Tuesday, September 30, 2014

පුංචි සාවියේ.......



ආදරෙන් වෙලී සියොලඟ
පාලුවේ නොදා මා සිත
රෑ දිවා සිනා අතුරා
ජීවිතේ පුරා ඉන්නට
තාරුකා නිවී දිලෙනා
මේ පහන් රැයේ තනිකම
සඳට පවරලා රහසින්
නුඹ වරෙන් හිමින් මා වෙත
පුංචි සාවියේ.......

උන් ඇවිත් නෙතින් ඉඟිකර
ගියාදෙන් දිලෙන තරු වෙත
හිත රිදී කඳුලු නොසලා
ඉඳින් සීරුවේ
උන්ට සුවඳ දෙන තරමට
මල් පිපෙයි නිතර එක ලෙස
කඩුපුලක් පිපෙන තුරු අපි
බලාඉමු රැයේ...

පහන් තාරුකාවේ හැඩ
යන්තමට පෙනී නොපෙනෙන
යාමයේ නුඹට යාහැකි 
වේවි පැංචියේ
ඉක්මනින් වරෙන් මා වෙත
ලෝකයේ පිරුණු සෙනෙහස
ලොකෙටම හොරෙන් විඳිනට
පාලු මේ රැයේ.....

Saturday, September 20, 2014

එදා නාවා නං....






කාලෙකට පස්සෙ මං
දැක්ක උඹේ ආඩම්බරකම්
නොදැක්ක වගේ දැං 
ඉන්න එක තමා හොඳ නම්

ඒ කාලෙ නං
අහක බැලුවොත් දඩුවම්
කාලයේ සෙල්ලං
මූණ බැලුමත් තහනම්

වෙලා සිටියා ඈ ළං
එවා මා වෙත නෙක රැවුම්
හොරෙන්වත් එවනවා නං
හසරැල්ලකින් නුඹෙ හැඟුම්

එදා නාවා නං
අරං ඈ සරසවි වරම්
අපේමයි අපි දැං
අනේ සඳ නුඹ නම්

Wednesday, September 17, 2014

....ආදර පාලම.... [ අවසාන කොටස]





ආදර පාලමේ ඇරඹුම...
දෙවැන්න
තෙවැන්න

දින සති මාස අවුරුදු ගෙවුණෙ අපිටත් නොදැනිම. ඒ වෙනකොට අපි අපිට ගොඩක් ළංවෙලා. අපි දෙන්න ගැන ගමම දැනගත්ත. වෙන මුකුත් හින්ද නෙවෙයි. ආදරෙන් ළං වුණු පාලම උඩ හෙමීට ඇහුණ අපේ කටහඬ වල සද්දෙ අපිටත් නොදැනිම හයියෙන් පිට වුණ නිසා.

------------------------------------------------------------------------------------------------

"නිම්"

"ඇයි අයියෙ"

"ඇයි නිකන් නෝන්ඩි වෙන්නෙ"

"අයියෙ"

"තමුසෙට පිස්සු හැදීගෙන එනවද ආ.. දුමිදුව ටවුන් එකේ වෙන කෙල්ලොත් එක්ක ජෝඩු දානව, තමුසෙ හවසට ඌත් එක්ක පාලම උඩ මුකුළු කරනව. මං නොකිව්වයි කියන්න එපා. ආයෙත් අහුවුනොත් ඌත් එක්කම එලවලයි පස්ස බලන්නෙ මං.."

ටික කාලයක ඉඳන්ම අයියා මේ විදියට මාත් එක්ක රණ්ඩු. මට දුමිදුව සැක කරන්න බෑ. ඒ ආදරේ මගේ විතරයි.

"නිම්මියො"
හවස පාලම උඩ අපි තනි උණා.

"මොකද දරුවො කතා නැත්තෙ"

"මොකක්ද අයියෙ මේකෙ තේරුම"

"මොකේද"

"කාත් එක්කද ඔයා ටවුමෙ රස්තියාදු ගහන්නෙ. කවුද ඒ කෙල්ල"
අයිය කතානෑ.

"කවුද ඒ කෙල්ල"
......................

"මං අහන්නෙ කවුද ඒ කෙල්ල"
මං පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුව.

"කට වහනව"
දුමිදු අයියගෙ සීතල වෙච්ච අත මගේ කම්මුල පුපුරු ගැස්සුව. පහල නාන්න ඇවිත් උන්නු කමල් අයියයි, තරූ අක්කයි පාලම උඩට දුවගෙන ආව.

