැරදීමක් වෙන්න ඇති.
දවසක් දෙකක් ගියා. හප්පේ ඇති යන්තම් අද ගෙදර යනවා. බස් එකට ආව. පොඩි ඇලට් එකක් දාන්න හිතුව විතරයි....
එස් එම් එස්  :(

"I snd u 3 sms. bt u r silent. smthng wrong. I dnt knw wt hapnd. v met day b4 y'day. can u try to momriz"

දෙයියෝ සාක්කි. මට මතක් වෙන්නෙම නෑනෙ. මං හිතුවෙ අපේ එකෙක්ගෙ බයිටක් කියල. ම්හ්හ්.... මොකාද මේ. විනාඩියක් දෙකක් ගියා. මෙන්න තව එකක්.

"mathakada man laga wadiwela giyaa bus ekedi. man oyage number eka gaththe oya katahari denakota."

මට දෙවියන් බුදුන් සිහිවිණි. අඩුම තරමින් ළඟ ඉඳගෙන යන පුද්ගලයාගේ මුහුණ දෙස බැලීමේ උවමනාවක් කෙදිනකවත් නිකමට හෝ ඇති නොවීම ගැන මා මටම දොස් පවරා ගතිමි.

කරපු මෝඩකම් ගොනාට සරියේ... තවත් මෝඩකම් නොකරන් මරියේ... කිව්වලු. මේක සාම සාකච්චාවක් මගින් ගොඩගියේ නැත්තම් මං අනාථ මාරුතේ කුණාටු සාගරේට අහු වෙනව කියල මගේ ටිකිරි මොලේ මට දැනුම් දුන්න. ඒත් වයසෙ වැරැද්දද නැත්තම් වෙන හේතුවක්ද කියන්න දන්නෙ නැති කාරණාවක් හිතේ හැංගිලා තියෙන්න ඇති. මාත් යැව්ව එස් එම් එස් එකක්.

"mr. oyaata wena wada nadda bus wala yana ayage numbers mathaka thiyaagena karadara karanawa arenna. plz dnt dstb me."

හැරෙන තැපෑලෙන් තව එකක්

~ "no no I don't want. bt I wnt 2 talk wt u"

~ " mhh wtz da matr. plz sms me. did u eat ha?"

~ "I savd ur name as "Niz" do u lk it."

~"one day u will rcgniz me "

~"cloudy wt r u doing nw, I knw ur name nw"

එදා ඉඳන් හැමදාමත් මට ආව ඔය වගේ එස් එම් එස් එකක්. මගේ රිප්ලයි නැතුවම. පස්සෙ හිතුන හොඳ කවිකාරයෙක් වෙන්න ඇති කියල. දවසක් මෙහෙම එව්ව.

"හිනැහී දොඩමලු වූ නුඹ හමුවේ මටත් හොරා හදවත සැලුනා
විකසිත පැතුමන් දෝතට එක්කර සඟවා ගන්නට මට සිතුනා
සුවඳ සුරැකි මෘදු මල් මකරන්දය නුඹ මාගේමයි මට සිතුනා
කල්ප කාලයක් නුඹ ලග ඉන්නට සිත දහසක් පැතුමන් පිපුනා"

හිතාගන්න බැරි උනේ ඇයි මට එස් එම් එස් එවන එක නතර කරන්නෙ නැත්තෙ කියල. මේ අතරෙ මගේ යාලුවගෙ වැඩෙත් කරල දෙන්න ට්‍රයි කරා.

*******************************************************************

"ආ මල් හතයි ආ"
මිගාර මා දුටුවනම කෑ ගැසීය.

"වට්"

"නෑ මේ මං කිව්වෙ හෙට අනිද්දට වෙන්න යන දේ ගැන"

"ඒ මොකක්ද බන්"
හ්ම්ම් හැමදාමත් මැද්දට පැන වැඩේ අල කරන්නේ තිලිණිය.

"නෑ ඉතින් මේ.... කට්ටියට මේ දවස් වල ෆෝන් එකෙන් තොර ලෝකයක් නෑනෙ තිලෝ..ඔය රිප්ලයි නොකරට කොයිවෙලේත් ඇහැ ෆෝන් එකේ. තනියෙන් හිනාවෙවී බලනව."
මිගාර මා දෙස බලයි.

"මොකක්.. මට ඕව තේරෙන්නෙ නෑ බන්"

කී දේ විමසන්නට මිගාර නැවත හමු නොවුණි. දින කිහිපයකින් පසු මිගාරගෙන් ආ ඇමතුම සම්බන්ද කර ගත්තෙමි.

"ආ මැඩම් වැඩද?"

"අපිට කොහෙද බන් උඹලට වගේ නිදහසක්. ඉතින් කියපන්. මොකෝ මේ හදිස්සියෙන්"

"අනේ මචන් හෙට අරූ එනව අර වැඩේට. තව කෙල්ලො දෙන්නෙකුත් එනව. උඹට යන්න පුලුවන්ද?"

"අනේ බන් නිවාඩු දවසකවත් නිදහසේ ඉන්න නොදෙන හැටි"

"හරි හරි පලයන්කො හෙටට. ඊට පස්සෙ කෝමත් උඹේ ඔය නිදහසට වැට බැඳෙයි"

"මොකක්, මොනාද උඹ මේ කියන්නෙ."

