Monday, July 28, 2014

කවි හීන...




තෙත බේරෙන කුඩෙත් අකුලගෙන සර් පන්තියට ආව.

"ගුඩ් මෝර්නින් " සර්,
කට්ටියම කිව්ව, මටත් කියවුණා.. පුරුද්දට.
'සර්' .... මට තනියම හිනා.
ටික වෙලාවක් ගියා.

බිංදු බිංදු වැහි පොද එක පේලියට වැටෙනව.. වලාකුළෙන් එලියට.. දැන් කෙලින්ම පන්තියෙ වහලට.... ඔන්න වහල දිගේ ඇවිත් බිමට... පුංචි පුංචි ඇළපාරවල් හදාගෙන කෙලින්ම කාණුවට...... බලාගෙන ඉන්න ආසයි...
සර්ත් කියවනව.
"මේකෙන් කියවෙන්නෙ ආදරය කියන හැගීම ගැන. වර්ඩ්ස්වර්ත් එයාව, එයාගෙ හැඟීම් පාවෙන වලාකුළකට සමාන කරනව. I wondered lonely as a cloud...."

මාවත් පාවෙලා ගියා. ඩැෆොඩිල් යායට නෙවෙයි, අපේ අතීතෙට....
_________________________________________________________________

මගේ කල්පනාව කොච්චර දුරට ගියාද මන්ද..හ්ම්ම්ම්

"ඔය පාඩම් කරන හැටි නේද? ඉන්නව මං නැන්දට කියන්න"
අපේ අම්මගෙ සුදුපුතා, අපේ සුදු අයිය, නමින් කිව්වොත් නාමල් මෙන්න මං ළඟ.

"අයිය එනවවත් ඇහුණෙ නෑනෙ"

"හැඟීම් විරහිත වුනාම එහෙමයි නගෝ"

"අනේ යන්න"

"කොහෙ යන්නද, මේ ආව විතරයි"
"මොකක්ද මේ. ම්ම්ම් ලිට් නේද?"
ටිකක් එහෙට මෙහෙට පෙරලුවා.
"දෙන්නකො පෑන"

"ආ"
එයා මේ හදන්නේ මොකක් හරි කුරුටු ගාන්න. ඒක අපි දෙන්නටම තිබුණු පුරුද්ද.

"ආහ්"

"කෝ බලන්න"

පාට පාට දේදුන්නක
නැළවි නැළවි ආදරේට
සීත සීත වැහි පින්නක
ආසයි මට ළඟ ඉන්නට

මාත් ඒකටම හරියන්න එකක් කුරුටු ගෑව,

පොකුරු පොකුරු මල් සුපිපුන
රෝස රෝස මල් යායක 
රෑන් රෑන් සමනළු මැද
ආසයි ඇවිදන් යන්නට

ඒ පාර මෙයා කවියෙන්ම උත්තර හොයනව.

විසිතුරු තරු වියනක් යට
සිනිදු සුමුදු වළාරොදක
කොඳ සඳ කැන් බිඳිති අතර
ආසයි තුරුලේ ඉන්නට

හ්ම්හ් මගේ පද වලට වඩා ලස්සනයි වගේ. කරන්නම් හොඳ වැඩක්.

නේක නේක හීන ලොවක
පාවි පාවි යනෙන අතර
ඇඳෙන මැකෙන නුහුරු මූණ
ආසයි මට දැකගන්නට

දැන් හරි. මං හොඳට බැලුව මූණ දිහා. වෙනස් වෙච්ච ඉක්මණ.

"බට්ටි"

"ම්ම්ම්"

"බඩුවක් කියල යන්න ආවෙ"

"මොකක්ද?"

"මං හෙට යනව"

"කොහෙ යන්නද අනේ ඔයා"

"පීඨ"

"ඇත්තටමද.. ශෝක්නෙ සුදුඅයියෙ. ඒ කියන්න ඔයා ටීචර් කෙනෙක්. වාව්.." 
මං අයියව බදාගෙනම කෑගැහුව, පුරුද්දට. දුක හැංගිලා තිබුණ තැන හොයාගන්න බැරි උණා ඒ වෙලාවෙ.

