Monday, July 28, 2014

කවි හීන...




තෙත බේරෙන කුඩෙත් අකුලගෙන සර් පන්තියට ආව.

"ගුඩ් මෝර්නින් " සර්,
කට්ටියම කිව්ව, මටත් කියවුණා.. පුරුද්දට.
'සර්' .... මට තනියම හිනා.
ටික වෙලාවක් ගියා.

බිංදු බිංදු වැහි පොද එක පේලියට වැටෙනව.. වලාකුළෙන් එලියට.. දැන් කෙලින්ම පන්තියෙ වහලට.... ඔන්න වහල දිගේ ඇවිත් බිමට... පුංචි පුංචි ඇළපාරවල් හදාගෙන කෙලින්ම කාණුවට...... බලාගෙන ඉන්න ආසයි...
සර්ත් කියවනව.
"මේකෙන් කියවෙන්නෙ ආදරය කියන හැගීම ගැන. වර්ඩ්ස්වර්ත් එයාව, එයාගෙ හැඟීම් පාවෙන වලාකුළකට සමාන කරනව. I wondered lonely as a cloud...."

මාවත් පාවෙලා ගියා. ඩැෆොඩිල් යායට නෙවෙයි, අපේ අතීතෙට....
_________________________________________________________________

මගේ කල්පනාව කොච්චර දුරට ගියාද මන්ද..හ්ම්ම්ම්

"ඔය පාඩම් කරන හැටි නේද? ඉන්නව මං නැන්දට කියන්න"
අපේ අම්මගෙ සුදුපුතා, අපේ සුදු අයිය, නමින් කිව්වොත් නාමල් මෙන්න මං ළඟ.

"අයිය එනවවත් ඇහුණෙ නෑනෙ"

"හැඟීම් විරහිත වුනාම එහෙමයි නගෝ"

"අනේ යන්න"

"කොහෙ යන්නද, මේ ආව විතරයි"
"මොකක්ද මේ. ම්ම්ම් ලිට් නේද?"
ටිකක් එහෙට මෙහෙට පෙරලුවා.
"දෙන්නකො පෑන"

"ආ"
එයා මේ හදන්නේ මොකක් හරි කුරුටු ගාන්න. ඒක අපි දෙන්නටම තිබුණු පුරුද්ද.

"ආහ්"

"කෝ බලන්න"

පාට පාට දේදුන්නක
නැළවි නැළවි ආදරේට
සීත සීත වැහි පින්නක
ආසයි මට ළඟ ඉන්නට

මාත් ඒකටම හරියන්න එකක් කුරුටු ගෑව,

පොකුරු පොකුරු මල් සුපිපුන
රෝස රෝස මල් යායක 
රෑන් රෑන් සමනළු මැද
ආසයි ඇවිදන් යන්නට

ඒ පාර මෙයා කවියෙන්ම උත්තර හොයනව.

විසිතුරු තරු වියනක් යට
සිනිදු සුමුදු වළාරොදක
කොඳ සඳ කැන් බිඳිති අතර
ආසයි තුරුලේ ඉන්නට

හ්ම්හ් මගේ පද වලට වඩා ලස්සනයි වගේ. කරන්නම් හොඳ වැඩක්.

නේක නේක හීන ලොවක
පාවි පාවි යනෙන අතර
ඇඳෙන මැකෙන නුහුරු මූණ
ආසයි මට දැකගන්නට

දැන් හරි. මං හොඳට බැලුව මූණ දිහා. වෙනස් වෙච්ච ඉක්මණ.

"බට්ටි"

"ම්ම්ම්"

"බඩුවක් කියල යන්න ආවෙ"

"මොකක්ද?"

"මං හෙට යනව"

"කොහෙ යන්නද අනේ ඔයා"

"පීඨ"

"ඇත්තටමද.. ශෝක්නෙ සුදුඅයියෙ. ඒ කියන්න ඔයා ටීචර් කෙනෙක්. වාව්.." 
මං අයියව බදාගෙනම කෑගැහුව, පුරුද්දට. දුක හැංගිලා තිබුණ තැන හොයාගන්න බැරි උණා ඒ වෙලාවෙ.

"මං යනව"
එයා යන්න ගිහින් ආපහු හැරුණ.
"හීන වල හැංගුණු අයව හොයනකොට පරිස්සමින්"

කඳුලක් පැන්න ඇහෙන්. එයා ගියා. මං තනි වුණා.
ආදරේ කරා අව්වට, වැස්සට, පින්නට, මල් වලට, වළාකුලු වලට,  සමනළයින්ට... 
කාලයත් ගෙවිල ගියා. කවි වලට පද හොයල පෑන්වල තින්ත ඉවර උණා. කොච්චර ලිව්වත් මොකක්ද අඩුවක් දැනෙනව.

_______________________________________________________________________

 "මේ අනූ මේක සෙල්ලමක් නෙවෙයි බං ගිය සෙමෙස්ටර් එකෙත් ලිට් රිපීට්. මේ පාර ගොඩයන්න ඕනි කොහොම හරි. අරුන් යන ක්ලාස් එකටවත් සෙට් වෙමු බං"

මේ ගයනි. ATI එකේ මගෙ යාලුව. ඒ මළඇණේ ගලව ගන්න ඕනි නිසා මාත් ගියා ක්ලාස් එකට. 

ඇස් අදහගන්න බැරි උණා. එතනින් එහාට ගයනි යන්න කම්මැලි කරත් මං එයාව ඇදගෙන පන්තියට ගියා. අද ගයනි නෑ. මං තනියෙන්. පන්තිය ඉවර උණා. කුඩේ ඉහලගෙන මං ආව, හැමෝටම පස්සෙ. 
පුරුදු සුවඳ කුඩේ යටට ආවා කාලෙකට පස්සෙ.

"කුඩෙන් යන්න තරම් වහින්නෙ නෑ"

"මේ වැස්සෙ තනියම තෙමෙන්න බෑ"

"කවුද මෙතන තනියම ඉන්නෙ"

"ඔයා - මං"

"ඉතින් අපි එක්කෙනෙක් වෙමු"
මගේ හිත හිරිවැටුණ. ඒ කියන්නෙ එයත් තාම තනියෙන්.. මං කුඩේ අකුල ගත්ත.