"මොකද දෙන්නට වෙලා තියෙන්නෙ. ලැජ්ජ නැද්ද. අවුරුදු ගාණක් ලව් කරේ ගහමරා ගන්නද. උඹල දිහා බලල ඊරිසියාවෙ පැලුණු මිනිස්සු හිනාවෙයි"

"හිනාවෙන්න දෙයක් තව නෑ කමල් අයියෙ. මෙයාගෙ වැඩනිසා මිනිස්සු මට දැන් හිනාවෙනව"

වචනයක්වත් කතානොකරපු දුමිදු අයිය මගේ කම්මුල ආදරෙන් අතගෑවා. ඒ ඇස් වල කඳුලු බෝල ගුලි වෙලා. වෙනදට වඩා ආදරෙන් මං ඒ පපුවට තුරුල් උණා. ඒත් ඊට වඩා ඉක්මනට එයා මාව ඈත් කරල යන්න ගියා.

"දුමිදු අයියේ..........."

"අයියෙ නවතින්නකෝ.."

ඒත් දුමිදු අයිය නැවතුණේවත්, පස්ස හැරිල බැලුවෙවත් නෑ. එදා ඉඳන් හැමදාමත් මං පාලමට ආවත් දුමිදු අයිය ආවෙ නෑ. කවදාවත් එන්න දුමිදු අයියල ගමේ උන්නෙත් නෑ. එදා මට ගැහුව දවසෙ රෑ එළිවෙනකොට දුමිදු අයියලගෙ ගෙදර හැමෝම කොහෙදෝ ගිහින්. කවුරුත් දැනගෙන හිටියෙ නෑ කොහෙද ගියේ කියල.

මගේ ඇස් වල එච්චර කඳුලු තිබුණ කියල මං දැනගත්තෙ ඒ දවස් වල. පරඬැලක් වගේ වෙනකල් මං අඬ අඬා මගේ ආදරේ හෙව්ව. කවදාවත් හම්බුනේ නෑ. ඒක නිසා අපිටත් ගමේ ඉන්න බැරි උණා. හැමෝම මට දොස් කිව්ව. හැමදේම දැනගෙන උන්නු තරූ අක්කයි, කමල් අයියයි මාව මගෑරියා. ජීවත් වෙන්න ඕනිකමක් තිබුණෙ නෑ මට.

අම්මල අපිවත් අරන් ගමෙන් ආව. කවුරුත් නොදන්න ටවුමෙ පදිංචිකාරයො උණා. ගෙවෙන හැම තප්පරයක්ම වෙන් උණේ දුමිදු අය්යගෙ මතකෙට.

"චූටි දූ"

"ඇයි අම්මෙ"

"දැන් ඇති නේද ඔහොම හිටිය කාලෙ. හෙට අනිද්දට විභාගෙ. පොඩ්ඩක් පාඩම් කරන්න මගෙ පුතේ. ඔයා ඔහොම හිටියොත් මුකුත් කරන්න බැරි වෙයි. ඒත් ඉගනගෙන ඉස්සරහට ගියොත් දාල ගිය අයත් හොයාගෙන එයි"
මං මුකුත් කිව්වෙ නෑ. ඒත් අලුත් වෙන්න ඕනි කියල හිතුව.

"බිසී උනාම අනවශ්‍ය දේවල් අමතක වෙනවනෙ"
දුමිදු අයියගෙ කටහඬ ඈතින් වගේ මට ඇහුන.

---------------------------------------------------------------------------------------------

"කෙල්ල ගොඩ ගියා නේ"
ඒ මගේ හොඳම යාලුව ශම්මි.

"ඉතින් ඔයත් ගොඩනෙ"

"හරි හරි, ගේ ගුල්ල වගේ ක්ලාස් වත් නොයා හිටියනෙ. මොනාද ඒලෙවල් කරන්නෙ"

"ආට්ස් තමයි"

"සබ්ජෙක්ට්ස්"

"මියුසික්, සිංහල එක්ක ඇග්‍රි කරනව"
ඇස් වලට කඳුලු පිරුණ. ඇග්‍රි කිව්වම දුමිදු දුන්න ඇඹරැල්ල පැලේ මතක් උන නිසා වෙන්න ඇති.

කාලය ඉගිලුනේ විදුලි වේගෙන්. මං උසස් පෙල ඉවර කරා. ගුරුවරියක් උණා. ටික කාලයක් ඈත පළාතක හිටියා. ඒත් ඒ හැමදේම අතරෙ මතකය කියන දේ පන්න පන්න හිත රිද්දුව. මං කොච්චර හෙව්වත් මට දුමිදු අයියව හම්බුණේ නෑ. ඒක නිසාම මට ඕනි උණා රිදෙන හිතට බේතක් හොයන්න. මට ආපහු ගමට යන්න ඕනි උණා. එයා කවදහරි ගමට එනව කියල මං දන්නව. ඒකයි මේ ඉස්කෝලෙට පත්වීමක් ඉල්ලුවෙ. ඒක මට ලැබුණ. ඒත් මොකටද?