"මං යනව"
එයා යන්න ගිහින් ආපහු හැරුණ.
"හීන වල හැංගුණු අයව හොයනකොට පරිස්සමින්"

කඳුලක් පැන්න ඇහෙන්. එයා ගියා. මං තනි වුණා.
ආදරේ කරා අව්වට, වැස්සට, පින්නට, මල් වලට, වළාකුලු වලට,  සමනළයින්ට... 
කාලයත් ගෙවිල ගියා. කවි වලට පද හොයල පෑන්වල තින්ත ඉවර උණා. කොච්චර ලිව්වත් මොකක්ද අඩුවක් දැනෙනව.

_______________________________________________________________________

 "මේ අනූ මේක සෙල්ලමක් නෙවෙයි බං ගිය සෙමෙස්ටර් එකෙත් ලිට් රිපීට්. මේ පාර ගොඩයන්න ඕනි කොහොම හරි. අරුන් යන ක්ලාස් එකටවත් සෙට් වෙමු බං"

මේ ගයනි. ATI එකේ මගෙ යාලුව. ඒ මළඇණේ ගලව ගන්න ඕනි නිසා මාත් ගියා ක්ලාස් එකට. 

ඇස් අදහගන්න බැරි උණා. එතනින් එහාට ගයනි යන්න කම්මැලි කරත් මං එයාව ඇදගෙන පන්තියට ගියා. අද ගයනි නෑ. මං තනියෙන්. පන්තිය ඉවර උණා. කුඩේ ඉහලගෙන මං ආව, හැමෝටම පස්සෙ. 
පුරුදු සුවඳ කුඩේ යටට ආවා කාලෙකට පස්සෙ.

"කුඩෙන් යන්න තරම් වහින්නෙ නෑ"

"මේ වැස්සෙ තනියම තෙමෙන්න බෑ"

"කවුද මෙතන තනියම ඉන්නෙ"

"ඔයා - මං"

"ඉතින් අපි එක්කෙනෙක් වෙමු"
මගේ හිත හිරිවැටුණ. ඒ කියන්නෙ එයත් තාම තනියෙන්.. මං කුඩේ අකුල ගත්ත.

"අරයව හොයාගත්තද"

"කාවද"

"අර හීනෙ හැංගුණු කෙනාව"

"ඔව්"

"එයා කැමති උණාද"

"ඔව්"
මං බැලුව මූණ. එදා තිබුණු හැඟීම් එහෙමමයි.
"ඔයා එයාව දන්නව"

"කවුද ඒ"
මං මුකුත් කිව්වෙ නෑ. පුංචි පොතක් දුන්න එයාට. ඒකෙ තිබුණෙ අසම්පූර්ණ කවි පද. මං හොඳටම දන්නව එයා ඒක සම්පූර්ණ කරනව කියල. එතකොට එයාම තෙරුම් ගනීවි මගෙ හීනවල කුමාරයා කවුද කියලා.



Monday, July 21, 2014

කාන්තාරයේ කුසුම


" මං කලු කෙල්ලෙක්..
පාටින් විතරක් නෙවෙයි, 
ජාතියෙනුත්....

ඒකද මට මේ තරම් තර්ජන.

සමාවෙන්න තාත්තේ, 
ඔයාට ලැබෙන දෑවැද්දත් උකසට අරන්
මං පැනල ආවට...

දවසක් ඒවි මට ඔයාල ලඟට එන්න. 
එතකල් ඉවසන්න...

අමන් වගේ මග නවතින්න බෑ මට..
සිද්ධ වේවි හැමදාම දර දිය අදින්න
එක එකාට....