"අරයව හොයාගත්තද"

"කාවද"

"අර හීනෙ හැංගුණු කෙනාව"

"ඔව්"

"එයා කැමති උණාද"

"ඔව්"
මං බැලුව මූණ. එදා තිබුණු හැඟීම් එහෙමමයි.
"ඔයා එයාව දන්නව"

"කවුද ඒ"
මං මුකුත් කිව්වෙ නෑ. පුංචි පොතක් දුන්න එයාට. ඒකෙ තිබුණෙ අසම්පූර්ණ කවි පද. මං හොඳටම දන්නව එයා ඒක සම්පූර්ණ කරනව කියල. එතකොට එයාම තෙරුම් ගනීවි මගෙ හීනවල කුමාරයා කවුද කියලා.



Monday, July 21, 2014

කාන්තාරයේ කුසුම


" මං කලු කෙල්ලෙක්..
පාටින් විතරක් නෙවෙයි, 
ජාතියෙනුත්....

ඒකද මට මේ තරම් තර්ජන.

සමාවෙන්න තාත්තේ, 
ඔයාට ලැබෙන දෑවැද්දත් උකසට අරන්
මං පැනල ආවට...

දවසක් ඒවි මට ඔයාල ලඟට එන්න. 
එතකල් ඉවසන්න...

අමන් වගේ මග නවතින්න බෑ මට..
සිද්ධ වේවි හැමදාම දර දිය අදින්න
එක එකාට....

අම්මට ගහන්න එපා මාව හොරෙන්ම 
පිටමං කලාට..
එයා අසරණ වේවි ඔයාගෙ අලුත් බිරිඳ ලඟ
මේ අලුත් ලෝකෙදිත්
හරි අසරණයි මම...
ඒත් යනව ඉස්සරහටම,

හොරෙන්ම බලාගත්ත මං අම්මව,
ආසයි බලන්න ඔයාවත්...
දවසක මං එන්නම් 
අපිට උරුම වුන ඔය රුදුරු කාන්තාරෙට
දුක් විඳින්න නෙවෙයි,
මං විඳින සැප අස්සෙ හැංගුණු දුක රසවිඳින්න.... "
---------------------------------------------------------------------------------

ප.ලි.

කියවන්න ලස්සන පොතක් , "වාරිස් ඩයිරි" ගේ "කාන්තාරයේ කුසුම". 

ජීවිතේ පසුතැවිලි වෙන, අතහැරල දාන අයට හොඳ උපදේශයක් මේක.

(ෆොටෝ එකේ ඉන්නෙත් එයාම තමයි)

Tuesday, July 15, 2014

අඹ යාළුවේ....

ජීවිතේම හීනයක්. සමහර කාල වලදි අපේ ජීවිත අමතක නොවෙන විදියට සමහර තැන් වල නවතිනව. ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි. හිමිවීම්, අහිමිවීම්, දුක, සතුට හැමදේම.....

ඒලෙවල් ඉවර උන ගමන්ම අපෙ අප්පච්චි මාව කම්පියුටර් කෝස් එකක් කරන්න ගිහින් දැම්ම. මාස හයකට. හොස්ටල් වල තමයි ඉන්න තිබුනෙ. එතනට මං ගියෙ අඬ අඬා. කොටින්ම කිව්වොත් ඒකෙ ඉන්ටර්විව් එකට ගිහින් මන් බොරුත් කිව්ව. ඒත් යන්න උනා. ඒක මගේ ජීවිතේ ලොකූ වෙනසක් කරපු කාලයක් උනා.

(ඔය අතරට ඉතින් ඉනේ සයිස් එක 30 විතර ඇදපු මං 24ට විතර වැටුන එක, ඉස්සර ඇඳපු ඇඳුම් බාච්චු වගේ උන එක එහෙමත් අයිතියි. )

එහෙදි අපි කාටවත් දෙන්න තුන්දෙනා රංචු ගැහෙන්න දුන්නෙ නෑ. ඔක්කොම එකයි නීතිය තදින්ම ක්‍රියාත්මක උනා. අපි ඔක්කොම 40ක් හිටිය. අයි.ටී. වලට 20යි, එෆ්.ටී. වලට 20යි (ෆූඩ් ටෙක්නොලොජි ) ඉතින් දෙයියනේ කියල හිටියට දෙයියො සිහිවෙන වැඩ නම් මදි නොකියන්න කෙරුවා. අපි ඔය ගුරුවරු කියන දේ හිස්මුදුනින්ම පිළිගන්න කීකරු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විදියට සතියක් යන්න කලින් සාත්තර සූත්තර ගැළපෙන කට්ටිය ආශ්‍රයටත් වැටුණා.

එක එක පැති වලින් ආව කට්ටිය තමයි මෙහෙ එකට හිටියෙ. ඔන්න ඉතින් ඔහොම ඉන්න කොට මට සෙට් උනා මෙන්න මේ අයව.

1.චමිත් (තදයා) - ගම්පොළ
2.කමල් (ශාරුක් භායි ) - මොණරාගල
3.ලංකා (ආලෝකෙ ) - නිට්ටඹුව
4.ශෂිනි (පොඩී) - ආමර් ස්ට්‍රීට්
5.ලක්ශිකා (ලකී) - සෙවනගල
6.කාංචනා (මැණිකෙ, සමහර වෙලාවට මැකණියා) -  නුවර
7.තුශාරි (මීක් මීක්) - මොණරාගල
8.ඔව් ඉතින් මං තමයි අනිත් එකී (චමිත්ට පමණක් හොට්ටි, අනිත් අයට දේදු ) - මොණරාගල

අපි ඉතින් අන්තිම වෙනකොට අටේ කල්ලිය විදියට ඇඩ්මිනිස්ට්‍රේශන් එකටත් ජින්ජර් ටීම් එක විදියට අනිත් සෙන්ටර් වලත් බොහොම ප්‍රසිද්දියට ලක් උනා. ඒකට හේතුව උනේ අපි කරපු හොදවැඩ, බාල්දි බකට් වගේම මදි නොකියන්න කරපු ජිල්මාට් වැඩ නිසා.

සෙන්ටර් එකේදි අපිව මුලින්ම ටීම් වලට වෙන් කරා. සතියකට වතාවක් අපේ සාමාජිකයො චේන්ජ් කරනව සහයෝගීතාවය කියන එක වර්ධනය වෙන්න කියල. එතකොට ඉතින් වලි ලෝකයයි.

මෙහෙදි කරපු වැඩ පස්සෙ දාන්නම්. අද මම මේ පෝස්ට් එක ලියන්න විශේෂ හේතුවකට. 

අද මං කියන්න හදන කතාවට වස්තු බීජය තමයි ඔය නම් ලිස්ට් එකේ එකටම ඉන්නෙ. චමිත්... යාලු ෆිට් එකට තදයා. එහෙම කිව්වෙ ඉතින් එයා බොහෝම හොඳට ඉවසීම ප්‍රගුණ කරල තියෙන නිසා :).