"නිම්"

"අය්යෙ"

"දැන් ඇති නේද හිත හදාගන්න ඉල්ලපු කාලෙ"

"මොනාද මේ කියන්නෙ"

"ගිය යකා ගියා. මොකටද විඳවන්නෙ. හොඳ කොල්ලෙක් හොයල දෙන්නම්. කසාදෙට ලෑස්ති වෙනව"

කසාදෙ පැත්තකට දාල මං ආව. අම්ම ඇඬුව හොඳටම. ඒත්............. මගේ හිත අඬන තරම කවුරුත් දන්නෙ නෑ. මට ඕනි උණේ මගෙ අයියගෙන් පළිගන්න. අපිව ඈත් කරේ එයා කියන හැඟීම හැමදාම හිතේ තිබුණ.

********************************************************************

"කොහෙද අනේ යන්නෙ"
රමණි ටීච අසංක එක්ක පාළමට ඇවිත්.

"මං නිකන් මේ පැත්තට ආවෙ. ලස්සනයිනේ"

"නිම්මි ටීචට ආස හිතිල වගේ මේ පැත්තට"
ආස හිතිල නෙවෙයි ආදරේ ලස්සන දවස් මට දුන්නෙ මේ පාලම හින්ද කියල කියන්න හිතුණත් මං හිනා වෙලා නිකන් හිටිය.

"මිස් දන්නවද වැඩක්"

"මොකක්ද අසංක"
රමනි කොයි වෙලෙත් මැද්දට පනිනව.

"මේ පාලම උඩ ලස්සන ආදර කතාවක් තියනව"
මාව ගැස්සුනා

"ඒ මොකක්ද"
රමනි ඇහුව.

"ඉස්සර ලස්සන කපල් එකක් ලව් කරල තියෙන්නෙ මේ පාලම උඩලු. මේ ගමේම උන්නු දෙන්නෙක්. පැංචො කාලෙ ඉඳන් එකටම ඉඳල තියෙන්නෙ. ලොකු උනාමත් හරි ආදරෙන් ඉඳල. කෝමහරි කෙල්ලගෙ අයිය පොර උදැල්ල දාල. හේතුව කෙල්ලගෙ අයිය ට්‍රයි කරපු කෙල්ල හෙන කැමැත්තෙන් ඉඳලලු අර කොල්ලට. කොහොමහරි ඒකා මේ කොල්ලට තර්ජනය කරලලු. නංගිටත් සද්දෙ දාන්න ඇතිනෙ. පස්සෙ මේ දෙන්න රණ්ඩුවෙලා ගිහින්. අන්තිමට කොල්ල ගමෙනුත් ගිහින් පවුල පිටින්ම. ඒකෙන් පස්සෙ කෙල්ලගෙ අයත් ගිහින්. අදටත් කවුරුත් දන්නෙ නෑ කෙල්ල කොහෙද කියල. කොල්ල නම් ඉන්නව"

මට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. මං ගමට ඇවිත් දැන් මාසෙකට ළඟයි. ඒත් කවුරුත් මාව හරියට දන්නෙ නෑ. අපේ කතාව එච්චරටම ප්‍රසිද්ද වෙලාද. මගේ අයිය ගැන මං නොදන්න දෙයක් අසංක කිව්වෙ. එදා දුමිදුගෙ නිහඬකම මගෙයි අයියගෙයි සහෝදරකම බේරන්න කියල මට අමුතුවෙන් හිතන්න ඕනි උනේ නෑ. දාඩිය බින්දු පිට දිගේ බේරීගෙන ගියා.  මගෙ වෙනස අසංකට දැනෙන්න ඇති.

"මිස් මොකද බයවෙලා."

"එහෙම නෑ අසංක. දැන් ඒ කොල්ල කොහෙද"

"දැන් කොළඹලු  ඉන්නෙ මිස්. මෙහෙ ඇවිත් මේ දවස් වල. ආච්චිව බලල යන්න. දවසක් මං දැක්ක හවස පාලම උඩට වෙලා ඉන්නව. තාම බැඳලත් නෑ. පවු නේද"

"ඔයාල එන්න, මං යන්නම්"
දුවගෙන ඇවිත් මං නතර උණේ කාමරේ. පපුව ගැහෙන සද්දෙ එළියටත් ඇහෙනව වගේ. දෙයියනේ මොනාද මේ වෙන්නෙ.

විදුලි සැරයක් වගේ මට අතීතය මොහොතින් මැවිල පෙනුන. අපේ ආදර කතාව ඉවර නෑ එතකොට. ඒත් එයා වෙනස් වෙලා නම්. නෑ වෙන්න බෑ, අපි ආදරේ කරේ ඇත්තටම.

එයා තාමත්  මට ආදරෙයි නම්, අදත් එන්න ඕනි පාලමට. මං හිත හදාගත්ත ඕනි දේකට මූන දෙන්න. 