අම්මට ගහන්න එපා මාව හොරෙන්ම 
පිටමං කලාට..
එයා අසරණ වේවි ඔයාගෙ අලුත් බිරිඳ ලඟ
මේ අලුත් ලෝකෙදිත්
හරි අසරණයි මම...
ඒත් යනව ඉස්සරහටම,

හොරෙන්ම බලාගත්ත මං අම්මව,
ආසයි බලන්න ඔයාවත්...
දවසක මං එන්නම් 
අපිට උරුම වුන ඔය රුදුරු කාන්තාරෙට
දුක් විඳින්න නෙවෙයි,
මං විඳින සැප අස්සෙ හැංගුණු දුක රසවිඳින්න.... "
---------------------------------------------------------------------------------

ප.ලි.

කියවන්න ලස්සන පොතක් , "වාරිස් ඩයිරි" ගේ "කාන්තාරයේ කුසුම". 

ජීවිතේ පසුතැවිලි වෙන, අතහැරල දාන අයට හොඳ උපදේශයක් මේක.

(ෆොටෝ එකේ ඉන්නෙත් එයාම තමයි)

Tuesday, July 15, 2014

අඹ යාළුවේ....

ජීවිතේම හීනයක්. සමහර කාල වලදි අපේ ජීවිත අමතක නොවෙන විදියට සමහර තැන් වල නවතිනව. ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි. හිමිවීම්, අහිමිවීම්, දුක, සතුට හැමදේම.....

ඒලෙවල් ඉවර උන ගමන්ම අපෙ අප්පච්චි මාව කම්පියුටර් කෝස් එකක් කරන්න ගිහින් දැම්ම. මාස හයකට. හොස්ටල් වල තමයි ඉන්න තිබුනෙ. එතනට මං ගියෙ අඬ අඬා. කොටින්ම කිව්වොත් ඒකෙ ඉන්ටර්විව් එකට ගිහින් මන් බොරුත් කිව්ව. ඒත් යන්න උනා. ඒක මගේ ජීවිතේ ලොකූ වෙනසක් කරපු කාලයක් උනා.

(ඔය අතරට ඉතින් ඉනේ සයිස් එක 30 විතර ඇදපු මං 24ට විතර වැටුන එක, ඉස්සර ඇඳපු ඇඳුම් බාච්චු වගේ උන එක එහෙමත් අයිතියි. )

එහෙදි අපි කාටවත් දෙන්න තුන්දෙනා රංචු ගැහෙන්න දුන්නෙ නෑ. ඔක්කොම එකයි නීතිය තදින්ම ක්‍රියාත්මක උනා. අපි ඔක්කොම 40ක් හිටිය. අයි.ටී. වලට 20යි, එෆ්.ටී. වලට 20යි (ෆූඩ් ටෙක්නොලොජි ) ඉතින් දෙයියනේ කියල හිටියට දෙයියො සිහිවෙන වැඩ නම් මදි නොකියන්න කෙරුවා. අපි ඔය ගුරුවරු කියන දේ හිස්මුදුනින්ම පිළිගන්න කීකරු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විදියට සතියක් යන්න කලින් සාත්තර සූත්තර ගැළපෙන කට්ටිය ආශ්‍රයටත් වැටුණා.

එක එක පැති වලින් ආව කට්ටිය තමයි මෙහෙ එකට හිටියෙ. ඔන්න ඉතින් ඔහොම ඉන්න කොට මට සෙට් උනා මෙන්න මේ අයව.

1.චමිත් (තදයා) - ගම්පොළ
2.කමල් (ශාරුක් භායි ) - මොණරාගල
3.ලංකා (ආලෝකෙ ) - නිට්ටඹුව
4.ශෂිනි (පොඩී) - ආමර් ස්ට්‍රීට්
5.ලක්ශිකා (ලකී) - සෙවනගල
6.කාංචනා (මැණිකෙ, සමහර වෙලාවට මැකණියා) -  නුවර
7.තුශාරි (මීක් මීක්) - මොණරාගල
8.ඔව් ඉතින් මං තමයි අනිත් එකී (චමිත්ට පමණක් හොට්ටි, අනිත් අයට දේදු ) - මොණරාගල

අපි ඉතින් අන්තිම වෙනකොට අටේ කල්ලිය විදියට ඇඩ්මිනිස්ට්‍රේශන් එකටත් ජින්ජර් ටීම් එක විදියට අනිත් සෙන්ටර් වලත් බොහොම ප්‍රසිද්දියට ලක් උනා. ඒකට හේතුව උනේ අපි කරපු හොදවැඩ, බාල්දි බකට් වගේම මදි නොකියන්න කරපු ජිල්මාට් වැඩ නිසා.