තාත්ත එයා පොඩි කාලෙම මැරිල. අම්මයි, අයියල දෙන්නයි, අක්කයි තමයි එයාගෙ ලෝකෙ. හරිම සංවේදී චරිතයක්. චේ ගුවේරට පණ ඇරල ආදරෙයි.

මොන දේ කරත් අපි කට්ටිය හැමදාම රිසල්ට් ලිස්ට් එකේ උඩින්ම එක පේළියට හිටියා. චමිත් තමයි එක. දක්ශතා ගොඩක් තිබුන කෙනෙක් එයා. 

චමිත්ව යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න ඇත්තටම මම ලකී. එයාගෙ හොඳ ගති ගුණ ගැන කියන්න වචන නෑ. තමන්ට නැතත් අනුන්ට දෙන්න ඕනි කියන සංකල්පය එයාට හොඳට පිහිටල තිබුණ. අපිට කරදරයක් වෙලාවට උපරිම උදව් කරනව, නැති වෙලාවට මේකා අපිට කරදර මවනව. 

එහෙදි වසංගතයක් වගේ අපි හැමෝටම ඇස් ලෙඩ හැදුණ. බේරුණේ පස් දෙනයි. චමිතුත් ඒ ගොඩේ හිටිය. අපිට වගේම අපිව ප්‍රතික්ශේප කරපු අයටත් අන්තිමට උදව් කලේ අපේ යාලුවා. එයාව වර්ජනය කරල එයාගෙ පීරියඩ් එක කැන්සල් කරන්න පෙත්සම් යවපු  අයටත් ඒකෙන් එයා හොඳ උත්තරයක් දුන්න.

ආයෙත් දවසක මේ පිස්සා කොල්ලොත් එක්ක ඔට්ටු දාල කමල් එක්ක වැවේ පීනල දිනුව. අපේ කැෆටේරියා එක හදල තිබුනෙ වැවක් උඩ. ඒකෙ තමයි පීනුවෙ.

දවසක් අපි දෙන්න හොඳටම රණ්ඩු උණා. හේතුව තමයි අපිට විරුද්ධව අභීත ලෙස නැගී හිටපු ටීම් එකේ ලීඩර් මට ආදරය ප්‍රකාශ කිරීම. (ඉහළින් අපිට ලැබිල තිබුණ නියෝග අනුව ප්‍රේමය තහනම්. ඒ උණාට හොරෙන් කරපු උන් හිටියා. අපිට ඉතින් ඔය උණ එහෙම තදේට තිබුනෙ නෑ)

ඒ අවුරුද්දෙ මගේ උපන්දිනේ මට හොඳටම මතක තියෙන්නෙත් චමිත් නිසා. කලින් දවසෙ එයාගෙ අම්ම ආව. අලුත් සෙරෙප්පු දෙකක් ගෙනත් තිබුන. එයා අම්මත් එක්ක කතා කරල එනකල් අපි කට්ටිය හොස්ටල් එකට ආව. මගදි අර බෝයි මට කතා කරා. මං නැවතුනා. අපේ මේට්‍රන් මිසුත් එතන හිටියෙ. අනිත් අය හොස්ටල් ගියා. ටිකක් වෙලා එතන ඉන්න කොට චමිත් ආව. මගේ දිහා බලන්නෙත් නැතුව දිගටම ගියා. මං දැන ගත්තා ආයෙත් චමිත්ව යාලු කරගන්න අමාරුයි කියලා. ඒ උනාට බැනුම් අහන්න හරි ගුටි කන්න හරි කියල මාත් ඉක්මණට මේකගෙ පස්සෙන් ගියා..

ම්හු...මූ නෙවෙයි මගෙ හෙවනැල්ල දිහාවත් බැලුවෙ.

එදා දවස ගෙවුණ. චමිත් තරහින්. පහුවෙනිද මගෙ බර්ත් ඩේ එක. හැමෝම විශ් කරා. චමිත් දන්නෑ වගේ හිටිය. පොඩ්ඩක් දුක හිතුණට මාත් ගණන් ගත්තෙ නෑ. දවල් අපෙ අම්ම ආව. මෙන්න බොලේ මේක මන් එන ඩිංගට  අපේ අම්මත් එක්ක හිනා වෙවී කතාව. මට දැන් මල් හතයි. ඒ උණත් සහෝදරවරුනි මුගේ තියන කුප්ප ගතිය කියන්නෙ අපෙ අම්ම ගෙනාපු මන් ආසම චීස් බට්න්ස් පැකට් එක අරගෙන මගෙ මූණවත් නොබල කකා ගියා. මාත් ඉතින් අම්ම එක්ක කතා කර කර ඉඳල එයා ගියාට පස්සෙ දුවගෙන ගියා, මගේ ටීම් එකේ ඇත්තො එතකොටත් අනිත් අයට ට්‍රීට් කරල ඉතුරු ටිකට වග කියනව. ඒ උණාට තදයා මිසින්.

හවස් වෙනකල්ම මූ හොස්ටල් එකේ ඉඳල ආව. අපි හැමෝම පාඩම් කරන්න යන ගමන් මන් චමිත්ගෙ කකුල රිදෙන්නම පෑගුවා (මේකා අලුත් සෙරෙප්පු දෙක දාගෙන හිටියෙ ). ඇත්ත වශයෙන්ම  කියනවනම් පින්වතුනි මූ මට හැරෙන තැපෑලෙන්ම දුන්න පයින් පාරක් හරියටම මාසයක් විතර යනකල් නිල් වෙලා තිබුණ කකුල. අන්න එහෙමයි මේකගෙ වැඩ.

එදා රෑ සංවාද මණ්ඩපේදි මේකා කියපි නැතැයි සින්දුවක්. කැමති කට්ටියට ඔන්න අහන්න පුලුවන්. එදා මට ඇඩුණත් එක්ක. (මේකෙ විෂුවල් නම් විකාරයි. ගත්තෙ යූ ටියුබ් 1න්. හෙව්වට වෙන කොහෙවත් තිබුනෙ නෑ.)


අඹ යාළුවේ.....නිබඳ සෙවනැල්ල සේ...
මගෙ ලෝකයේ...ඔබම මිනි පහන වේ...
මගෙ යාළුවේ ...පිපුණු මල් දෙකක් වගේ...
මිතුදම් රකිමී.....පරම සෙනෙහෙන් බැදී...

