Tuesday, November 22, 2016

නොකී පෙම....

Image result for work at office




එක දිගටම ඇහෙන්නේ කී බෝඩ් එකේ අකුරු අමුණන සද්දේ විතරමයි... වචනෙන් වචනෙට ස්පේස් කී එක ඔබන සද්දේ ඊටත් වඩා වැඩි... මේ මුසල පාළුව නැතිවෙන්න එහෙම හරි සද්දයක් තියෙන එක හොදයි.. නැතිනම් මේ නිස්කලන්කෙ නැති වෙන්නේ ඒ ගොරෝසු කටහඩට විතරමයි... ඔලුව කරකවල ඔරලෝසුව දිහා බැලුවේ මන් හිතන්නේ පස් වෙනි පාරට වෙන්න ඇති.. සමහර විට හය හත් වතාවකටත් වඩා වැඩි ඇති...

හෙමි හෙමින් වයිබ්රේට් වෙන ජංගම දුරකතනේ අතට ගත්තේ ඊලගට මගේ නොසන්සුන්කම තවත් වැඩි කරන ඒ කටහඩ අහන්න.....

"තමුසේ තවම මොකද ඔතනට වෙලා කරන්නේ... මට මෙතන බලන් ඉන්න බැහැ.. ඕන මගුලක් කරගෙන ඉක්මනට ගෙදර එනවා.."

වචනයක්වත් පිටකරන්න නොදී අහස්ගේ කටහඩ විසන්දි වෙලා ගියා..

ඔව් ඒ 'අහස්'... මහමෙරක් තරමට ආදරේ කරලා.. මගේම කරගත්ත මගේ මහත්තයා... ඒත් දවසින් දවස මට අඩු වෙවී දැනෙන්නෙත් ඒ ආදරේම නේද කියල හැගෙනකොට හිත අහසක් තරමට බර වෙනවා.. මටත් නොදැනීම... කාලය ගෙවෙන්න ඇති තවත් මිනිත්තු කිහිපයකින්.. හැගීම් විරහිත හිතකට  වර්තමානයක් නෑ වගේ...

'සහරා'..
හැමදාම ඇහුනත් මම ගැස්සෙන ඒ ගොරෝසු හඬ මේ දැන් මගේ කන් දෙක විනිවිදගෙන ගියා මට දැනුනා. හරියටම කාන්තාරයක් තරමටම රළු වෙන්න ඔහු ඒ හඬ බරකරා... මට ආවේ මන් ගැනම කේන්තියක්... ඇයි මට මේ වගේ නමක් ලැබුනේ...

'සර්..'
'ප්‍රින්ට්ස් අරගන්න.. හෙට මං මීටින්.. අදම දුන්නොත් සයින් කරන්න පුළුවන්.. හෙට මේල් කරන්න ඔක්කොම ලෙටර්ස්..'

'හො.. හොදයි සර්.'

ආපහු කම්පියුටරේ ළගට... ආයෙමත් පුරුදු ටිකි ටිකි හඬ... තවත් ටිකකින් ප්‍රින්ටරේ සද්දේ... මට දැනෙන්නේ මටම බනිනවා වගේ හැගීමක්.. හරියට.. ''උඹට ගෙදර ගැන වගක් නැද්ද??? දැන් පලයන්... අහස් තරහින් ඇත්තේ..'' ඒ වගේ දෙයක් මට දැනෙනවා... ඇත්ත... කෝ මගේ ජීවිතේ...

ඉක්මන් උන මගේ ඇගිලි තවත් මොහොතකින් ඒ කීබෝඩයට නිදහසක් දීල කම්පියුටරය පැය ගණනක නිද්‍රාවකට පත් කරා... ඒ ගොරෝසු කටහඩේ උරුමක්කාරයට උරුම සැප පහසු කාමරේ මේසය උඩට ගෙනිහින් තිව්ව ලියුම් ගොඩ ආපහු හෙට උදේ මගේ මේසය උඩට එනවා කියල මන් හොදාකාරවම දන්නවා.. ඉතින් උඩින්ම තිබුණු ලියුම දිහා ඔරවල බලපු මම ආපහු හැරුනේ ගෙදරට දුවන්න...

'සහරා'
ආයෙමත් ඒ හඬ.. රළු ගොරෝසු ඒ හඬ...

'සර්'
පුරුදු පිළිතුර...

'මන් කියපු දේ ගැන මොකද හිතන්නේ. මෙහෙට වඩා හොද සැලරියක් ඔයාට ලැබෙයි. යන්න කැමති නම් කියන්න. අනික ටික කාලයක් දුරක හිටියා කියලා ලොකු ඉෂු එකක් නැහැනේ නේද??'

මගෙ මුණ පුරා ඇඳුනු සරදම් හිනාව ඒ ගොරෝසු ඇස් වලට හොදින් පේන්න ඇති.. ඒ නිසාම ඒ අතට මෙච්චර වෙලා ගුලි වෙලා සුදු කොලේක නොසන්සුන් ඉරි අදිමින් තිබුණු  කාබන් පෑන තවත් නොසන්සුන් වෙන්න ගත්තා... මම හෙමිහෙමින් දහ අතේ දුවන්න හදන හිත එකතු කරලා මිටියක් වෙන්න බැදගත්ත...  මේක තමයි හොදම වෙලාව..  අටේ කණිසම පෙන්නන ඔරලෝසු මුණත දිහා තවත් එකපාරක් බලපු මම හෙමින් වචන එකතු කරා...