සෙන්ටර් එකේදි අපිව මුලින්ම ටීම් වලට වෙන් කරා. සතියකට වතාවක් අපේ සාමාජිකයො චේන්ජ් කරනව සහයෝගීතාවය කියන එක වර්ධනය වෙන්න කියල. එතකොට ඉතින් වලි ලෝකයයි.

මෙහෙදි කරපු වැඩ පස්සෙ දාන්නම්. අද මම මේ පෝස්ට් එක ලියන්න විශේෂ හේතුවකට. 

අද මං කියන්න හදන කතාවට වස්තු බීජය තමයි ඔය නම් ලිස්ට් එකේ එකටම ඉන්නෙ. චමිත්... යාලු ෆිට් එකට තදයා. එහෙම කිව්වෙ ඉතින් එයා බොහෝම හොඳට ඉවසීම ප්‍රගුණ කරල තියෙන නිසා :).

තාත්ත එයා පොඩි කාලෙම මැරිල. අම්මයි, අයියල දෙන්නයි, අක්කයි තමයි එයාගෙ ලෝකෙ. හරිම සංවේදී චරිතයක්. චේ ගුවේරට පණ ඇරල ආදරෙයි.

මොන දේ කරත් අපි කට්ටිය හැමදාම රිසල්ට් ලිස්ට් එකේ උඩින්ම එක පේළියට හිටියා. චමිත් තමයි එක. දක්ශතා ගොඩක් තිබුන කෙනෙක් එයා. 

චමිත්ව යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න ඇත්තටම මම ලකී. එයාගෙ හොඳ ගති ගුණ ගැන කියන්න වචන නෑ. තමන්ට නැතත් අනුන්ට දෙන්න ඕනි කියන සංකල්පය එයාට හොඳට පිහිටල තිබුණ. අපිට කරදරයක් වෙලාවට උපරිම උදව් කරනව, නැති වෙලාවට මේකා අපිට කරදර මවනව. 

එහෙදි වසංගතයක් වගේ අපි හැමෝටම ඇස් ලෙඩ හැදුණ. බේරුණේ පස් දෙනයි. චමිතුත් ඒ ගොඩේ හිටිය. අපිට වගේම අපිව ප්‍රතික්ශේප කරපු අයටත් අන්තිමට උදව් කලේ අපේ යාලුවා. එයාව වර්ජනය කරල එයාගෙ පීරියඩ් එක කැන්සල් කරන්න පෙත්සම් යවපු  අයටත් ඒකෙන් එයා හොඳ උත්තරයක් දුන්න.

ආයෙත් දවසක මේ පිස්සා කොල්ලොත් එක්ක ඔට්ටු දාල කමල් එක්ක වැවේ පීනල දිනුව. අපේ කැෆටේරියා එක හදල තිබුනෙ වැවක් උඩ. ඒකෙ තමයි පීනුවෙ.

දවසක් අපි දෙන්න හොඳටම රණ්ඩු උණා. හේතුව තමයි අපිට විරුද්ධව අභීත ලෙස නැගී හිටපු ටීම් එකේ ලීඩර් මට ආදරය ප්‍රකාශ කිරීම. (ඉහළින් අපිට ලැබිල තිබුණ නියෝග අනුව ප්‍රේමය තහනම්. ඒ උණාට හොරෙන් කරපු උන් හිටියා. අපිට ඉතින් ඔය උණ එහෙම තදේට තිබුනෙ නෑ)