පාලමට ගියා. පැයක් දෙකක් යන්න ඇති. අඳුර වැටෙනව, මුකුත් පේන්නෙ නෑ. කඳුලු බොඳවෙනව. ඇයි තාම නැත්තෙ දෙයියනේ. ඒත් එහෙම උන්නෙ ටික වෙලාවයි

"නිම්මි"
කන්දෙක ළඟින් ඇහුනෙ මගෙ ජීවිතේම වෙනස් කරපු ඒ හඬ. මුලු ඇඟ පුරාම විදුලි සැරයක්  වැදුන වගේ දැනුන......... දුමිදු අයිය මං ළඟ..... මගෙ ජීවිතේ මගෙ ළඟ...... මට හුස්ම ගන්නත් අමතක වෙන්න ඇති..... මං හයියෙන් කෑ ගැහුව....

"දුමිදු අයියෙ"
මං හයියෙන් එයාව බදාගත්ත. එයත් එහෙමයි. අර ඉස්සර කිව්ව වගේ අත් නොහැරෙන්නම. තද.........ට.

"කොහෙද මාව දාල ගියේ දෙයියනේ"

"පරන කතා එපා. මේ අලුත් කතාවක්"
දුමිදු අයිය එච්චරයි මට කිව්වෙ.

මුලු ලෝකෙම මං වැරදියි කියද්දි, මුලු හිතම මට වද දෙද්දි, හැම අස්සක් මුල්ලක් නෑරම මං හෙව්ව මගේ ආදරේ මගේම උනේ එහෙමයි. අද මං තරම් ආදරේ... ජීවිතේ...  විඳින කෙනෙක් මේ මුලු ලෝකෙම නැතුව ඇති.

මොකක් ........ ආ......... ඔයාල අහන්නෙ මගෙ අයිය ගැනද, ඔය ඉන්නෙ අපූරුවට දෙමස්සිනාල. ඒ කාලෙ එයාටත් දුක හිතෙන්න ඇති එයාගෙ ෆස්ට් ලව් එකටනෙ උදැල්ල වැටුණෙ.

අපි තාමත් යනව අපේ පාලම බලන්න. නිකන් පාලම නෙවෙයි "ආදර පාලම"

අපිව එකතු කරපු - වෙන් කරපු - හිටියටත් වැඩිය ආදරෙන් අපිව ආයෙත් එකතු කරපු ආදර පාලම දැන් වයසයි. 

ඒ උණාට අපෙන් පටන් ගත්ත ආදර කතා වගේම නිමා කරපු ආදර කතාත්, ආයෙත් පටන් ගත්තු ආදර කතාත් ඉවරයක් නෑ. 

කාටත් වැඩිය හොඳට මේ ආදර කතාගැන ආදරනීය මතක මේ පාලමට ඇති. සමහර විට අපටත් අමතක උණු අපේ සමහර හැඟීම් පවා ...........





Tuesday, September 16, 2014

....ආදර පාලම.... [iii කොටස]


 



ආදර පාලමේ ඇරඹුම...
දෙවැන්න

මතකය හදවතේ එහාට මෙහාට ඇවිදිනව. හිටපු ගමන් තැනකට හයියෙන් පාරක් ගහනව. එතකොට එතනින් එන වේදනාව ඇස්වලින් එළියට පනිනව. වෙලාවකට හිතෙනව මං ආවෙ නොආ යුතු ගමනක් කියල. ඒත් මට එන්න ඕනි උණා. මේ බිමේ අඩියක් අඩියක් ගානෙ මං ජීවත් වෙනව. ඒත් ඒ මම ම විතරද?

"නිම්මි"

"ම්ම්ම්"

"පොඩිකාලෙ වගේ ඇයි අපිට දැන් ඉන්න බැරි"

"ඒ කිව්වෙ"
හිතට ආව හැඟීම් යට කරගෙන මං ඇහුව.

"අපි දැන් පොඩි ළමයි නෙවෙයි නංගා"

"එහෙනං ආයෙත් පොඩි වෙමු"

"පිස්සි ඒ කෝමද"

"දෙන්නත් එක්ක අත් අල්ලන් පාලමෙන් පහලට පනිමු. එතකොට ආයෙත් ඉපදෙයිනෙ"

"මං පැන්නත් ඔයා පනින්න එපා"
මං එයා දිහාම බලාගෙන හිටිය. හිත රිදුණු තරම දුමිදු අයියට තේරුණේ නැතුව ඇති.