'මම යන්නම් සර්'

තවත් එක මොහොතක්වත් ඒ සීත කාමරේ නොඉඳ මම ආවේ ඔෆිස් මැනේජර් කෙල්ලගේ මේසෙ ළඟට.. උඩින්ම තිබුණු ''ලීව් ෆෝම්'' ෆයිල් එකෙන් ගත්තු කොලය මං පිරෙව්වේ ඒ හදිස්සියෙන්මයි... තවත් මොහොතකින් එලියට එන ගොරෝසු ඇස් දෙකට පේන්න අත්සනකුත් දාල මං පිට උනා..

--------------------------------------------------------------------------------------------------------------------------

ඒ වෙනකොටත් අහස් රෑ කෑම හදන් මං එනකල් බලන් ඉන්නවා... මට සිහින් ලැජ්ජාවක් ඇති උනා මං ගැනම... ඒ කෑම කනකොටත් මට දැනුනේ ඒ දේම වෙන්න ඇති.. බඩගින්න තිබුනත් මං අතරමග නවත්තලා අත සෝදා ගත්තා... 

සේරම ඉවරයක් වෙන්න ඕනි... මේ සේරම.... මේසෙ උඩ තිබුණු සුදෝසුදු පිටුවක මං මට ඕනි දේ ලිව්වා... තව එකපාරක් හිතපන්... මගේ යටි හිත කෑ ගහනවා... ඒත් අත නැවතුනේ නැහැ...

-------------------------------------------------------------------------------------------------------------------------

අද.... ඔව් ඒ දවස අද..... මං කන්නාඩියෙන් පේන මගේ රූපෙ දිහා බලාගෙනම හිටිය... තවමත් තරහින් ඉන්න අහස් දිහා බලන්න බැරිකමක් දැනුනත් මං මේ අවස්ථාවට මුණ දෙන්නම ඕනි.....  යන්තම් ඇහුනු සද්දයක් නිසා මං දොර දිහා බැලුව.. අහස්... මං ආදරේ කරපු... අදටත් මං පනටත් වඩා ආදරේ කරන අහස් මං දිහා බලාගෙන ඉන්නවා...... සීරුවට අද්දපු ඒ කකුල් ඇවිත් නැවතුනේ මං ළග.... ඊලගට හෙමි හෙමින් මගේ උරහිස්  උඩට තැවරුණු ඒ දෑත් සීරුවෙන් මගේ උරහිස් පිරිමැද්ද..

'ඔයා ඉක්මන් උනා වැඩි නැද්ද සාරා..'
මගේ නම මං ආසම විදියට උච්චාරණය කරේ එයා විතරමයි... මං ඔලුව දෙපැත්තට වැනුවා... එතකොට මට අර ගොරෝසු ගතිය දැනෙන්නෙම නෑ...

'හ්ම්ම්'
එයාගෙන් හීනි සුසුමක් පිටවුනා... කවදත් වගේම ඒ සුසුමෙන් කියවුනේ එයාගේ හිතේ තියෙන බර...

'මමත් එන්නද'
අහස් අහනවා...

'එපා'
මං වචන වලට අකුරු ඇහින්ද...

'ඔයා තාම ඉස්සර හිටිය පුංචි කෙල්ලමයි... හිතුවක්කාරී..'
නෝක්කාඩුවක් උනත් ඒ වචන ඇතුලෙත් තිබුනේ ආදරේ... මං හිනා උනා..

'පරිස්සමින් ගිහින් එන්න..'
නළලට දුන්නු උණුහුම් හාදුව ඊටත් වඩා දේවල් මට කිව්වා...

මේසේ උඩ ලිවුම් කවරෙක තිබුණු 'සේවයෙන් අස්වීමේ ලිවුම' තවත් දෙපාරක් නොහිතම මං අතට ගත්තා.. ඉදින්... කාටවත් නොකී තරමටම හිතේ හැංගිලා තිබුණු ආදරේ මගේම කරගන්න මේ අවස්තාව හොදටෝම ඇති කියල මං දන්නවා.....

අදින් පස්සේ මගේ ජිවිතයම අහස් වෙනුවෙන් තියේවි...

Wednesday, September 14, 2016

එක් දිනක...


Image result for couple


සෙමින් ඔහු කොපුලත සිඹින
ඇගෙ සිනිඳු කෙහෙරැළි..

අකීකරු ඔහු අක්බඹරු කෙස්
අතරින් දිවෙන ඇගෙ අතැඟිලි..

මුනිවතට ඉඩ තබමි මා,
හෙටත් දිනයකි, හිරු උදාවන...

Monday, September 12, 2016

අකීකරු පෙම් මියුලැසී



Image result for crying couple in rain with umbrella



නොදොඩාම නුඹ ඉන්නා හැටී
මල් කුඩය යට ගුලිවී ගැටී
හද මතක දොරගුලු බිඳ වැටී
නෙත ගලන කඳුලැල් වැහි කැටී....


සෙනෙහසක අරුතක් දන්නැතී
රුදු බඹර විශ කොතෙකුත් ඇතී
සිත අකීකරු පෙම් මියුලැසී
නුඹ ගියපු දුර හොඳටම වැඩී......


සංසාර සෙනෙහස සිත පිරී
ඔය කඳුලු බිඳු මට බර වැඩී
රත් කොපුල් මුව පිරි හසරැලී
පෙර වාගෙ මගෙමයි සුරතලී.....

Saturday, March 26, 2016

ෂොපිං



ඕටීත් ඉවර කරල
කලබළ නගරේ
ඇවිදගෙන මං ගියේ
හිත ඇතුලෙ 
දෝංකාර දෙද්දි
පුංචි උන්ගෙ සද්දෙ
"ළඟදි  අවුරුද්දලු
අලුත් ඇඳුම් ගන්නවලු"
හිනාවක් මගෙ මූනෙ
පණ්ඩිත පැටවු...
හෙට යන්න ඕනි ෂොපිං
ඔයාටත් නිවාඩුනෙ
හිතට අවුරුදු ලැබුව වගේ
ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් ලැබුනනෙ
හෙට අපි ෂොපිං...
ඒත් අහම්බෙන් 
මං දැක්කෙ නුඹමයි
ඔයත් එක්ක එයා ගිහින් ෂොපිං
මට කලින්...