ඒ අවුරුද්දෙ මගේ උපන්දිනේ මට හොඳටම මතක තියෙන්නෙත් චමිත් නිසා. කලින් දවසෙ එයාගෙ අම්ම ආව. අලුත් සෙරෙප්පු දෙකක් ගෙනත් තිබුන. එයා අම්මත් එක්ක කතා කරල එනකල් අපි කට්ටිය හොස්ටල් එකට ආව. මගදි අර බෝයි මට කතා කරා. මං නැවතුනා. අපේ මේට්‍රන් මිසුත් එතන හිටියෙ. අනිත් අය හොස්ටල් ගියා. ටිකක් වෙලා එතන ඉන්න කොට චමිත් ආව. මගේ දිහා බලන්නෙත් නැතුව දිගටම ගියා. මං දැන ගත්තා ආයෙත් චමිත්ව යාලු කරගන්න අමාරුයි කියලා. ඒ උනාට බැනුම් අහන්න හරි ගුටි කන්න හරි කියල මාත් ඉක්මණට මේකගෙ පස්සෙන් ගියා..

ම්හු...මූ නෙවෙයි මගෙ හෙවනැල්ල දිහාවත් බැලුවෙ.

එදා දවස ගෙවුණ. චමිත් තරහින්. පහුවෙනිද මගෙ බර්ත් ඩේ එක. හැමෝම විශ් කරා. චමිත් දන්නෑ වගේ හිටිය. පොඩ්ඩක් දුක හිතුණට මාත් ගණන් ගත්තෙ නෑ. දවල් අපෙ අම්ම ආව. මෙන්න බොලේ මේක මන් එන ඩිංගට  අපේ අම්මත් එක්ක හිනා වෙවී කතාව. මට දැන් මල් හතයි. ඒ උණත් සහෝදරවරුනි මුගේ තියන කුප්ප ගතිය කියන්නෙ අපෙ අම්ම ගෙනාපු මන් ආසම චීස් බට්න්ස් පැකට් එක අරගෙන මගෙ මූණවත් නොබල කකා ගියා. මාත් ඉතින් අම්ම එක්ක කතා කර කර ඉඳල එයා ගියාට පස්සෙ දුවගෙන ගියා, මගේ ටීම් එකේ ඇත්තො එතකොටත් අනිත් අයට ට්‍රීට් කරල ඉතුරු ටිකට වග කියනව. ඒ උණාට තදයා මිසින්.

හවස් වෙනකල්ම මූ හොස්ටල් එකේ ඉඳල ආව. අපි හැමෝම පාඩම් කරන්න යන ගමන් මන් චමිත්ගෙ කකුල රිදෙන්නම පෑගුවා (මේකා අලුත් සෙරෙප්පු දෙක දාගෙන හිටියෙ ). ඇත්ත වශයෙන්ම  කියනවනම් පින්වතුනි මූ මට හැරෙන තැපෑලෙන්ම දුන්න පයින් පාරක් හරියටම මාසයක් විතර යනකල් නිල් වෙලා තිබුණ කකුල. අන්න එහෙමයි මේකගෙ වැඩ.

එදා රෑ සංවාද මණ්ඩපේදි මේකා කියපි නැතැයි සින්දුවක්. කැමති කට්ටියට ඔන්න අහන්න පුලුවන්. එදා මට ඇඩුණත් එක්ක. (මේකෙ විෂුවල් නම් විකාරයි. ගත්තෙ යූ ටියුබ් 1න්. හෙව්වට වෙන කොහෙවත් තිබුනෙ නෑ.)


අඹ යාළුවේ.....නිබඳ සෙවනැල්ල සේ...
මගෙ ලෝකයේ...ඔබම මිනි පහන වේ...
මගෙ යාළුවේ ...පිපුණු මල් දෙකක් වගේ...
මිතුදම් රකිමී.....පරම සෙනෙහෙන් බැදී...

ඔය වගේ පිස්සු වැඩ කරපු තදයට එකතැනක වැඩ කරන්න බැරිකමක් තිබුණ. ඉතින් බැංකුවක ජොබ් එක අවුරුද්දකින් අතහැරල, තව තැනක ඉඳල තායිලන්ඩ් පැත්තෙත් ගිහින් ඇවිත් ඒකත් අතහැරල දාල, පේන්ට් කම්පැණි එකක ජොබ් එක කරලා ඒකත් එපා කියල අත්හැරල දැම්ම.