"මොකද බලාගෙන ඉන්නෙ"

"නපුරා. ඔයා තමයි මේ ලෝකෙ ඉන්න නපුරුම කෙනා"

"ඇත්තට, කෝමද දන්නෙ. මට හොරෙන් මුලු ලෝකෙම අයව යාලු කර ගත්තද"

"ඔව්. මුලු ලෝකෙම"

"එහෙනම් මාව මොකටද. අතෑරල දාන්න මේ දුප්පත් හිඟන්නව"

"අතාරින්න බෑ"

"ඇයි"

"අමතක වෙන්නෙ නැති නිසා"

"නංගා"

"ඇයි"

"පාලමට යමුද"

"හා හැබැයි ඉක්මණට එමු. අම්ම බලයි දහම් පාසලට ගිය එකී පරක්කු මොකද කියල"

"ඒකි පරක්කු උණාම අම්ම දන්නවනෙ මේකත් එක්ක පාලමේ කියල"

"ඒක තමයි අම්මත් ඔයා කියපු දේම කියන්නෙ"

"මොකක්ද"

"දැන් පොඩි ළමේක් නෙවෙයි කියල"
තවත් වචනයක් වත් කතා නොකර අපි පාලමට ආව. ගඟ ගැඹුරුයි, බොරයි, මේ දවස් වල වැස්ස නිසා. 

අපි දෙන්න දැන් පාලම උඩ.
"දෙයක් අහන්නද"

"හ්ම්ම්"

"ආදරේ කියන වචනෙ තේරුම දන්නවද"

"තේරුම දන්නෙ කෝමද ආදරේ කරන්නෙ නැතුව"

"මට දැනෙන විදියට කියන්නද"

"හා"

"අතාරින්නෙ නැතුව මෙන්න මෙහෙම තදින් අල්ලගෙන හැමදාම ජීවත් වෙන එකට"
දුමිදු අයිය මගේ අත තද.....ට අල්ලගෙන කිව්ව.

කියන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නෑ. පුංචි කාලෙ ඉදන් එකට හිටිය අපි දෙන්න ගැන අපි දන්නව. ඒත්............

--------------------------------------------------------------------------------

"නිම්"
හවස අපේ අයිය කතාකරා.

"ඇයි අයියෙ"

"පොඩ්ඩක් එනවකො"

"ඇයි වදේ"

"මේ මං තමුන්ට දෙයක් කියන්නද"

"මොකක්ද"
බය පෙන්නන්නෙ නැතුව මං ඇහුව.

"මේ දැන් තමුසෙ ජංගි ඇඳන් නටපු කාලෙ ඉවරයි හරිද. අර දුමිදුවත් එක්ක පාළම උඩ ඉන්න එපා. අහු උණොත් අඩු කඩනව මං. අනික..."
අම්ම ආව නිසා අයිය කතාව නැවැත්තුව.

"මොකක්ද දෙන්නගෙ කුටුකුටුව"

"නෑ අම්ම අද මං එනකොට මෙයයි දුමිදුයි පාලම උඩ හිටිය. මාත් ඉතින් බලාගෙන ඉඳල ආව. ඇහුවෙ.... දැන් දෙන්න සෙට්ද කියල"

"චූටි පුතා"
අම්ම කෑ ගැහුව. මං හිතුවෙ නෑ අයිය අම්මට එහෙම කියයි කියල. මං ඇඩුව තරම් අදටවත් මට හිතාගන්න බෑ. 

********************************************************************
"මිස්"
මං පස්ස බැලුව. අසංක සර්.

"සර්, හදිස්සියෙන්ම ආවෙ"

"ගෙදර වැලිතලප වගයක් හැදුව. මිස්ලට දීල යන්න කියල ආවෙ"

"ගොඩක් ස්තුතියි සර්"

"මිස්"

"සර්"

"ඔය ඇස්වල කඳුලු පිහිද ගන්න"
මං හිනාවෙලා ඇතුලට ගියා. රමණි ටීචර් කඩාගෙන බිඳගෙන එළියට ආව. සර් එයාව මගහරිද්දි පස්සෙන් යන්නෙ එයාට පිස්සු වෙන්න ඇති.

මං පිටිපස්සෙ දොරෙන් බැහැල ගියා.

"පාලමට"

"නිම්මි"

"ම්ම්ම්"

"ඉස්සර වගේ කියව කියව ඉන්නකො"

"ඇයි ඒ"

"එතකොට මට පාලු නෑ"

"බොරූ"

"ඇත්ත. මේ මං බඩ්ඩක් කියන්නද"

"මොකක්ද"

"නාන්න ඇවිත් ගොඩක් වෙලා ඉන්න එපා"

"ඇයි"

"අහන ලස්සන විතරක්. මෙතන චීත්තෙකුත් ඇදගෙන නිළිය වගේ නානව. අහල පහල උන් බලාගෙනනෙ ඉන්නෙ. මගෙන් ගුටි නොකා මීට පස්සෙ ඉක්මනට නාල ගෙදර යනව"

"පුංචි මහත්තයට කේන්ති ගියාම මූණෙ තියෙන ලස්සන"
එහෙම කිව්වම එයා හිනාවෙලා අතේ තියෙන කෝටුවෙන් පස්සට පාරක් ගහනව.