Monday, March 21, 2016

වැලන්ටයින්




"සිප ගැනුම අකැපය බාඳුරා
සෙමින් ළංවී කොපුලත"
මිමිණීය සිහින් ස්වරයෙන්
ඈත හිඳ පෙම් බඹරිඳු

රක්ත වන් පෙති දිගහැර
එනු එනු මා වෙතැ'යි කීවද
"නුඹ විෂ ගුලාවකැ'යි"
ඔහු මගහැරිය නියඟලා

යන්නම්ය නොකියා
පිටව ආවද හිතුවක්කාරෙන්
බලාහිඳිනා බැව් දනී
රතුරෝස තවමත්
සිහින් ස්වරයෙන් සසැලෙමින්

Friday, March 18, 2016

මට අහිමි නුඹ, නුඹටද අහිමි බැව් දැනුණි නම්.... (II)




සියල්ල මැදින් අවුරුදු ගනනකින් පය නොතැබූ නිවසට මා ඇවිද යමි........අස්සක් මුල්ලක් පාසාම සෙවීමි... ඔහුත් මමත් ගතකල ඒ සොඳුරු මතක වරෙක ඉදිරියෙහි මැවෙයි... වරෙක කනට කොඳුරයි... ඇඟේ හැපී ඇදී යයි... ඉදින් මෙය හැබෑවක්ම වූවා නම් අපි තවමත් සිනහව පිරී ඉතිරුනු ඒ නිවසේ කාලය ගත කරනු ඇත.....

"මොනවද මෙහේ කරන්නෙ"
සවන් මත වැකුනු හඬට තිගැස්සුනු හදින් හැරී බලමි. සඳසිගේ මරණයෙහි පරීක්ශන කල ඒ තරුණ ආඩම්බරකාර නිළධරයා මා පසුපස හිඳී.

"සර්"

"ඔයා මොකද මෙහේ කරන්නෙ. පරණ මතක හොයනවද?"

"ම.. මං... මේ..."
මගේ හඬ පවා ගොලුව ඇති සෙයකි. මදක් හිඳ ඔහු ඇමතීමට මම ධෛර්ය ගතිමි.

"මේ හැමදේම... අ.. අනේ මන්ද සර්.. මට මොනව අහන්නද කියල තේරෙන්නෙ නෑ. ඩොක්ටර්ව මැරුවෙත් මැඩම් කියල සර් කොහොමද ඔප්පු කරන්නෙ. ඒක වැරදීමක් වෙන්න බැරිද?"

තවමත් ඇදහිය නොහැකි නඩු තීන්දුව මොහුගෙන් මට දැනගත හැකි බැව් හැඟිනි.

ඔහු එක එල්ලේ බලා හිඳී... ඒ මා දෙස නොවේ යැයි සැනෙකින් දැනිනි. ඔහුගේ ඇඟිල්ල බිත්තිය දෙසට දිගු වූයෙන් මාද එදෙසට හැරිනි.

"අර පේනවද"

හද සසැලින.. ඒ මාගේ ඡායාරුවයි. අදින් වසර විස්සකට පමණ පෙර ඈත පෙනෙන වැව් කණ්ඩිය මතදී ඔහු ගත් ඒ ඡායාරුව අදටත් ඔහු එල්ලා තැබූ තැනම සිනහවෙන් පසුවෙයි.

"එතන ඉන්නෙ ඔයා නෙවෙයි සඳසි"
ආඩම්බරකාරයා මුමුණයි. නෙතු කැවී කඳුලු කම්මුල් දිගේ රූරා යන විටත් මම එලෙසම බලා උන්නෙමි.

"ඔයාගෙයි ඩොක්ටගෙයි සම්බන්ධෙ අද ඊයෙක එකක් නෙවෙයිනෙ. ඒක සෑහෙන්න පරණයි. එහෙම නේද?"
ඔහු විමසයි.

"හැබැයි ඩොක්ටගෙයි නිරාශගෙයි සම්බන්දෙ නම් අලුත්. අනික ඒක පටන්ගත්තෙ වයිෆ්ට රිද්දන්න ඕනි නිසා. එක පැත්තකින් ගර්ල් ෆ්‍රෙන්ඩ්. අනිත් පැත්තෙන් දුව. එතකොට වයිෆ් එයාට ඕනි විදියට.. ඔයාල දෙන්නට ආදරේ කරාට එයා හැදුවෙ වයිෆ්ට රිද්දන්න. ඒකෙන් උනේ ජීවිත දෙකක්ම නැති උන එක."

"සර් මේ.."
මා යමක් අසන්නට පෙරම ඔහු සිනාවී මට අවැසි දේ පවසයි..

"ඔයාව මිස්ට සාලිය එයාගෙ හොස්පිට්ල් එකේ වැඩට අරන් එතනින් ගෙදරටම ගත්තෙ එයාගෙ දුවට ඕනි ආදරේ දෙන්න වෙන්න ඇති. අනිත් අතට සඳසිට ආටිෆිෂල් අම්මෙක් ඕනි නෑ කියල එයාට හිතෙන්න ඇති"

ඔහු කියවයි... මම අසා හිඳිමි... 