"නෑ ඉතින් මං කිව්වෙ. දිගාත් තාම තනිකඩයනෙ. හෙට පලයන්. දිගාට කෝල් එකක් දීපන්."

"අනේ මේ උඹ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව හිටපන්. උඹල හරි ඊරිසියයිනෙ අපි සතුටින් ඉන්නවට."
මිගාර හිනැහේ.

පසුදාට පහන් විණි. උදේ පාන්දරම....

*** එස් එම් එස් ***
"Today is the day my sweety Niz. Everything is ok. You'll have to select one "L" for ur life with me. 'Love or Leave' "

නුහුරු හැඟීමක් හිතට දැනෙයි. දිගාව හමුවීමට යා යුතුය. ඔහුට ඇමතුමක් දී 10ට එන ලෙස පැවසීමි.



~ ඉතිරිය පසුවට ~


Thursday, August 14, 2014

කරළියේ මම...





නොබලමින් වටපිට
අනුගතව රිද්මයට
දිගු දෑත...
නැවුණු කය...
මුසු කළා නිසිලෙස
සවන් තුළ රැව්දෙන
නුඹේ මියැසිය මැද....
අවසැඟව සිතිවිලි
බැලීමි හොරැහින් 
නුඹ දෙස..
ඇගේ මුව සිනා ඉතිරේ
නුඹේ උරමත
මොහොතකට නුඹ මැවුණි
කරළියේ පෙරලෙස....

Wednesday, August 13, 2014

නුඹ තාම කැකුළකී

My Photo

හාදුවක් දුන්නාට
විකසිතවු පෙති මතට
නුඹ තාම කැකුළකී
ගිනියම්වු ලෝකයට

සිනිදු පෙති බර වැඩියි
අවදි වෙන හෙට දිනට
රිදුම් දෙයි කොනිත්තා
මතකයේ නිය පහර

අසෙනි වර්ශා වැටී
සිත් අහස ගුගුරවා
නුඹ ගිලී මියැදේවි
සත්තකයි මල් කැකුළ

Tuesday, August 12, 2014

යළිත් නුඹ....



හිත තිගැස්සුනා
ආයෙමත්... ආයෙමත්..
නුඹ මගේමදැයි 
විමසුවා මම මගෙන්..
අපි අපේ උන අතීතය
සිනාසුණා ආදරෙන්...
බලා හිඳියි නුඹ,
පුරුදු අඩිපාරෙ හිඳ
එනතුරු මා..
ආයෙමත් ආදරෙන්.. 

Tuesday, August 5, 2014

දෙවියන්ගේ අඩවිය...




ආදරේ කලේ මං නුඹට
නොසළකා ජාතියක් ආගමක්
දැනුනාද නුඹට
මගේ ආදරේ අඩුවක් 
පුංචි කෙළි පැංචිටත් 
මොන හිතකින්ද කෙරුවෙ
වෙනස්කමක්
දැනුනෙ නැද්ද ඉස්සර වගේ
ආදරය බිඳුවක්වත්
ඇත්තටම හිතුනනම් නුඹට
මං නුඹේ ආදරණීය බිරිඳ වග
අපේ පුංචි පවුලෙ සතුට
එදා වගේමයි අදත්...
_____________________________________________________

ටික කාලෙකට කලින් මං ලස්සන පොතක් කියෙව්ව.

ලංකාවේදී තහනම් කල නොහැකි වූ  "දෙවියන්ගේ අඩවිය".

මෙහෙම තමයි පොතේ මුලින්ම තියෙන්නෙ.

මේක ආදරය නිසා, විවාහය කියන බැඳීම නිසා, මුස්ලිම් නීතියට යටත්වෙන්න සිද්දවුන විදේශීය කාන්තාවක් එතැනින් මිදෙන හැටි සහ එයාගෙ අත්දැකීම් අළලා ලියවුන කතාවක්.

මේ පොත ඉරානයේ තහනම් ලැයිස්තුවේ 4 වන තැනට තියන කෘතියක් කියල ඒ පොතේම හැඳින්වීමෙ තියනවා. ජාත්‍යන්තර බලපෑම් නිසා ලංකාවේත් තහනම් කලත් පසුකාලීනව මඟහැරිල තියනව. කාන්තාවකට තියන ශක්තිය, තමන්ගේ දරුවා කෙරෙහි මවකගෙ ඇති සෙනෙහස ගැන අපූරුවට ලියැවිලා තියන, හරි ලස්සන කතාවක්.

"Not Without My Daughter" by : Betty Mahmoody & William Hoffer
Translated by : Anula De Silva

(කරුණාවෙන් සලකන්න.. මා කිසිදු ආගමක් හෝ ජාතියක් පහත් කොට සළකන්නේ නැත. නමුත් විවේචනයට කැමැත්තෙමි.)


Friday, August 1, 2014

දික්කසාදය



උරතලේ හිස තියා විඳිසුව
යුග දිවියෙ පාදමට සමවී
කාලයාගේ ඇවෑමෙන්
එකිනෙකාගේ සිතැඟි අභියස
බිඳී විසිරී සැඩ රළක් මෙන්
පෙණ බුබුළකදු ශේෂ නොමවූ
දෙපසකට වී නාදුනන සේ
කල් ගෙවන ඒ අරුමය
සිහිනෙකින් ඇහැරුනා සේ
අමතකම වෙන්නැ'ති ඔවුන්ටත්
කැකුළු මල් විකසිත වන්ට
තව කල් තියෙන වග...