"දුප් හොර කෙල්ල"

"මාත් බඩ්ඩක් අහන්නද"

"ඔව් අහන්න බලන්න. මං දෙන්නම් උත්තර"
ඇදන් ඉන්න සරමෙ වාටියෙන් පොඩ්ඩක් අල්ලගෙන බැරෑරුම් පෙනුමක් මූණට අරන් උත්තර දෙන්නයි එයාගෙ ලෑස්තිය. මට හිනා. ඔන්න ආයෙත් කෝටුපාර. මාත් අර ටීවී එකේ වගේ අහනව.

"ඇත්තටම මිස්ට දුමිදු, මෙච්චර ලස්සන, අහිංසක, නිකන් නලු ලුක් එකක් තියෙන හැන්ඩි කොල්ලෙක් මොකද අර වගේ ගොඩේ ලුක් එකක් තියෙන...."
මට ප්‍රශ්නෙ අහල ඉවර කරන්න වෙන්නෙ නෑ. එයා අර කෝටුවෙන් ගගහ මගේ පස්සෙන් එලවනව. 

පාලම දිගේ එහාටයි මෙහාටයි හති වැටෙනකල් දුවල තමයි අපි නවතින්නෙ. අන්තිමට හයියෙන් මාව අල්ලගෙන මූණට එබෙනව.
"මේ ඇස් දෙක මාව අල්ලගත්තෙ කවදාවත් අමතක වෙන්නැති විදියට. මං තමයි "lucky man of the world"
එයා කෑගහනව පාලම උඩ ඉඳන්. 

ආදරේ කොච්චර ලස්සනද..................



~ මතු සම්බන්දයි ~

Saturday, September 13, 2014

....ආදර පාලම.... [ii කොටස]





ආදර පාළමේ ඇරඹුම


* * *
දෙගොඩ තලායන ගංවතුරට කොටු වී ජීවිත අහිමි වූ ගම්වැසියන් ගනන වැඩි වන විට ගමට පාලමක් ලබාදෙන්නට බලධාරීන් තීරණය කර තිබිණි. පාලම හැදෙන්නේ අපේ නාන තොටුපළෙනි.



"නංගි පොඩ්ඩක් ඉන්නවකො"

"ඇයි"

"මාර වැඩේනෙ"

"ඇයි, මාරගහේ මල් පිපිලද"

"නෑ නෑ, පාලම හදන්නෙ ඔයාලගෙ හරියෙනෙ"

"ඇයි ඊරිසියයිද"

"අපෝ වැඩේමයි"
ඊළඟ මොහොතේ ඔහු උඩ පැනගෙන සෙල්ලම් කරන්නට දුවයි. අපේ පුංචි කාලෙ හරි ලස්සනයි කියල මට තාමත් හිතෙනව. 

පාලමේ වැඩ ඉවර කරල ඕපනින් එක වෙනකොට මං පහේ පංතියේ හිටියෙ දුමිදු අයිය අටේ. හැමෝම එනව පාලම බලන්න. අපිත් පාලම උඩ. දුමිදු අයිය ලොකු කල්පනාවක. මං ඇගිල්ලෙන් ඇනල ඔලුවෙන් ඇයි කියල ඇහුව.

"ඈ නංගි මාර වැඩේනෙ"

"මොකක්ද"

"දැන් කොහොමද අපි මල් පා කරන්නෙ"

"ඇයි"

"හැයි කියන ලස්සන විතරක්. බලනවකො පාලම ළඟ වතුරෙ සැර. උඩ හරිය වලයි බහින්නත් බෑ. පාලම පහු කෙරුවොත් මල්වල පෙතිත් නෑ"

හිතට දුකක් ඇති උනාද කියා පැහැදිලි මතකයක් නෑ මට. ඒත් මං දුමිදු අයියත් එක්ක හිනා උනෙත් නෑ. අපි ඉස්සර මල් පා කරේ සෙල්ලමට. හවස නාන්න යන වෙලාවට ගංඉවුර දිගේ දුමිදු අයිය දුවගෙන එනව මං නාන්න ආවද බලන්න. කොහොම දැන ගන්නවද දන්නෙ නෑ. එයා හැමදාම මං එන වෙලාව දන්නව.  එයා නාන්නෙ උඩහ තොටුපොළෙන්. අපි පහළින්. රණ්ඩුත් වෙනව එයාලගෙ කුණු අපිට නාන්න වෙනව කියල. එයා උඩ ඉදන් අරලිය මල් පා කරල එවනව. මං පහලින් එකතු කරනව. 