"ඒත් මැඩම් කොහොමද හිත හදා ගත්තෙ ජීවිත දෙකක් නැති කරන්න තරමට"

"එයාට ඉවසන්න බැරි වෙන්න ඇති ඔයාල සතුටින් ඉන්න එක. අනික ඉන්ක්වයරි වලදි එයා කියල තිබුන ඔයාල එකට ඉන්නව දැක්කා කියල. කොහොමත් සාරංගගෙ අවුල තිබුණු නිසා එයා හිතන්න ඇති මේක සාරංගට පටලවන්න පුලුවන් වෙයි කියල. මොකද සාරංග ගැන නොදන්න කවුරුත් නෑනෙ. මොනම හේතුවක් නිසා හරි සඳසි එයාට කැමති වෙන්නත් ඇති. අනික..... පොස්ට් මෝටම් එකේදි ඔප්පු උනා එයා ප්‍රෙග්නන්ට් කියල."

හදවත මොහොතකට නැවතිණි. මේ මගේම දෛවයේ කොටසක් නොවේද? වෙනසකට ඇත්තේ ඇය මියගොස් සිටීම පමණි. මගේ කුස පිළිසිඳගත් ඈ ඔහු ලඟට ගියේ දොස්තර නෝනාට දරුවන් නැති නිසා වුවද... දොස්තර නෝනාම අද මගේ දරුවාටත් පෙම්වතාටත් එකම ඉරණමක් ලබා දී ඇත. මටත් එයම වූවා නම්...

"ඔය ෆොටෝ එක තමයි මට පාර පෙන්නුවෙ" ඔහු සිහින් සුසුමක් පිටකර කියයි.

බිත්තියෙහි එල්ලෙමින් තිබූ ඡායාරුව අතට ගතිමි. දූවිලි පිසදා බැලූ කල එහි මට මා දැකිය හැකි නොවේ... ඒ ඇයමය... කඳුලු බොඳවන දෙනෙතින් එය බලාහිඳිනා විට සිහින් මිමුනුමක් සවනතර ගැටිනි.. 

"එයා ඔයාමයි පොඩ්ඩක්වත් වෙනස් නෑ."

"සාලිය.." 

ඇයත් ඔහුත් ඈත හිඳ මා දෙස බලා සිනාසෙනු පෙනේ... සිහින් ඉකිය පිටතට ඇසෙතැයි බියෙන් මා එහිම වැතිර මුව තදකොට ගත්තෙමි.. 

"ආදරේ කරපු වරදට මට මෙච්චර ලොකු දඬුවමක් දුන්නෙ ඇයි දොස්තර නෝනෙ... "

ඉදින් මෙය අවසානයම වූවා නම් මැනවි,

Tuesday, March 15, 2016

මට අහිමි නුඹ, නුඹටද අහිමි බැව් දැනුණි නම්....






කෙල්ලෙක් ජීවිතේ දකින්නෙ වෙනස්ම විදියකට... කතාවක් තියනවනෙ පුංචිකාලෙ කෙල්ලො බෝනික්කන්ට ආස උනාට ලොකු වෙනකොට ආස යෝදයන්ට කියල... මමත් ඒ වගේ... කාලයක් යනකොට මට මගේ යෝධ කුමාරයව මුණ ගැහුනා...  අපේ ජීවිතේ කොච්චර ලස්සනයිද..... අදටත් මං ආදරෙයි.... ඒත් ඒ මතකය.....මම වැරදිද කියන්න මට තේරෙන්නෑ... මට මාව පාලනය කරගන්න පුලුවන් උනා නම්... 

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   * 

"ඔයාට කොච්චර කිව්වත් මතක නෑ අම්මි... අද මේක නෙවෙයි අර ග්‍රීන් කලර් යුනිෆොර්ම් එකනෙ"

සඳසි අම්මාට කෑ ගසන හඬ ඇසේ. ඊළඟ නියෝගය මටය.

"මාලම්මේ මතකයි නේද? ඔයත් වැරැද්දුවද ? අද මට නූඩ්ල්ස් තියෙන්නෙ ස්කූල් ගෙනියන්න"

මට එය අමතක නොවෙන බැව් ඒ කුඩා මොලයට තේරුම් කර දීම කල නොහැක්කකි... නමුදු එක දෙයක් දනිමි, අමතකව වාහනයට දිව්වද නැවත මගේ හාදුවත් රැගෙන යලි එන්නේ ඇයම පමණය...

හැමවෙලේම බිසී දොස්තර නෝනටයි මහත්තයටයි වඩා හොඳට මට සඳසි බේබිව බලාගන්න පුලුවන්... ඒක දන්නෙ එකම එක්කෙනෙක් විතරයි..

කාලය කෙතරම් ඉක්මණින් ගෙවී ගියාදැයි මා නොදනිමි... මාත් ඇය සමගම වයසට ගොස් ඇත.... 

"මාලම්මේ, ඔයාට කරදරයිනෙ මම ඇදුම් ලෑස්ති කර ගන්නම්. අම්මි එන්න කලින් උයල ඉවර කරන්න. ඔපරේශන් එකක් නිසා ලේට් වෙනව කිව්ව. තාත්තිගෙ කොෆී එක හදල තියන්න. එයා දැන් එයි"

මම ඇය දෙස බලා සිටියෙමි.

"ඇයි අනේ ඔහොම බලන්නෙ. බයත් හිතෙනව. මේ බඩ්ඩක් අහන්නද"

"මොකක්ද බේබි"

"ඉස්සර ඔහොම බලල කීයක් අමාරුවෙ දැම්මද"
හිතා ගන්නට කිසිත් නොවූ කල මා ඇය දෙසම බලා උන්නෙමි

"බේබි"

"හූ හූ මොකෝ මේ බය වෙලා... ඉන්නකො මං තාත්තිට කියන්නම්...."