ඔය මොන දේ කරත් නිවාඩු වෙලාවට අපේ ෆෝන් වල සතපහක් වත් නැති වෙනකල් පිස්සු කියෙව්වා. අපේ ගෙදර ආව. අන්තිමට මගෙ හොඳම යාලුව එයාගෙ ස්වීට් හාර්ට් උනා. 

මට කියන්න ඕනි උනේ මේ එකක්වත් නෙවෙයි. මෙන්න මේකයි. පහුගිය 07දා රෑ 11ට විතර චමිත්ගෙන් මට කෝල් එකක් ආව.

"අඩෝ හොට්ටි තෝ කොහෙද ඉන්නෙ"

"ආ උඹ මොකෝ මේ වෙලාවෙ, මං මේ වඩයක් කාල ප්ලේන්ටියක් ගහන්න හංදියට යන ගමන්"
(ඇයි හත්දෙයියනේ මූ මගෙ නින්ද කඩල ඉන්නෙ කොහෙද අහනව )
"උඹ මොකෝ මේ මහ රෑ"

"මං යන්න කියල මචන්"

"යන්න??? උඹ කොහෙ යන්නද මේ මහ රෑ"

"පාන්දර 2ට ෆලයිට් එක. මන් කටාර් යනව මචන්"
මාව ගොලු උනා. සද්ද නැතුව හිටියා.

"මොකෝ බන් චැනල් එක ඕෆ් කරේ.......... හොට්ටියෝ.............."

"යන්න එපා බන්"
මට කියවුනා. කඳුලුත් ආව.

"මං දන්නව බන් උඹට කතා කරාට පස්සෙ මට ආයෙ කාටවත් කතා කරන්න බෑ. ඒ නිසා මන් හැමෝටම කතා කරල උඹට තමයි අන්තිමට ගත්තෙ. මන් යනව කියල කෙල්ලට කිව්වෙ නෑ. හෙට උදෙන්ම කියපන්. එතකොට මං ලංකාවෙත් නෑ. එයාට සතුටින් ඉන්න කියපන් (මං නොදන්නව වගේ හිටියට මගෙ යාලුවයි තදයයි අතරෙ ප්‍රශ්න තිබුන. මටත් නොකියම දෙන්න වෙන් වෙලා). මන් ගිහින් එන්නම්. ඔය අවුරුදු පහ ඉක්මනට ඉවරවෙයි. මං ආවම එන්නම් උඹව බලල යන්න. හැබැයි පුතේ මන් එනකල් උඹට බඳින්න තහනම්."
(ඒකට නම් මට හිනා ගියා. මොකද මූ හැමදාම කියනව මගේ වෙඩින් එකේ බෙස්ට්මන්  වෙන කවුරුත් නෙවෙයි එයයි කියල. හේතුව කට්ටිය දන්නව ඇතිනෙ ) එහෙම කියල චමිත් ෆෝන් එක තිබ්බා.

අපෙන් ඈත් වෙලා යන වෙලාවෙත් අඬපු මාව හිනස්සල තමයි  එයා නැවතුනේ. මන් ඒ යාලුකමට ගොඩක් ආදරෙයි.

"ගිය රටේ කරදරයක් නැතුව ඉඳල ඉක්මනට වරෙන් බන්. පට්ට පාලුයි උඹ නැතුව"

මන් අන්තිම වතාවට SMS කරා.

මේ ඉන්නෙ මං මෙච්චර වෙලා කියවපු තදයා. 


ඔය රවුම් කරල ඉන්නෙ ජින්ජර් ටීම් එක, ඔතන කමල් - ශශිනි අඩුයි, එයාල ෆූඩ් එකේ හිටියෙ. නමක් නැති කෙනාව කට්ටිය දන්නවනෙ..

Monday, July 7, 2014

මමයි නුඹයි...