ඒත්...... පාළම හැදුනම ඒක නැවතුණා. කාලයත් එක්ක අපි වෙනස් උණා. මං ශිෂ්‍යත්වෙ කියන කන්දොස්කිරියාවෙන් දිනල ටවුමෙ ඉස්කෝළෙට ගියා. පාඩම් වැඩ ගොඩගැහුණ. දුමිදු අයිය පුරුදු විදියටම මුණගැහුණ. ඒත් පොඩිකාලෙ වගේ නිදහසක් අපිට තිබුණෙ නෑ. එයා ඕලෙවල් වලට ලෑස්තිවෙනව. 

සමහර වෙලාවට අපි අපිව මගහැරිය. කලිසං කොටයක් ගහගෙන ජබුං ගාල වතුර වලට පැනල නටල දඟලන කාලෙන් මිදිල චීත්තයක් ඇදගෙන හෙමීට වතුරට බැහැල නාන කාලෙ වෙනකොට දුමිදු අයිය හිනාවෙලා බයිසිකලෙත් පැදගෙන පාලම උඩින් ගියා.

ගෑණුළමයෙක්ගෙ ජීවිතේ වෙනස් කරන ලස්සනම දේ මං අත්වින්ඳෙ අට වසරෙදි. දවස් පහ හයක් ගේ ඇතුලට වෙලා ඉඳල පාන්දර හයට විතර සීතලේ වෙව්ල වෙව්ල නාල කට්ටියගෙම ආශිර්වාද මැද්දෙ එළියට ආවම ලැජ්ජත් හිතුන. අනේ මංද කාලයත් එක්ක මට දුමිදු අයියව අමතකම උණා. ඒ මතකය අලුත් උණේ මගේ මේ අලුත් වෙනසත් එක්ක.

"නිම්මි"
ඒ මගෙ සැපදුකට ළඟ ඉන්න තරූ අක්ක.

"මොකෝ හොරගල් අහුලන්නෙ, අන්න කුමාරය වඩිනව"

"තරූ අක්කෙ කට.. කට"
මං තරූ අක්කව කෙනිත්තුව. අපේ අත්තම්මට ඇහුණොත් ඉවරයි.

යාලුවො කට්ටියක් එක්ක දුමිදු අයිය ආව. මං හැමෝටම වැඳල කතාකරා. මේ හැමෝම එන්නෙ මගේ අප්පච්චි නිසා. එයා ගුරුවරයෙක් විදියට ගෝලයන්ට ගොඩක් ආදරේ කරා. ඒකයි අපේ ගෙදර කට්ටිය පිරිල ඉතිරුනේ.

"නංගි"
මං කතාකරේ නෑ. දණගහල වැන්ද එයාටත්. 

"පරිස්සම් වෙලා ඉන්න දැන්, තුණුරුවන්ගෙ සරණයි"

"තව"

"ම්ම්ම් තනියම මංකඩේ යන්න එපා. බුල්ටො කන්න කඩේ දුවන්න එපා. මහ හයියෙන් හිනා වෙන්න එපා, තව....."

"අපෝ ඇති ඇති. කවුද ඕව කියල දුන්නෙ"

අයිය හිනාඋණා. ඔයා එවන මල් ඇහිඳින්නෙ කවුද එතකොට කියල අහන්න හිතුණත් මං ඇහුවෙ නෑ. කෝමත් විබාගෙ ලඟ එකේ ඔය පොත්ගුල්ල පාඩම් කරන්නෙ එලියටවත් බහින්නෙ නැතුව කියල මං දැනගෙන හිටිය. අයිය අතේ තිබුණ අරලිය පොහොට්ටුව මං ගත්ත. මලක් ගෙනාවෙ නැත්තෙ පේන හින්ද වෙන්න ඇති. ඉස්සර වගේම මං තාමත් අරලිය මල් වලට ආස අපේ අතීතෙ නිසා කියල මට දැන් හිතෙනව.

******************************************************
"මිස් ඉස්කෝලෙ ඉස්සරහ හෝල්ට් එකේ. බහින්න අමතක උණාද"
කොන්දොස්තර අහනකල් මට මතක් උණෙත් නෑ. මට හිනාගියා.

"තැන්කියු"

"ලොකු කල්පනාවක නේද මිස් ආවෙ"

"ඒකනෙ. ගමට යන්නෙ කාලෙකින්නෙ. ඉතින් ඉස්සරකාලෙ මතක් උනා"

මං ඉස්කෝලෙ ගාවින් බැස්ස. කටු කම්බි වැටකින් මායිම් වෙලා තිබුණු ඉස්කෝලෙ, තාප්පෙකින් කොටුවෙලා. කාලයට කොච්චරක් දේවල් වෙනස් කරන්න පුලුවන්ද? 

හැබැයි ඒ තාප්පෙට උඩින් ඉස්කෝලෙ වත්තෙ පේන්න තිබුණු දෙයක් ආයෙත්ම මාව අතීතෙට අරන් ගියා.