ඇය මට සමච්චල් කර දිව යයි... මුවගට නැගුනු සිනහව ඈ දුටුවා නම්... 


*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   * 

සියල්ල සිදුවී අවසන්ය... ඒ සිනහව... කටහඬ.... තවත් මේ බිත්ති හතර තුල නොඇසෙන වග සිහියට එනවිට මා මියැදුනිනම් කියා සිතුණු වාර අනන්තය..

"කොහොමද එහෙම දෙයක් කෙරුවෙ දොස්තර නෝනා"
මගේ කටහඬෙහි ඕනාවටත් වඩා බයාදු බවක් මටම හැඟිනි. ඇය කට කොණින් සිනාසුනා පමනි. 

ඇයත් මමත් අතර ඇති කම්බි කූරු මහත් වදයකි... නැවත නැවතත් මට ඇගෙන් ඇසීමට ඇත්තේද එයමය...

"එකම එක පාරක් කියනවද? කොහොමද ඒ මූණ දිහා බලාගෙන එයාට එහෙම දෙයක් කෙරුවෙ"

ඇගේ මේ නිහඬ බව මට මහත් වදයකි. නමුදු ඈ වරදකාරියයි... 

මට පුදුම පුංචි හඬටත් තිගැස්සෙන අවදිවන මම ඒ හඬ නොසලකා ඉඳීමය... එසේ නොවූවා නම්...

"හැමෝම මට හංඟපු රහස් මම කොහොමද ඉවසන්නෙ මාලා. එක පැත්තකින් උඹ, අනිත් පැත්තෙන් නිරාශා.. මගේ ළඟට වෙලා මගේ පවුල නැති කෙරුවෙ උඹල දෙන්නා. සාරංග සඳසිට ගැලපෙන්නෙ නෑ. ඒ වගේම උඹවත් නිරාශවත් මගේ මහත්තයට ගැලපෙන්නෙත් නෑ. මතක තියාගනින්. මහත්තයගෙ මරණෙටත් වග කියන්න ඕනි උඹල දෙන්න."

මා නිරුත්තරය.. එසේ නම් වරදකාරිය මාද.. නැත එය පිළිගැනීමට සිත පැකිළෙයි.... නිරාශාත් දොස්තර නෝනාත් අවශේෂය. 

ගිනිගහන මද්දහන පවා විඳගනිමින් මා යළිත් එතනටම පැමිණෙමි.... වැරදි මාද? සිත අසයි... නැත... ඈතින් පෙනෙන ඒ මහා මන්දිරය... මෑත ඇති ඒ විසල් කුඹුක් ගස... ගලා යන ගංගාව.... ඒ සියල්ලටම සාක්ෂි දෙනු ඇත... මා නිවැරදිය... ඒ ඇස් මට මැවී පෙනේ.. මට ආදරෙයි කියූ... මාව සැනසූ... ඒ කටහඬ.....

නැත... මා වැරදි නැත...

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *

මතුවට...

Wednesday, February 3, 2016

අහිමි



නුඹ නුඹම නොවන විට

කල්පාන්ත සිහිනයක්මය 

මට නුඹ....

හිත් අගිසි කොනිත්තා

සිහින් රිදුමක් දෙන

කිසිදා නොනවතින...

ගෙත්තම






පාවෙන සේද වලාකුලු ගෙන
වියන්නට හැකිදැයි විමසමි
තුනී සිනිදු සලුපට...
ඉදිකටු තුඩට පැටලී
ඉරී යත්දැයි බියෙන්
හෙමි හෙමින් දවටමි
හෝරා දෙක තුනක්ගෙන..
අවසන හිතම රිදවා ගමි
නුඹෙන් නැගෙනා
සමච්චල් සිනහව මැද..

Tuesday, August 25, 2015

කවියක්





"සිඳ බිඳ දැවුණු පාලුව සිත වෙහෙසකර
නුඹ විය උදාගිර පෑයූ අරුණු ඉර
තොස කර හද ගිමන් නිවු මේ පාන්දර
එනු මැන සිනා සී නිදිදුව මුදාහැර"


කියවා බැලිමි කවියක්
නුඹ ලියූ මුතු අකුරින්
දනිමි මා දැන්..
මේසය උඩ ඇති තේ කෝප්පයක්,
උදේ කෑමට රසට හැදු යමක්,
දහවලට රතුබතක්, මාලු එක්ක හොද්දක්, මැල්ලුමක්...
තව මොනවහරි දෙයක්..
ගේ පුරාවට හාදු වැස්සක්....
මේවට හිනාවෙන්නෙ මං හරි ආදරෙන්...
හැබැයි දඟලන්නෙ සතුටු වෙන්නෙ වෙන කෙනෙක්..
ආදරෙයි අපි දෙන්නම ඔයාට ගොඩක්.

Tuesday, April 7, 2015

බලා උන්නෙමි.



නුපුරුදු රියෙන් බැස
ඇය යන'යුරු
පියාඹන හාදුවක්
සමගින්
අත වනා නුඹට
මම බලා උන්නෙමි
පුරුදු බස් නැවතුම්පලේ
හිඳ...

Monday, April 6, 2015

තනිකම



හද කකියවන සිතුවිලි රළ නැගුනාම...
නෙතු කඳුලැලි හැලෙයි ඉකිබිඳිමින් තාම....
සිහිනය මා පෙලයි නුඹ දකිමින් රෑම....
හිඳිනා ඉසව්වක නොවියන් දුක  බෝම....

ලා සඳපාන තාමත් වැට උඩින් එබී....
කවුලුව අතැර හෙමිහිට මුව කමල සිඹී...
නුඹ උන් සුවඳ දැනි දැනි කණමැදිරි රැළී....
ඔච්චම් කරයි නිවමින් අඩ අඳුරු එළී....

