Saturday, March 26, 2016

ෂොපිං



ඕටීත් ඉවර කරල
කලබළ නගරේ
ඇවිදගෙන මං ගියේ
හිත ඇතුලෙ 
දෝංකාර දෙද්දි
පුංචි උන්ගෙ සද්දෙ
"ළඟදි  අවුරුද්දලු
අලුත් ඇඳුම් ගන්නවලු"
හිනාවක් මගෙ මූනෙ
පණ්ඩිත පැටවු...
හෙට යන්න ඕනි ෂොපිං
ඔයාටත් නිවාඩුනෙ
හිතට අවුරුදු ලැබුව වගේ
ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් ලැබුනනෙ
හෙට අපි ෂොපිං...
ඒත් අහම්බෙන් 
මං දැක්කෙ නුඹමයි
ඔයත් එක්ක එයා ගිහින් ෂොපිං
මට කලින්...

Monday, March 21, 2016

වැලන්ටයින්




"සිප ගැනුම අකැපය බාඳුරා
සෙමින් ළංවී කොපුලත"
මිමිණීය සිහින් ස්වරයෙන්
ඈත හිඳ පෙම් බඹරිඳු

රක්ත වන් පෙති දිගහැර
එනු එනු මා වෙතැ'යි කීවද
"නුඹ විෂ ගුලාවකැ'යි"
ඔහු මගහැරිය නියඟලා

යන්නම්ය නොකියා
පිටව ආවද හිතුවක්කාරෙන්
බලාහිඳිනා බැව් දනී
රතුරෝස තවමත්
සිහින් ස්වරයෙන් සසැලෙමින්

Friday, March 18, 2016

මට අහිමි නුඹ, නුඹටද අහිමි බැව් දැනුණි නම්.... (II)




සියල්ල මැදින් අවුරුදු ගනනකින් පය නොතැබූ නිවසට මා ඇවිද යමි........අස්සක් මුල්ලක් පාසාම සෙවීමි... ඔහුත් මමත් ගතකල ඒ සොඳුරු මතක වරෙක ඉදිරියෙහි මැවෙයි... වරෙක කනට කොඳුරයි... ඇඟේ හැපී ඇදී යයි... ඉදින් මෙය හැබෑවක්ම වූවා නම් අපි තවමත් සිනහව පිරී ඉතිරුනු ඒ නිවසේ කාලය ගත කරනු ඇත.....

"මොනවද මෙහේ කරන්නෙ"
සවන් මත වැකුනු හඬට තිගැස්සුනු හදින් හැරී බලමි. සඳසිගේ මරණයෙහි පරීක්ශන කල ඒ තරුණ ආඩම්බරකාර නිළධරයා මා පසුපස හිඳී.

"සර්"

"ඔයා මොකද මෙහේ කරන්නෙ. පරණ මතක හොයනවද?"

"ම.. මං... මේ..."
මගේ හඬ පවා ගොලුව ඇති සෙයකි. මදක් හිඳ ඔහු ඇමතීමට මම ධෛර්ය ගතිමි.

"මේ හැමදේම... අ.. අනේ මන්ද සර්.. මට මොනව අහන්නද කියල තේරෙන්නෙ නෑ. ඩොක්ටර්ව මැරුවෙත් මැඩම් කියල සර් කොහොමද ඔප්පු කරන්නෙ. ඒක වැරදීමක් වෙන්න බැරිද?"

තවමත් ඇදහිය නොහැකි නඩු තීන්දුව මොහුගෙන් මට දැනගත හැකි බැව් හැඟිනි.

ඔහු එක එල්ලේ බලා හිඳී... ඒ මා දෙස නොවේ යැයි සැනෙකින් දැනිනි. ඔහුගේ ඇඟිල්ල බිත්තිය දෙසට දිගු වූයෙන් මාද එදෙසට හැරිනි.

"අර පේනවද"

හද සසැලින.. ඒ මාගේ ඡායාරුවයි. අදින් වසර විස්සකට පමණ පෙර ඈත පෙනෙන වැව් කණ්ඩිය මතදී ඔහු ගත් ඒ ඡායාරුව අදටත් ඔහු එල්ලා තැබූ තැනම සිනහවෙන් පසුවෙයි.

"එතන ඉන්නෙ ඔයා නෙවෙයි සඳසි"
ආඩම්බරකාරයා මුමුණයි. නෙතු කැවී කඳුලු කම්මුල් දිගේ රූරා යන විටත් මම එලෙසම බලා උන්නෙමි.

"ඔයාගෙයි ඩොක්ටගෙයි සම්බන්ධෙ අද ඊයෙක එකක් නෙවෙයිනෙ. ඒක සෑහෙන්න පරණයි. එහෙම නේද?"
ඔහු විමසයි.