එතකොට මං පහේ පංතියෙ. අපිට ඖෂධ උයනක් හදන්න තිබුන. අහස පොළව ගැටගගහ මං හිටියෙ.

"මොකද ප්‍රශ්නයක්ද"

"ඖෂධ උයනට දෙන්නෙ මොනාද"

"අය්යෝ ඕකද ප්‍රශ්නෙ. මං ගේන්නම්"

පහුවෙනිදා හවස දුමිදු අයිය සෙල්ලං කරන්න ආවේ ඇඹරැල්ලා පැළයක් න්.
"මේක හිටවන්න"

"කොහෙන්ද"

"අපේ ඉස්කෝලෙන්"
ඒ කාලය වන විට දුමිදු අයියා සිටියේ නගරයේ උසස් පාසලකය.

"හොරකං කරාද"

"නෑ කෘෂිකර්ම සර්ගෙන් ඉල්ලගත්ත"
මේ ඵල දරා ඇත්තේ ඒ ඇඹරැල්ලා ගහය. මට සිනානැගිණි. කඳුලු හින්දාද මංදා මොහොතකින් ඇඹරැල්ලා ගහ බොඳ වෙන්න පටන් ගත්තායින් මම බිම බලාගෙන ඉස්කෝලෙ ඇතුලට ගියා



~ මතු සම්බන්දයි ~


Thursday, September 11, 2014

....ආදර පාලම....


"ආදරය කියන වචනෙ තේරුම ඔයා දන්නවද?"

කෙල්ල අහනව කොල්ලගෙන්. දෙන්නගෙ බර ආදර කතාව එහෙන් මෙහෙන් මගෙ කන් වලටත් වැටෙනව. හිත ඈතට පාවෙලා ගියා. ගමට යන්නෙ අවුරුදු ගාණකට පස්සෙ. ඉස්සර වගේ නෙවෙයි, දැන් පාරවල් හැදිල ගම දියුණු වෙලා. පැය ගනන් යන වෙලාව අඩු වෙලා. ඒත් තාමත් ගම ගමම වෙන්න ඇති. මොකද ගම දියුණු උණාට මිනිස්සු පරණයිනෙ.
................................................................................................................

"ගුඩ් මෝනින්"

"ගුඩ් මෝනින් අක්කා"

"අනේ මන් දන්නෙ නෑ. මෙයා දවසින් දවස හැඩ වෙනව. කාට පේන්නද ආ"

"අනේ ඔය ඉතින්... එපා අප්ප විහිලු කරන්න. මේ කලු කෙල්ලගෙ මොන හැඩක්ද"

"ආහ් මෙන්න වැඩක්. පාට පොඩ්ඩක් අඩු උණාට කොල්ලට කැපෙන හැඩ වැඩ අඩුපාඩු නැතුවම පිහිටල තියෙන්නෙ. මට කමල් කිව්ව දුමිදු කිව්ව කියල"

"ඔයාටත් පිස්සු ඔයාගෙ කමල්ටත් හොදටෝම පිස්සු අනේ"

"නංගි ඇත්තටම ඔයා කැමති නැද්ද දුමිදුට"

"අනේ මංද අක්කෙ"

"මංද තොණ්ඩුව වෙයි ඔහොම යනකොට. උඹ යන යන තැන ඉශ්ඨ දේවතාව වගේ පෙනී හිටිනව. ඒ උණාට දෙන්නම නොදන්නව වගේ ඉන්නව"
මම නිශ්ශබ්ධ උණෙමි. තරූ අක්කා එක්ක කතාකර බේරෙන එකට වඩා පාලමෙන් පහලට පැනීම පහසුය.

මට තනිවම සිනා නැගිණි. ඒ කාලය තරම් සුන්දර කාලයක් මගේ ජීවිතයට යළි නො එනු ඇත. නුහුරු හැඟීම් හිත තුළ පෙරළි කරද්දී නිශ්ශබ්ධව සිටි මාත් දුමිදුත් යළි සිහියට නැගෙයි. අප හදවත් යා කළ අරුම පුදුම පාලම ආදරය යැයි දැන් මට හැඟේ.

"පාලම"

සියල්ලට මුළ පාලමය.


~ මතු සම්බන්ධයි ~

Tuesday, September 9, 2014

ආදර සිත


බිඳුනු සිතක
රැඳුණු මතක
ඇඳෙන මැකෙන 
අයුරු පුදුම
නෙතක කඳුල
හදක සුසුම
ප්‍රේමාතුර
හදට උරුම
දුරක ළඟක
කොතැනක වුව
දෙහදක තතු 
විවර කරන
නොවෙත දියත
ඉසිඹු නොලත
ආදර සිත
අපට උරුම