ඔය වගේ පිස්සු වැඩ කරපු තදයට එකතැනක වැඩ කරන්න බැරිකමක් තිබුණ. ඉතින් බැංකුවක ජොබ් එක අවුරුද්දකින් අතහැරල, තව තැනක ඉඳල තායිලන්ඩ් පැත්තෙත් ගිහින් ඇවිත් ඒකත් අතහැරල දාල, පේන්ට් කම්පැණි එකක ජොබ් එක කරලා ඒකත් එපා කියල අත්හැරල දැම්ම.

ඔය මොන දේ කරත් නිවාඩු වෙලාවට අපේ ෆෝන් වල සතපහක් වත් නැති වෙනකල් පිස්සු කියෙව්වා. අපේ ගෙදර ආව. අන්තිමට මගෙ හොඳම යාලුව එයාගෙ ස්වීට් හාර්ට් උනා. 

මට කියන්න ඕනි උනේ මේ එකක්වත් නෙවෙයි. මෙන්න මේකයි. පහුගිය 07දා රෑ 11ට විතර චමිත්ගෙන් මට කෝල් එකක් ආව.

"අඩෝ හොට්ටි තෝ කොහෙද ඉන්නෙ"

"ආ උඹ මොකෝ මේ වෙලාවෙ, මං මේ වඩයක් කාල ප්ලේන්ටියක් ගහන්න හංදියට යන ගමන්"
(ඇයි හත්දෙයියනේ මූ මගෙ නින්ද කඩල ඉන්නෙ කොහෙද අහනව )
"උඹ මොකෝ මේ මහ රෑ"

"මං යන්න කියල මචන්"

"යන්න??? උඹ කොහෙ යන්නද මේ මහ රෑ"

"පාන්දර 2ට ෆලයිට් එක. මන් කටාර් යනව මචන්"
මාව ගොලු උනා. සද්ද නැතුව හිටියා.

"මොකෝ බන් චැනල් එක ඕෆ් කරේ.......... හොට්ටියෝ.............."

"යන්න එපා බන්"
මට කියවුනා. කඳුලුත් ආව.

"මං දන්නව බන් උඹට කතා කරාට පස්සෙ මට ආයෙ කාටවත් කතා කරන්න බෑ. ඒ නිසා මන් හැමෝටම කතා කරල උඹට තමයි අන්තිමට ගත්තෙ. මන් යනව කියල කෙල්ලට කිව්වෙ නෑ. හෙට උදෙන්ම කියපන්. එතකොට මං ලංකාවෙත් නෑ. එයාට සතුටින් ඉන්න කියපන් (මං නොදන්නව වගේ හිටියට මගෙ යාලුවයි තදයයි අතරෙ ප්‍රශ්න තිබුන. මටත් නොකියම දෙන්න වෙන් වෙලා). මන් ගිහින් එන්නම්. ඔය අවුරුදු පහ ඉක්මනට ඉවරවෙයි. මං ආවම එන්නම් උඹව බලල යන්න. හැබැයි පුතේ මන් එනකල් උඹට බඳින්න තහනම්."
(ඒකට නම් මට හිනා ගියා. මොකද මූ හැමදාම කියනව මගේ වෙඩින් එකේ බෙස්ට්මන්  වෙන කවුරුත් නෙවෙයි එයයි කියල. හේතුව කට්ටිය දන්නව ඇතිනෙ ) එහෙම කියල චමිත් ෆෝන් එක තිබ්බා.

අපෙන් ඈත් වෙලා යන වෙලාවෙත් අඬපු මාව හිනස්සල තමයි  එයා නැවතුනේ. මන් ඒ යාලුකමට ගොඩක් ආදරෙයි.

"ගිය රටේ කරදරයක් නැතුව ඉඳල ඉක්මනට වරෙන් බන්. පට්ට පාලුයි උඹ නැතුව"

මන් අන්තිම වතාවට SMS කරා.

මේ ඉන්නෙ මං මෙච්චර වෙලා කියවපු තදයා. 


ඔය රවුම් කරල ඉන්නෙ ජින්ජර් ටීම් එක, ඔතන කමල් - ශශිනි අඩුයි, එයාල ෆූඩ් එකේ හිටියෙ. නමක් නැති කෙනාව කට්ටිය දන්නවනෙ..

Monday, July 7, 2014

මමයි නුඹයි...



ප්‍රස්තුතයක් නැති උනාට
නුඹ නුඹම වෙන්න
මට මගේ ලෝකෙ හදාගන්න.......
බලාපොරොත්තුවක සේයා
නැතිවද හෙටවත් උදාවෙන්න...

නුඹ සඳ වගෙයි අහසට,
මං ඉර වගෙයි, හඳට එළිය දෙන
ඇයි අපිට බැරි
මාරු කරගන්න මේ චරිත දෙක...

මං හඳ,
නුඹ ඉර, හඳට එළිය දෙන

එතකොට නුඹ කියාවි,
"අමාවකට තරහයි මම"

එතකොට මාත් කියයි,
"අහස ආදරේ කරන්නෙත් හඳට"

මං දන්නව ඔයා අහනව කියල,
"එතකොට ඉරට මොකද වෙන්නෙ"

ඔක්කොම පැත්තකට දාල මම කියනව,
"නෑ මං අහස - දවල්ට ඉර - රෑට හඳ"

එතකොට ඔයා අහයි මගෙන්,
"ඉරයි - හඳයි එක අහසෙ එකට ඉන්නෙ කොහොමද "

මං දන්නව මට දෙන්න උත්තරයක් නෑ...
ඒ උනාට,
ඇත්තටම අහස
ඉරටයි හඳටයි ආදරෙයි හැමදාම......


Thursday, July 3, 2014

නුඹ මගේමය...