"හැබැයි ඩොක්ටගෙයි නිරාශගෙයි සම්බන්දෙ නම් අලුත්. අනික ඒක පටන්ගත්තෙ වයිෆ්ට රිද්දන්න ඕනි නිසා. එක පැත්තකින් ගර්ල් ෆ්‍රෙන්ඩ්. අනිත් පැත්තෙන් දුව. එතකොට වයිෆ් එයාට ඕනි විදියට.. ඔයාල දෙන්නට ආදරේ කරාට එයා හැදුවෙ වයිෆ්ට රිද්දන්න. ඒකෙන් උනේ ජීවිත දෙකක්ම නැති උන එක."

"සර් මේ.."
මා යමක් අසන්නට පෙරම ඔහු සිනාවී මට අවැසි දේ පවසයි..

"ඔයාව මිස්ට සාලිය එයාගෙ හොස්පිට්ල් එකේ වැඩට අරන් එතනින් ගෙදරටම ගත්තෙ එයාගෙ දුවට ඕනි ආදරේ දෙන්න වෙන්න ඇති. අනිත් අතට සඳසිට ආටිෆිෂල් අම්මෙක් ඕනි නෑ කියල එයාට හිතෙන්න ඇති"

ඔහු කියවයි... මම අසා හිඳිමි... 

"ඒත් මැඩම් කොහොමද හිත හදා ගත්තෙ ජීවිත දෙකක් නැති කරන්න තරමට"

"එයාට ඉවසන්න බැරි වෙන්න ඇති ඔයාල සතුටින් ඉන්න එක. අනික ඉන්ක්වයරි වලදි එයා කියල තිබුන ඔයාල එකට ඉන්නව දැක්කා කියල. කොහොමත් සාරංගගෙ අවුල තිබුණු නිසා එයා හිතන්න ඇති මේක සාරංගට පටලවන්න පුලුවන් වෙයි කියල. මොකද සාරංග ගැන නොදන්න කවුරුත් නෑනෙ. මොනම හේතුවක් නිසා හරි සඳසි එයාට කැමති වෙන්නත් ඇති. අනික..... පොස්ට් මෝටම් එකේදි ඔප්පු උනා එයා ප්‍රෙග්නන්ට් කියල."

හදවත මොහොතකට නැවතිණි. මේ මගේම දෛවයේ කොටසක් නොවේද? වෙනසකට ඇත්තේ ඇය මියගොස් සිටීම පමණි. මගේ කුස පිළිසිඳගත් ඈ ඔහු ලඟට ගියේ දොස්තර නෝනාට දරුවන් නැති නිසා වුවද... දොස්තර නෝනාම අද මගේ දරුවාටත් පෙම්වතාටත් එකම ඉරණමක් ලබා දී ඇත. මටත් එයම වූවා නම්...

"ඔය ෆොටෝ එක තමයි මට පාර පෙන්නුවෙ" ඔහු සිහින් සුසුමක් පිටකර කියයි.

බිත්තියෙහි එල්ලෙමින් තිබූ ඡායාරුව අතට ගතිමි. දූවිලි පිසදා බැලූ කල එහි මට මා දැකිය හැකි නොවේ... ඒ ඇයමය... කඳුලු බොඳවන දෙනෙතින් එය බලාහිඳිනා විට සිහින් මිමුනුමක් සවනතර ගැටිනි.. 

"එයා ඔයාමයි පොඩ්ඩක්වත් වෙනස් නෑ."

"සාලිය.." 

ඇයත් ඔහුත් ඈත හිඳ මා දෙස බලා සිනාසෙනු පෙනේ... සිහින් ඉකිය පිටතට ඇසෙතැයි බියෙන් මා එහිම වැතිර මුව තදකොට ගත්තෙමි.. 

"ආදරේ කරපු වරදට මට මෙච්චර ලොකු දඬුවමක් දුන්නෙ ඇයි දොස්තර නෝනෙ... "

ඉදින් මෙය අවසානයම වූවා නම් මැනවි,

Tuesday, March 15, 2016

මට අහිමි නුඹ, නුඹටද අහිමි බැව් දැනුණි නම්....






කෙල්ලෙක් ජීවිතේ දකින්නෙ වෙනස්ම විදියකට... කතාවක් තියනවනෙ පුංචිකාලෙ කෙල්ලො බෝනික්කන්ට ආස උනාට ලොකු වෙනකොට ආස යෝදයන්ට කියල... මමත් ඒ වගේ... කාලයක් යනකොට මට මගේ යෝධ කුමාරයව මුණ ගැහුනා...  අපේ ජීවිතේ කොච්චර ලස්සනයිද..... අදටත් මං ආදරෙයි.... ඒත් ඒ මතකය.....මම වැරදිද කියන්න මට තේරෙන්නෑ... මට මාව පාලනය කරගන්න පුලුවන් උනා නම්... 

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   * 

"ඔයාට කොච්චර කිව්වත් මතක නෑ අම්මි... අද මේක නෙවෙයි අර ග්‍රීන් කලර් යුනිෆොර්ම් එකනෙ"

සඳසි අම්මාට කෑ ගසන හඬ ඇසේ. ඊළඟ නියෝගය මටය.