ප්‍රස්තුතයක් නැති උනාට
නුඹ නුඹම වෙන්න
මට මගේ ලෝකෙ හදාගන්න.......
බලාපොරොත්තුවක සේයා
නැතිවද හෙටවත් උදාවෙන්න...

නුඹ සඳ වගෙයි අහසට,
මං ඉර වගෙයි, හඳට එළිය දෙන
ඇයි අපිට බැරි
මාරු කරගන්න මේ චරිත දෙක...

මං හඳ,
නුඹ ඉර, හඳට එළිය දෙන

එතකොට නුඹ කියාවි,
"අමාවකට තරහයි මම"

එතකොට මාත් කියයි,
"අහස ආදරේ කරන්නෙත් හඳට"

මං දන්නව ඔයා අහනව කියල,
"එතකොට ඉරට මොකද වෙන්නෙ"

ඔක්කොම පැත්තකට දාල මම කියනව,
"නෑ මං අහස - දවල්ට ඉර - රෑට හඳ"

එතකොට ඔයා අහයි මගෙන්,
"ඉරයි - හඳයි එක අහසෙ එකට ඉන්නෙ කොහොමද "

මං දන්නව මට දෙන්න උත්තරයක් නෑ...
ඒ උනාට,
ඇත්තටම අහස
ඉරටයි හඳටයි ආදරෙයි හැමදාම......


Thursday, July 3, 2014

නුඹ මගේමය...



නුඹ නුඹමය නැත නුඹ වන් වෙනත් අයෙක්
පැතු පැතුමන් අපගේමය මතු භවයෙත්
දෙනෙත් හැර බලන් අදහනු බැහැ කිසිවක්
කොහි ගියෙ නුඹ හැරදාලා මාත් සිතත්

මග බලමින් උන්නේ රුව දැකගන්න
හඬවත් අසන්නට මා හට නැතිද පින
ලෝ පාලක දෙවියනි සිටියේ කොතැන
මගෙ රන්කඳ බැරිවද යලි මට දෙන්න

කොතැනද වරද කාගෙද මා නැත දන්නේ
නුඹගේ කොලුකමද නපුරට හරස් උනේ
දුක සැප බෙදාගනිමින් පෑ මිතුරු සෙනේ
රැගෙන ගියත් මා ගැන නෑ දුක සිතුනේ

දෙනෙත් පැලි පැලී කඳුලැලි වැගිරෙන්නේ
හිතත් පැලි පැලී නුඹමයි විමසන්නේ
දෝංකාර දී නුඹෙ හඬ පැතිරෙන්නේ
තනිවට නැතිද මාවත් අරගෙන යන්නේ

නුඹ මගෙමයි කවුරුන් කීවත් මොනවා
ඉන්නට බෑ තවත් හදවත කකියනවා
නුඹෙ උණුසුම පතා මගෙ සිත වද දෙනවා
බිදුවක් ඉවසන්න මා නුඹ වෙත එනවා


______________________________________________________________

මේකට නිමිත්ත අපේ පැත්තෙ උන ඇක්සිඩන්ට් එකක්. නොසැලකිලිමත්කම නිසා ජීවිත තුනක් එකම තැන අවසන් උනා. එක්කෙනෙක්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෝල් එකක් ගත්තම ආන්සර් කරල තියෙන්නෙ හොස්පිට්ල් එකෙන්.

"මෙයාව අඳුන ගන්න එන්න" කිව්වලු.

ඒ ගෑණු ළමයට මොනව හිතෙන්න ඇත්ද. ආරංචියෙ හැටියට එයත් වස බීල. හැබැයි එතනින් එහාට වැඩි විස්තරයක් දන්නෙ නෑ මං.

ප. ලි.

ෆොටෝ තියනව. ඒත් හිත හදාගෙන මේකට දාන්න බෑ. බලන්න ඕනි නම් මගේ ෆේස්බුක් අකවුන්ට් එකට යන්න (තනුජා යොලන්ති ). ඒකෙ ඉන්නව රුවන් ප්‍රියදර්ශන කියල කෙනෙක් එයාගෙ අකවුන්ට් එකට ගිහින් බලන්න යාලුවනේ.