නුඹ නුඹමය නැත නුඹ වන් වෙනත් අයෙක්
පැතු පැතුමන් අපගේමය මතු භවයෙත්
දෙනෙත් හැර බලන් අදහනු බැහැ කිසිවක්
කොහි ගියෙ නුඹ හැරදාලා මාත් සිතත්

මග බලමින් උන්නේ රුව දැකගන්න
හඬවත් අසන්නට මා හට නැතිද පින
ලෝ පාලක දෙවියනි සිටියේ කොතැන
මගෙ රන්කඳ බැරිවද යලි මට දෙන්න

කොතැනද වරද කාගෙද මා නැත දන්නේ
නුඹගේ කොලුකමද නපුරට හරස් උනේ
දුක සැප බෙදාගනිමින් පෑ මිතුරු සෙනේ
රැගෙන ගියත් මා ගැන නෑ දුක සිතුනේ

දෙනෙත් පැලි පැලී කඳුලැලි වැගිරෙන්නේ
හිතත් පැලි පැලී නුඹමයි විමසන්නේ
දෝංකාර දී නුඹෙ හඬ පැතිරෙන්නේ
තනිවට නැතිද මාවත් අරගෙන යන්නේ

නුඹ මගෙමයි කවුරුන් කීවත් මොනවා
ඉන්නට බෑ තවත් හදවත කකියනවා
නුඹෙ උණුසුම පතා මගෙ සිත වද දෙනවා
බිදුවක් ඉවසන්න මා නුඹ වෙත එනවා


______________________________________________________________

මේකට නිමිත්ත අපේ පැත්තෙ උන ඇක්සිඩන්ට් එකක්. නොසැලකිලිමත්කම නිසා ජීවිත තුනක් එකම තැන අවසන් උනා. එක්කෙනෙක්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෝල් එකක් ගත්තම ආන්සර් කරල තියෙන්නෙ හොස්පිට්ල් එකෙන්.

"මෙයාව අඳුන ගන්න එන්න" කිව්වලු.

ඒ ගෑණු ළමයට මොනව හිතෙන්න ඇත්ද. ආරංචියෙ හැටියට එයත් වස බීල. හැබැයි එතනින් එහාට වැඩි විස්තරයක් දන්නෙ නෑ මං.

ප. ලි.

ෆොටෝ තියනව. ඒත් හිත හදාගෙන මේකට දාන්න බෑ. බලන්න ඕනි නම් මගේ ෆේස්බුක් අකවුන්ට් එකට යන්න (තනුජා යොලන්ති ). ඒකෙ ඉන්නව රුවන් ප්‍රියදර්ශන කියල කෙනෙක් එයාගෙ අකවුන්ට් එකට ගිහින් බලන්න යාලුවනේ.

Thursday, June 26, 2014

සොල්දාදු පෙම්වතී..


නෙතට හරි හදිස්සියි
දැකගන්න ඔය මූණ
හිතට හරි හදිස්සියි
විඳගන්න ඒ හැඟුම
මටත් හරි හදිස්සියි
දැවටෙන්න නුඹ ළගම
ඉක්මනට එනවාද
නිවාඩුව ලැබුනාම..

Thursday, June 5, 2014

ජීවිතය නම් නුඹම විය.. ( part II)



පළවෙනි කොටසට මෙතනින් යන්න

ඉදින් කාලය ගත විණි. පියුමික මා රැක්කාද, මා ඔහුව රැක්කාදැයි මා නොදනිමි. දැණුනු හැඟුණු එකම දේ දෙනෙත් ඔහුත් මාත් ආ ගිය මග තනි රැක්ක බව පමණි.

වරක් දෙවරක් දෙනෙත් අපගේ නිවසට පැමිනියද මගේත් තාත්තාගේත් සැලකිල්ලට ලක් නොවීම හේතුවෙන් නැවත නොපැමිනෙන බැව් අම්මාගේ වදන් වලින් දැන් ගතිමි. පාලුව දැනුනද මා ඉදිරියට ගත් පියවර පසුපසට තබන්නියක නොවූ නිසාම දෙනෙත්ව හිතක් පපුවක් නැත්තියක සේ මග හැරීමි.

ඉගැනුම් කටයුතු අහවර වීමද, රැකියාවට නැඹුරු වීමද මත කාර්යබහුල බව ඇරඹිණි.

පියුමික... ඔහු දැන් වෛද්‍යවරයෙකි,

___________________________________________________

"චූටි"

"ඇයි අම්මෙ"

"කතා කරන්න ඕනි ටිකක්"

"මොනවද"

"දැන්වත් මේවා පිලිවෙලක් කර ගත්තොත් නරකද"

"අම්ම කියන්නෙ මට ඉක්මනට මෙහෙන් යන්න කියලද"

"යවන්නැතුව තියාගන්නත් තිබුන"

"අම්ම ආයෙත් පරන බණ පදේ පටන් ගන්නද හදන්නෙ."

"මේ අම්මගෙ බණ පදත් වටින කාලයක් එයි චූටි. ඒවගෙන් වැඩක් නෑ අර ළමයට කියන්න මේක පිලිවෙලක් කරගන්න කියල"

__________________________________________________________

"පියූ"

"ම්ම්ම්"

"අහගෙනද ඉන්නෙ"

"ඔව් බබෝ කියන්න"

"බිසීද"

"බිසී උනත් මොකෝ ඔයා නිසා අහන් ඉන්නම්"

මොහොතකට හිත කීරි ගැසිනි. ඒ පියුමිකගේ හඬ නොව දෙනෙත්ගේ යැයි මට සිතිනි.

"මොකෝ බබෝ"

"නෑහ් මේ.."

කවදත් අහන්නට ආසා හිතෙන හිනාව පියුමිකගෙන් නික්මිණි.

"මොකද අම්ම බර බරේ දානවද පිලිවෙල ගැන කියල ආ...."

"කොහොමද දැනගත්තෙ"

"මන් දන්නවනෙ ඉතින් වොලියුම් බහිනකොට"

"ඔයාට ඉතින් විහිලු"

"මන් අම්මලත් එක්ක එන්නම් පැට්ටො, මටත් මේ ඉඳිල්ල ඇතිවෙලා දැන්"
_______________________________________________________

එනවා යැයි කීවාද දිනෙන් දින කල් යන පියුමිකගේ පැමිණීම, අම්මාගේත් තාත්තාගේත් නොහොඳ නෝක්කාඩුවට ලක් වන්නට පටන් ගති.

ඉවසීම තවත් මා සතුව නොමැත. ඔෆිස් යෑම පසෙකලා පාන්දරින්ම ලෑස්ති වූයේ රෝහලට හෝ ගොස් ඔහුව හමුවන අටියෙනි. නමුත්...

"මොනවද පුතේ කෙරෙන්න ඕනි"

"මුකුත් නෑ නැන්දෙ, අම්මල දුක් විදිනව මට බලන් ඉන්න බෑ, එයාල හැම දේම කරේ මන් වෙනුවෙන්නෙ"

"එහෙම තමයි ළමයි ඉන්න ඕනි"

තාත්තාගේ හඬද ඇසුනි.

"දැන් කවද්ද තියෙන්නෙ මේක"

"ලබන විසිපහ"

"කෙරෙන්න දෙයක් තියනවනම් හිතේ තියන් ඉන්නෙ නැතුව කියන්න"

"එහෙම නෑ මාමෙ, දැන් වැඩ ටික ඔක්කොම ඉවරයි නැන්දටයි, මාමටයි එන්න විතරයි තියෙන්නෙ."