"මාලම්මේ මතකයි නේද? ඔයත් වැරැද්දුවද ? අද මට නූඩ්ල්ස් තියෙන්නෙ ස්කූල් ගෙනියන්න"

මට එය අමතක නොවෙන බැව් ඒ කුඩා මොලයට තේරුම් කර දීම කල නොහැක්කකි... නමුදු එක දෙයක් දනිමි, අමතකව වාහනයට දිව්වද නැවත මගේ හාදුවත් රැගෙන යලි එන්නේ ඇයම පමණය...

හැමවෙලේම බිසී දොස්තර නෝනටයි මහත්තයටයි වඩා හොඳට මට සඳසි බේබිව බලාගන්න පුලුවන්... ඒක දන්නෙ එකම එක්කෙනෙක් විතරයි..

කාලය කෙතරම් ඉක්මණින් ගෙවී ගියාදැයි මා නොදනිමි... මාත් ඇය සමගම වයසට ගොස් ඇත.... 

"මාලම්මේ, ඔයාට කරදරයිනෙ මම ඇදුම් ලෑස්ති කර ගන්නම්. අම්මි එන්න කලින් උයල ඉවර කරන්න. ඔපරේශන් එකක් නිසා ලේට් වෙනව කිව්ව. තාත්තිගෙ කොෆී එක හදල තියන්න. එයා දැන් එයි"

මම ඇය දෙස බලා සිටියෙමි.

"ඇයි අනේ ඔහොම බලන්නෙ. බයත් හිතෙනව. මේ බඩ්ඩක් අහන්නද"

"මොකක්ද බේබි"

"ඉස්සර ඔහොම බලල කීයක් අමාරුවෙ දැම්මද"
හිතා ගන්නට කිසිත් නොවූ කල මා ඇය දෙසම බලා උන්නෙමි

"බේබි"

"හූ හූ මොකෝ මේ බය වෙලා... ඉන්නකො මං තාත්තිට කියන්නම්...."

ඇය මට සමච්චල් කර දිව යයි... මුවගට නැගුනු සිනහව ඈ දුටුවා නම්... 


*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   * 

සියල්ල සිදුවී අවසන්ය... ඒ සිනහව... කටහඬ.... තවත් මේ බිත්ති හතර තුල නොඇසෙන වග සිහියට එනවිට මා මියැදුනිනම් කියා සිතුණු වාර අනන්තය..

"කොහොමද එහෙම දෙයක් කෙරුවෙ දොස්තර නෝනා"
මගේ කටහඬෙහි ඕනාවටත් වඩා බයාදු බවක් මටම හැඟිනි. ඇය කට කොණින් සිනාසුනා පමනි. 

ඇයත් මමත් අතර ඇති කම්බි කූරු මහත් වදයකි... නැවත නැවතත් මට ඇගෙන් ඇසීමට ඇත්තේද එයමය...

"එකම එක පාරක් කියනවද? කොහොමද ඒ මූණ දිහා බලාගෙන එයාට එහෙම දෙයක් කෙරුවෙ"

ඇගේ මේ නිහඬ බව මට මහත් වදයකි. නමුදු ඈ වරදකාරියයි... 

මට පුදුම පුංචි හඬටත් තිගැස්සෙන අවදිවන මම ඒ හඬ නොසලකා ඉඳීමය... එසේ නොවූවා නම්...

"හැමෝම මට හංඟපු රහස් මම කොහොමද ඉවසන්නෙ මාලා. එක පැත්තකින් උඹ, අනිත් පැත්තෙන් නිරාශා.. මගේ ළඟට වෙලා මගේ පවුල නැති කෙරුවෙ උඹල දෙන්නා. සාරංග සඳසිට ගැලපෙන්නෙ නෑ. ඒ වගේම උඹවත් නිරාශවත් මගේ මහත්තයට ගැලපෙන්නෙත් නෑ. මතක තියාගනින්. මහත්තයගෙ මරණෙටත් වග කියන්න ඕනි උඹල දෙන්න."

මා නිරුත්තරය.. එසේ නම් වරදකාරිය මාද.. නැත එය පිළිගැනීමට සිත පැකිළෙයි.... නිරාශාත් දොස්තර නෝනාත් අවශේෂය. 

ගිනිගහන මද්දහන පවා විඳගනිමින් මා යළිත් එතනටම පැමිණෙමි.... වැරදි මාද? සිත අසයි... නැත... ඈතින් පෙනෙන ඒ මහා මන්දිරය... මෑත ඇති ඒ විසල් කුඹුක් ගස... ගලා යන ගංගාව.... ඒ සියල්ලටම සාක්ෂි දෙනු ඇත... මා නිවැරදිය... ඒ ඇස් මට මැවී පෙනේ.. මට ආදරෙයි කියූ... මාව සැනසූ... ඒ කටහඬ.....

නැත... මා වැරදි නැත...

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *

මතුවට...