දහවල ගෙවෙයි ඇයි ඉක්මන් ගමන් හිරූ....
නොදනිමි රාත්‍රිය කිම මේ තරම් දිගූ...
මීදුම් සේල සුදු මුදු පිණි කැට විසිරූ....
හිත හිරිවට්ටවයි අඳිමින් නුඹෙ පිළිරූ...

Monday, March 23, 2015

හැඩයි එදාටත් වැඩියෙන් මගේ හිමී





ඉස්සර වගේ සිනහව මුව රන්දාන
නුඹ එනවාද බිං කළුවර හංගාන
නොකියන වෙහෙස දෙනෙතින් පැන නැංගාම
දෙකොපුල් තෙමමි කාටත් හොර  රහසේම........

දෙවැටේ පිච්ච මල් සුවඳට හිත යනවා
පෝයට පුරා හඳ බැලු හැටි සිහිවෙනවා
මිදුලේ පහන් පැල සුසුමින් සසැලෙනවා
ලා සඳ එළිය මැද උලමෙකු ඉකිළනවා..........

සිතිවිලි කොණිත්තයි හදවත නිමක් නැතී
සේයා රුව අදයි දුටුවේ දෑත බැඳී
එකින් එක හැදිමි මංගල ඇඳුමෙ රැළී
හැඩයි එදාටත් වැඩියෙන් මගේ හිමී.........

Thursday, February 12, 2015

පියෙහි විප්පයෝගෝ දුක්ඛො

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියල දැනෙන්නෙ හිතට ගොඩාක් සමීප කෙනෙක් අපෙන් ඈත් උනාම විතරක්ම නෙවෙයි. අපිත් එක්ක හැමදාම එකවිදියට ඉන්න නොඉන්න ඕනිම කෙනෙක් වෙනුවෙන් අපේ ඇහැට කඳුලක් එන්න පුලුවන්.....

ඒ කටුක ඇත්ත ඊයෙ දවසෙ ඉඳන් මමත් විඳිනවා. ඊයෙ රෑ ඔයා වෙනුවෙන් මමත් ගොඩක් ඇඬුවා. හිතට පුදුමාකාර විදියට දුකක් දැණුන හේතුව තමයි ඔයාගෙ මරණය රොමේෂ්......

ගතවෙන දවසක් ගානෙ ලස්සන පින්තූර ගොඩක් අප්ලෝඩ් කර කර සැහැල්ලුවෙන් හිටිය ඔයාට මොකද මේ උනේ........ මරණය ඔයාට ලඟයි කියල දශමෙකින්වත් නොහිතෙන්න ඇති....... කාටත් උරුම මේ ගමන ඇයි මෙච්චර ඉක්මණට ගියේ රොමේෂ්...

අද මං වගේම තව කී දෙනෙක්ගෙ ඇස් වල කඳුලු තියෙනෙවද කියල ඔයාට පේනවද??? දැනෙනවද???

ඔයා හොස්පිට්ල් ගියාමවත් එකම එක එස් එම් එස් එකක් වත් එවන්න හිතුනෙ නැද්ද?? 

එකම එක ෆොටෝ එකක්....


හිනාවෙවී හිතන්න ඇති ඔයා "මේ පුංචි මදුරුවෙක්ට මාව මරන්න පුලුවන්ද?" කියලා...


ඔයා වෙනුවෙන් මං දිග හරින්නෙ ඔයාගෙ පුංචි මතකයක්...










මේ විදියටම කාටවත් නොකියම ඔයා යන්න ගියාට අපි කාටවත් තරහ වෙන්න බෑ ඔයත් එක්ක. අම්මා ළඟට මාත් යන්න ඕනි කිව්වට මෙච්චර ඉක්මන් වෙයි කියල පොඩ්ඩක්වත් හිතුනෙ නෑ...

ඔයාගෙ අම්ම ළඟට වෙලා සතුටින් ඉන්න... යාලුකමින් පිරුණු  මේ හිතට ඒක සැනසීමක්...






නුඹට නිවන් සුව ලැබේවා!!!



Friday, January 23, 2015

මගේ සඳ.....






පලවෙනි කොටස


චේතියත් තාත්තාත් කුමක් කතා කරනවාදැයි දැන ගන්නට මට උවමනා වුවත් දෙදෙනාම රැකි නිහඬ පිළිවෙත මාද නිහඬ කර තැබිණි. කිසිත් වටහාගත නොහී ළතැවෙන විට, "විසඳුම" උහුලා ගත නොහී බරකින් යුතු මහමෙරක්ව මගේ හිස මතට පතිත විණි.

" වට්??  ඩිවෝස් පේපර්ස්? "

"ලේට් වෙනව.. ඕක සයින් කරල දෙන්න"

"චේති"

"කිව්වනෙ සැරයක්"
චේතියවද පසෙකට තල්ලු කර දමා මා පහළ මාළයට දිව ගියේ තාත්තාගේ හව්හරණ පතන්නට වුවත්.......

"තාත්ති... මේ මොනවද? ඇයි මේ ඩිවෝස් පේපර්ස්?? මොකද්ද තාත්ති මේකෙ තේරුම... අනේ දෙයියනේ ඇයි මේ....ම.. මට කිය..."

"ධාරි..."