දෙපා උන් හිටි තැනම නතර වී ඇත. මේ හීනයක්ද.

"මන් යනව මානෙල්, පුලුවන්නම් ඒ පැත්තෙ ගිහින් න0ගිලගෙ වැඩ වලට ඩි0ගක් උදව් උනා නම්"

තාත්තා පිටත් වූ බව කාරයේ හඬින් දැනුනි. 

හදවත සැලුනේ සෙමින් නොවේ. 

"නැන්දෙ"

දෙපා මුලමෙන් ඇසුනු හඬට මා පියවරක් ආපසු ගතිමි.

"ඇයි රත්තරනේ"

"නැන්ද තරහද"

"මන් කොහොමද පුතේ උඹත් එක්ක තරහ වෙන්නෙ"

"මාත් නැන්දගෙ විශ්වාසෙ බිඳෙන විදියට තීරණයක් ගත්තනෙ, ඒකයි"

"අවුරුදු හතක් කියන්නෙ පුන්චි කාලයක් නෙවේ පුතේ, පොඩි කාලෙ වගේම මේ වෙනකල්ම චූටි කෙරුවෙ පුතාගෙ ජීවිතේ සෙල්ලමකට ගත්ත එක"

"න0ගි පොඩියිනෙ නැන්දෙ"

අම්මාගේ හිනා හඬ දුකද සතුටද මුසු වූවක් බව දැනේ... 

"ඔයා නම් චුට්ටක් වත් වෙනස් වෙලා නෑ පුතේ"

"වෙනස් උනේ චූටිනෙ නැන්දෙ, ඒත් මන් තරහ නෑ. අම්මලගෙ බල කිරීම නිසයි මන් කැමති උනේ. අනික පියුමික චූටිට ගොඩක් ආදරේ ඇති. ඒකනෙ ඩොක්ටර් කෙනෙක් උනත් තාමත් චූටිත් එක්කම ඉන්නෙ. දැන් ඉතින් ඕකත් පිලිවෙල කරල දෙන්න."

අම්මාගේ සුසුම් සර යන්තමින් මෙන් මට ඇසිනි.

"නැන්දෙ" 

"පුතේ"

"චූටි එයිද දන්නෙ නෑ"

"මන් එක්ක එන්නම් පුතේ"

දෙනෙත් පිටව යනතුරු මා එලෙසම උනිමි. අම්මා ළඟට එනතුරු මා එලෙසම ඉඳ ඇත.

"චූටි"

"අම්මෙ, ඇයි අරය ආවෙ                                                "

"ආවෙ වෙඩින් එකට ඉන්වයිට් කරන්න"

"වෙඩින් එකට? පුදුමයි"

"ඇයි ඒ"

"නෑ ඉතින් ආපහු එන්න මන් බලන් ඉන්නව කියල කියපු සත්‍ය ප්‍රේම බෘ0ග රාජයනෙ ඔය"


"බලන් නොහිටියෙ නෑනෙ චූටි, පුන්චි කාලයක්ද ...... අනික පියුමික ඔයාව දාල යන්නෙ නෑ කියල එයාට විශ්වාස ඇති."

හිත කීරි ගැසුනි. කවදාවත් නොවූ ලෙස දෙනෙත් සිහි වුනි, මා සැරසුනු ගමන යා යුතුය.

________________________________________________________

සියල්ල සිදුවී අවසානය. මොහොතින් මොහොත ඒ වදන් මගේ සිත තුල අකුණු හඬ නගයි...

"මට ඩොක්ටර් පියුමික මුණසි0හව මීට් වෙන්න පුලුවන්ද"

"ඩොක්ටර් නම් මේ වෙලාවෙ ලොකු ඔපරේශන් එකක. කොහොමත් තව ටූ අවර්ස් විතර යයි එන්න"

"එච්චර"

"ඔව් මිස් ඩොක්ටව අද නම් මිස්ට මීට් වෙන්න බැරි වෙයි"

"කමක් නෑ ඩොක්ට එනකල් මන් ඉන්නම්"

හෙදිය මාදෙස උවමනාවටත් වඩා බලමින් විපරම් කරයි. මා ඇයට සිනාසුනෙමි.

"මිස්"

"ඔව්"

"මිස් ඩොක්ටගෙ යාලුවෙක්ද නැත්නම් පේශන්ට් කෙනෙක්ද"

"මන් ඩොක්ටව මැරි කරන්න ඉන්න කෙනා"

හෙදියගේ මුහුන තැතිගැන්වෙන අයුරු මා බලා උනිමි.



-මතු සබැඳි-

Monday, June 2, 2014

සදාදරණීය මතකය

එතකොට මන් ඒලෙවල් පන්තියෙ. හුරු පුරුදු මූණු ටික අපේ පන්තිය ළගින් එහාටයි මෙහාටයි සක්මන් කරනව මන් දැක්කා. පොලිටිකල් මිස් පන්තියෙ, ඒත් ඉතින් පොඩ්ඩක් විතර මාත් ඇහැ දැම්ම.

 "ඇයි?"
මන් ටීචට හොරෙන් ඇහුවා.

නැහැ කියන්න වගේ හොරන් ඔලුව වනල ඔයාල ගියා. මන් දන්නව ඉතින් ආයෙත් කට්ටිය එනව කියල.

යාන්තම් තුන්වෙනි පීරියඩ් එක ආව, අද සි0හල සර් නෑ.
ඕන්න ආයෙමත් කට්ටියගෙ සයිට් විසිට් එක.

"අද උගන්නන්නෙ නැද්ද."

"නෑ අක්කෙ,මොකක්ද මේ පොත."

"මේ පොතෙන් වැඩක් නෑනේ. දැන් කියනවකො බලන්න මේ තුන්දෙනා පෙරලන පොත"

එතන හිටියෙ මගෙ අතිජාත යාලු මල්ලිලා තුන් දෙනෙක් ශශී, ධනුක, ප්‍රදීප්.....
 මුන් තුන්දෙනාව මොන දහ0 ගැටයක් දැම්මත් වෙන් කරන්න නම් බෑ. හැබැයි බ්‍රයිට් කේස් තුනක්.

"අක්කෙ, අර වැඩේ කොහොමද?"
(මුන් මේ අහන්නෙ කෙල්ලෙක් ගැන )

"මොන වැඩේද?"
(මාත් අමතක ගානට ඇහුවා.)

"අපෝ, ඔච්චර ඉක්මනට අමතක උනාද?"
(යකෝ කෙල්ල ගැන හිතන් ඉන්න එකා පැත්තක අනිත් උන් දෙන්න මාව කන්න හදනව )

"මල්ලි ඉස්සර වෙලා මට චන්දෙ ගොඩ දා ගන්න උදවු කරන්න. පස්සෙ බැරියැ මට ඕක කරල දෙන්න."
(මන් එහෙම කිව්වෙ ඒ දවස් වල අපි පාසල් පාර්ලිමේන්තුවට තරග කරපු නිසා. චන්දෙට ටික දවසයි තිබුනේ )

"හරි හරි ඒව දැන් රෙඩිනෙ. අහින්සක අපේ කොල්ලටත් උදවු කරන්න හොදේ"

මන් කවදාවත් ඉස්කෝලෙ ඔය පැත්තට බර කෙනෙක් නෙවේ
(මොකද මුලු ගුරු මන්ඩලේම අපේ අප්පච්චිව දන්න නිසා ගැලවෙනව බොරු )
ඒත් ඉතින් ඉස්කෝලෙ කාලෙ ඕවට උදව් නොකරපු එකෙක් ඉන්නවද අප්පේ.

තුන්දෙනා යන්න ලෑස්ති උනා

ප්‍රදීප් අතේ තිබුන ලස්සන බුක් මාක් එකක්. ඒක මට දීල "මාව මතක් වෙන්න මේක තියාගන්න අක්කෙ, චන්දෙයි ලමා දින කෑම්ප් එකයි ඉවර වෙලා ආයෙත් මට ස්කූල් එන්න පුලුවන් වෙයිද දන්නෙ නෑනෙ" කිව්වා.

"මොනවද හලෝ විකාර කියවන්නෙ"
මන් කෑගැහුව.

"මූට පිස්සු අක්කෙ"
මෙහෙම කියපු එයාල ගියා.

කොහොමින් කොහොම හරි චන්දෙත් තිබුන, නම්බු බේරගෙන දිනලත් තිබුන. පොඩි පොඩි පාටිත් දැම්ම. ඔය හැමදේම උනේ සැප්තැම්බර් අවසානෙ. ඔක්තොබර් පලවෙනිද ලෝක ලමා දිනේ, අපේ ඉස්කෝලේ තමයි ලමයින්ට කෑම්ප් එක තිබුනෙ.

කෑම්ප් එක දවස් තුනක් තිබුන. දෙවෙනි දවසෙ පුන්චි ආරන්චියක් ආව.
"ඊයෙ ඉස්කෝලෙ ලමයෙක් වැවේ ගිලිලලු. අද උදේ තමයි හොයාගෙන තියෙන්නෙ"

ඒ ලමය කවුද කියල මාත් හෙව්ව. ම්හ්... දැන ගන්න ලැබුනෙ නෑ. දවල් වෙලා කෑම්ප් එක පැත්තෙ යන්න ලෑස්ති උනා. මොකද එහෙ ප්‍රදර්ශනයකුත් තිබුන නිසා.

යන අතර මගදි මට මීට් උනා අපිට බාලදක්ශ කරපු සර්.

"කොහෙද බ0 යන්නේ"
සර් පුරුදු කතාවෙන්ම ඇහුව.

"එක්සිබිශන් එකට යනව සර්"

"ඇයි උඹ මලගෙදර යන්නෙ නැද්ද"
එතකොට තමයි මටත් ඒක මතක් උනේ

"ඇත්තටම සර් කවුද ඒ ළමයා. තාම ආර0චියක් ලැබුනෙ නෑ මට"
සර් මගේ මූණ දිහා බලන් හිටියෙ කන්න වගේ. මටත් මුකුත්ම හිතා ගන්න බැරි උනා.

"ඇත්තටම කවුද සර්  ඒ"
මන් ආයෙත් ඇහුවා. හිතට මොකක්දෝ මන්දා අමුතු දෙයක් දැනුනා.

"ඔයා ඇත්තටම දන්නෙ නැද්ද දරුවො"

"ඇයි සර් එකම ප්‍රශ්නෙ මගෙන් අහන්නෙ, මන් දන්නෙ නෑ ඇත්තමයි, කවුද ඒ"

ඊට පස්සෙ සර් මට කිව්ව දේ මගේ කන් දෙක විශ්වාස කලේ නෑ. මන් එක පිම්මටම දුවගෙන ගිහින් නැවතුනේ මගේ යාලුව මධූ ලඟ.

"ඇත්තද මධූ තිලක් සර් මට කිව්වෙ, ඒ ප්‍රදීප් ද?"

මධූ මාව බදාගෙන අඬන්න පටන් ගත්තා, මටත් ඇස් වලට ආපු කඳුලු පිට කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.

හැම දෙයක්ම විහිලුවට ගත්තු, යාලුවට කෙල්ලෙක්ව යාලු කරල දෙන්න මගෙන් බැනුම් අහ අහ පස්සෙන් ආපු, විහිලුවට හරි නිවාඩුවෙන් පස්සෙ ස්කූල් එන්නෙ නෑ කියල මගෙන් බැනුම් අහපු, අහින්සක දඟයා ඇත්තටම අපිව දාල ගිහින්...

යාලුවො එක්ක වැවේ නාන්න ගිහින් ගිලිලා... කොච්චර ට්‍රයි කරත් හොයාගන්න බැරි වෙලා. එයාව ගොඩට ගන්න කොට එයා අපි හැමෝවම දාල ගිහිල්ලා.

නිවාඩුවෙන් පස්සෙ ඉස්කෝලෙ ගිය දවසෙ අපි හැමෝම එකතු වුනා. කඳුලු හැමෝගෙම ඇස් තෙත් කරලා. ධනුක.. ශශී... ගොලුවෙලා.

ඊටත් වඩා දුක හිතුනෙ වෙන දේකට...

මේක සිද්ධ උනේ 2008 අවුරුද්දෙ, ඒ දෙසැම්බරේ තමයි මෙයාල ඕලෙවල් ලියන්න හිටියෙ. ප්‍රදීප්ව  බූමදානෙ කරපු දවසෙ තමයි ඉස්කෝලෙට එයාගෙ අයිඩෙන්ටි කාඩ් එක ආවෙ.එයාගෙ මරණ දැන්වීමෙ තිබුනෙ අයිඩෙන්ටි එකට ගහපු ෆොටෝ එක. ඒක දැක්කම හිතට ආව හැඟීම් විස්තර කරන්න වචන නෑ මට.