තාත්තාගේ හඬ හෙණ සැරයක් මෙන් සවන්පත් මත ගුගුරා යද්දී මගෙන් උදුරාගත් කඩදාසි කොළ කිහිපය තප්පරයකින් අත්සනින් පුරවා මා දෙසට වීසිකර දැමූ චේතිය වාහනය පණගන්වා යන හඬ මට සිහිනයෙන් මෙන් ඇසිණි.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඉදින් කාලයට මා ඉඩ දුන්නෙමි. හදවතේ ගැඹුරුම තැනක නිදන් කොට තැනූ ප්‍රේමයේ හීන එකින් එක හැබෑවී ඊටත් වඩා ඉක්මණින් බොඳ වී යන අයුරු ඔහේ බලා උනිමි.

"ධාරි"

"තාත්ති"

"මං දැන් වයසයි පුතේ"
මම සිනාසුනෙමි.

"මොකද හිනාවෙන්නෙ"

"මුකුත් නෑ"

"ඔයා දැන්වත් ඔය අදහස වෙනස් කරනවද?"

"තාත්තා මට දැන්වත් මේකට හේතු කියනවද?"

"හිතුවක්කාරි, එකට එකම කරනව.."

"මං තාත්තගෙ දුවනෙ.."
තාත්තාගේ මුවට මදහසක් නැගිනි.
"දවස එයි ළඟම"

"තාත්තා අර කවුද?"
මින් පෙර මා නුදුටු කඩවසම් පිරිමි රුවක් අප දෙසට එනු පෙණින.

"ආහ් පුතා.. එන්න එන්න"
තාත්තා ඔහුව පිළිගත් උණුසුම් බවම ඔවුන් මීට පෙර සිට හොඳින්ම අඳුනන බව පමණක් මට වැටහිණි.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

"දැන් තාත්ති කියන්නෙ මට තාරකව මැරි කරන්න කියලද?"

"ඒ ළමය නරක කෙනෙක් නෙවෙයි"

"තාත්තිට චේතියව නරක් උනෙත් නෑනෙ"

"චේතිය උඹට ඔච්චරටම ආදරේ කරා නං උඹල රණ්ඩු සරුවල් උනේ මොකටද?"
තාත්තාගේ කටහඬ බිඳී යනු දැනිණි. එදා තිබූ ගාම්භීර බව අඩු වී ඇති සෙයකි.

"මං නොදන්නව වගේ උන්නට ඔය ඔක්කොම දැන ගෙන හිටියෙ ධාරි. මටවත් නොකිය උඹ කොච්චර දුක් වින්ඳද? ඒකට හේතුවවත් උඹ හෙව්වෙ නෑ. ඒත් මං හෙව්වා. උඹව මට නැතිකර ගන්න බැරිකමට මං හෙව්වා..

ම්..මං.. මං කොහොමද පුතේ අම්මෙකුත් නැතුව දුකක් නොදී මලක් වගේ හදපු උඹ විඳවනව බලන් ඉන්නෙ..."

ඇස් කෙවෙණි පුපුරා කඳුලු පණින දෑස් තාත්තාගේ පපුවට තදකරගත් මොහොතේ දෑස් අගින් දුටුවේ තාරක අප දෙස බලා ඉන්නා අයුරුයි.

"මට සමාවෙන්න මගෙ තාත්ති.."

"උඹේ ඔය නෝක්කාඩු මං එච්චර කල් අහන්නෙ නෑ"

ඉදින් මම ඔහුට කැමැත්ත දුනිමි. පළමු විවාහයෙන් දික්කසාදව උන් තාරක මගේ ස්වාමිපුරුෂයා ලෙස බාරගන්නා බවට මම දිවුරුම් දුන්නෙමි. සිතෙහි තිබුණේ තාත්තා ගැන උපන් අපමණ අනුකම්පාව පමණි.

දෛවය එතරම් අවස්තාවාදීයැයි මට නොහැඟුණි. තවත් දින දෙකකින් පසු මා උන්නේ  සිය පණ දෙවෙනි කොට මා රැකගත් මගේ තාත්තාගේ සොහොන ඉදිරිපිටයි.

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


දුරකථනය නාදවෙයි. මම සිහින ලෝකයෙන් මිදෙන්නට වෙරදැරීමි. එය චේතියගෙන් නම් නොගෙන ඉන්නට සිතා ගතිමි. "තාරක" ලෙස මුහුණතෙහි දැක්වේ... මම ඇමතුම සම්බන්ද කරගතිමි.

"ධාරි"

"කියන්න තාරක"

"පන්සලේ නේද?"

"ඔව් තාරක. ඔයා ගෙදර ගියාද? කමක් නෑ මම එන්නම්"
ඔහු සිනාසෙයි.

"නෑ නෑ දරුවෝ. ඔයාට යාලුවෙක් අඳුන්වල දෙන්න තියනව. මං එයත් එක්ක පන්සලට එන්නං"

පැය බාගයක්වත් ගතවෙන්නට පෙර තාරක පැමිණියේ තනිවමය. තවත් කෙනෙක් එනවා යැයි කීවද පෙනෙන්නට නැත.

"තාරක. ඔයා තනියමනෙ"

"ඇයි.. ඔයා බලන් හිටියද කියපු කෙනාව එක්කන් එනකල්"
මම සිනාසුනෙමි.

"නෑ... ඒත් මෙච්චර දවසක් කියපු දේවල් නොකර ඉඳල නෑනෙ"
ඔහුගේ මුහුණ මදක් වෙනස් වූ අයුරු මට පෙනිණි.

"ඇයි.. මමත් චේතිය වගේ වෙයි කියල හිතුනද?"

"තාරක?"

"පොඩ්ඩක් ඔහොම ඉඳගන්න. දෙයක් කියන්න තියනව"
සියුම් බියක් සිතට දැනිණි.


"අහන්නෙ නැද්ද මොකක්ද කියල"
මම හිස වැනීමි. ඔහු සිනාසෙයි. එහි කුමක් දෝ වටහා ගත නොහැකි හැඟීමක් ගැබ්වී තිබිණි.

"ධාරි"
තාරක චේතිය මෙන් නොව තාත්තාමෙන් මට "ධාරි" කියා අමතයි. චේතියට මා "ධාරා" වේ. නමුදු මම "ධාරි" වෙමි.

"කියන්න"

"ප්‍රශ්නයක් අහන්නද?"

"හ්ම්ම්"

"හ්ම්හ්.. මේ.. මේකයි"
මට සිනා නැගිණි. ඔහු කෙදිනකවත් මෙසේ නොසන්සුන්ව හැසිරෙන අයුරු මා දැක නොතිබිණි. 

"මොකෝ මේ"

"නෑ ධාරි, මේකයි.."

"ඉතින් කියන්න අනේ..."

"මහත්තයා"
එක්වරම ඇසුණු ගැහැණු හඬින් ඔහුත් මාත් එකටම මෙන් පසුපස බැලීමු.

"මැණිකම්මා"
තාරක කලබලයෙන් මුමුණනු මට ඇසිණි.

"තාරක කවුද මේ"
ඔහුට මා කියන දෙය නිනව් නොවිණි.

"මහත්තයා"

"මැණිකම්මා ඔයා මෙහේ මොනවද කරන්නේ.. කෝ දරුවා.. මං.. මං කිව්වනෙ මං එනකල් ගෙදර ඉන්න කියල..."

මට කිසිවක් නොතේරේ... 

"තාරක"
මම මහ හඬින් කෑ ගැසීමි. ඔහුට මා නෑසේ.

"හැමදේම ඉවරයි මහත්තයා. දැන් කරන්න කිසිම දෙයක් නෑ. මට මගේ ගමන යන්න අවසර දෙන්න. මහත්තයට පින් සිද්දවෙනව මට කරපු උදව් වලට"

"දැන් කෝ දරුව"

"නිශා නෝනා අරගෙන ගියා"

"නිශා?"

"මහත්තයා ගෙදරින් ගිය ගමන්ම නිශා නෝන ආව චේතිය මහත්තය එක්ක. එයාල අද රෑ රටින් යනව කිව්ව. මාවත් දාගෙන ඇවිත් මහත්තය එනකල් බලන් ඉඳල පස්සෙන් ඇවිත් මාව දාල ගියා මහත්තය."

"ශිට්.. මොකද්ද මැණිකම්මෙ මේ උනේ. මං දරුවව මගේ කරගන්න බලන් හිටිය...."

"අනේ මට සමාවෙන්න.. මේ දුප්පත් මට කරන්න වෙන දෙයක් තිබුනෙ නෑ මහත්තය. අනික දරුව අම්මයි තාත්තයි එක්කනෙ ගියේ මහත්තයො."

"ඒත් මැණිකම්මෙ.."

තවත් බලා සිටිය නොහැක.
"මට කියනවද මොකද්ද වෙන්නෙ කියල තාරක"

"ඔයා මේක දැනගන්නම ඕනි ධාරි. දන්නවද.... චේතිය ඔයාගෙ වෙන්නත් කලින් ඉඳන් මගේ නංගි නිශාට ළං වෙලා හිටියෙ... මොන හේතුවක් නිසා හරි එයා ඔයාට ලං වුනා. ඔයාගෙ තාත්තා ඔයාගෙ ආසාවට කැමැත්තට ඉඩ දෙන්න ඕනි නිසා ඔයාල බැන්ඳුව. ඒත් චේතිය කවදාවත් මගේ නංගිව අතහැරියෙ නෑ. මං මේක නවත්තන්න බලනකොට මගේ නංගිට දරුවෙක් ලැබෙන්න..."

"නවත්තන්න තාරක. දැන් ඇති."

"ධාරි"

"ඉතිරි ටික මං දන්නව තාරක."

"ඒ කොහොමද"

"මං වෙනුවෙන් ඔයා කොච්චරකල් බලන් හිටියද කියල මං දන්නව...මගේ තාත්ත ඔයාගෙ නංගිව හැංගුව කියල දන්නව.. අවුරුදු ගානක ඉඳන් ඔයා මාව රැක්කා කියලත් මං දන්නව.."

"ධාරි.. ඔ..ඔයා.. මොනාද මේ කියන්නෙ"
මගේ අත රැඳි ඔහුගේ දිනපොත මම ඔහුට පෙන්වීමි.

"ධාරි"

"ඔයාටත් එක දෙයක් වැරදුනා තාරක"

"ධාරි"

"කවදාවත් අම්මෙක්ගෙන් දරුවෙක් උදුරගන්න හදන්න එපා. ඒ දරුව නිශාගෙ"

"මට සමාවෙන්න ධාරි"

පණිවිඩයක් ලැබුණු බවට දුරකතනය හැඬවිණි.

"ධාරා. අපි යනවා. තාරකට කියන්න. අවසාන වතාවට ඔයාව බලල යන්න ආවෙ තාමත් මං ගැන දුක් වෙනවද බලන්න. එහෙම නෑ කියන්න මං දැන් දන්නව. සතුටින් ඉන්න."

අහස මුදුනටම වෙන්න හඳ දිලිසේ... කඳුලු දෑසට බර වැඩි යැයි හැඟේ... අවුරුදු ගානක් දුක් විඳ ඇත්තේ අන්සතු හදකටය... 

තාරක ඈතින් හිඳ බලා ඉඳී.... මා හෙමින් ඔහු දෙසට පා නැගුවෙමි.... දෙපා වලංගු නැතැයි හැඟේ.... එහෙත් බලාපොරොත්තුව .......



~නිමි~