හැමදාම මට මතක් වෙන වෙලාවට මන් ප්‍රාර්ථනා කරන්නෙ උපදින මතු ආත්මෙක මේ වගේ අකල් මරණයක් නොවේවා කියලා.

වරද කාගෙද දන්නෙ නැති උනත්, අපට නැති උනේ අව0ක යාලුවෙක්..

"ඈත ඈත සිතිජයට
මුවා වන තුරු මගේ ජීවිතය
මම බලා හිඳිමි....
ඔබේ තාරුකා නෙතු දෙස
එයින් පිට දකින්නට මට
අනන්තයක් නැත..."

මේ තමයි එදා මට ප්‍රදීප් දුන්න බුක් මාක් එකේ තිබුනු පද ටික, ඒක එදා වගේම අදත් මගේ "යුගාන්තය" පොතේ පිටු අතරෙ තනි රකිනව.

මේක දකිද්දි මට හිතෙනව ඔයා ඔයාගෙ මරණය කලින්ම දැක්ක කියල මල්ලියො.

එදාටත් වඩා තදින් අදත් ඔයා අපේ මතකය එක්ක බැඳිල ඉන්නව.



මේ තියෙන්නෙ එදා මේ මල්ලි මට දුන්න බුක් මාක් එක

Sunday, June 1, 2014

තරවටුව


නිහඩ රැය පුරාවට
දෙසවනට වෑහෙනා
මියුරු රස ගුලාවට
නොදැනුනා නොහැගුනා
කාලය ගෙවෙනා අරුමය,
අතොරක්ව ගලා යයි...
ආගිය කතා....
දවසේ විත්ති....
හිත රිදුනු කාරනා....


ඉදහිට පු0චි වලියක්,
නැතිනම් නෑ රහක්
ආයෙමත් ආදරෙන්
මුමුණයි හෝරාවක් දෙකක්,
එකවරම නැවතී 
ගලා ගිය ආදර ගගුල්
ඇය කරයි පුන්චි ඉගියක්
තරමක් තදින්


"you have missed a one minute"

Wednesday, May 28, 2014

ජීවිතය නම් නුඹම විය..















"මා සදට කැමති බව දැනගෙන
ඔබ සද අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්..."

වරක් දෙවරක් නොව ......... කිහිප වරක්ම මා එය ඇසීමි.

හදවතට දැනෙන්නේ දුකක්ද, කෝපයක්ද යන්න මට නොහැගේ.
ගෙවී යන සෑම තප්පරයක්ම කල්ප කාලයක් සේ මට දැනේ.
ඒ හැම මොහොතකම දෙසවන් තුල දෝ0කාර දෙන නුබේ හඩ, දෑස් ඉදිරිපිට මැවෙන නුබේ රුව හදවතට රිදුම් දෙන තරම්....

______________________________________________________

"ඔයාට අහන්න දෙන්න ලස්සන සින්දුවක් තියනව"

"ඒ මොකක්ද"

"අහන්නකො ඉතින්"

"දැන් වෙලා නෑ අනේ"

"හරි ඉතින්, කොහොමත් දැන් අහන්න එපා, බ්ලුටූත් ඔන් කරන්නකො."

"හ්ම්ම්, ඔන්න දැන් හරි,  එවන්න"

"හැබැයි ඔන්න දැන් අහන්න බෑ හොදේ. ගෙදර ගිහින් අහලා මට හෙට කියන්න."

"අනේ ඔයාගෙත් මල කෝල0. මට පරක්කුයි. මන් යනව."

"වෙනදටත් මාත් එක්ක පරක්කු වෙලානෙ යන්නෙ ඔයා. මොකද මේ වෙලා තියෙන්නෙ."

"ඔයත් දැන් විකාර කියවනවද  අපෙ අම්ම වගෙ"

"නැන්දට මුකුත් කියන්න එපා චූටි"
_________________________________________________

"මොකද චූටි අද පරක්කු උනේ."

"අයියෝ අම්මි අර මල වදේ මට සින්දු වගයක් දෙන්න ගිහින් පරක්කු උනේ. කෝ තාත්ති ආවද"

"හ්ම්ම් ඔය ඉන්නෙ"

"චූටි"

"ඇයි අම්මි"

"මල වදේ කිව්වෙ දෙනෙත්ටද"

"නැතුව ඉතින්"

"මුල අමතක කරන්න එපා චූටි"

"හරි හරි, එයාට මොනා හරි කිව්වම අම්මිට හරියට කේන්ති යනවනෙ. එයත් එකයි, ඔයත් එකයි."

"යනව නෙවි, එනව. තාත්තත් එකයි, දුවත් එකයි."

_______________________________________________

"චූටි සින්දුව ඇහුවද"

"තාම නෑ. දැනුයි ෆෝන් එක අතට ගත්තෙ. මන් අහන්නම්කො."

"හ්ම්ම්"

"මල වදේ"

"නින්ද නැතුවම මැව්ව සිහිනෙට
ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට..."

මේ මොන මල විකාරයක්ද. මට වෙන වැඩ නැතුවට මේ කෝල0 අහ අහ ඉන්න.
ඕන දෙව්ලියක් හොයා ගන්න කිව්වනම් හරි.

"චූටි, මොකද මේ තනියෙන් කියවන්නෙ"

"ඔයාගෙ මහ ලොකු පුතාගෙ වැඩ වලට මන් මේ කිව්වෙ."

"මට නිදහසේ කන්න බොන්න අදින්න විදියක් නෑ, කොහෙවත් තනියම යන්න නෑ, ඉස්සර ඉදන් උදව් කරපු ඒවට මාව බිල්ලට ගන්නද දන්නෑ හද....."

"චූටි"

"දෙනෙත් ඔයාට වදයක් නම් තව දුක් දෙන්නෙ නැතුව ඈත් වෙන්න චූටි.
ඔයාලට එපා උනාට ඒ ලමය මට ඕනි.
දන්න දා ඉදන් ඔයාගෙ දුක සැප බැලුවෙ වෙන කවුරු හරිද චූටි."
_________________________________________________

"චූටියො"

"හ්ම්ම්"

"තරහින්ද ඔයා"

"නෑහ්"

"සින්දුව ඇහුවද"

"හ්ම්ම්ම්"

"මොකද හිතුනෙ"

"මොනව හිතෙන්නද අනේ"

"හිතන්න මුකුත්ම නැද්ද චූටි"

 "දෙනෙත් අයියෙ"

"හ්ම්ම්ම්"

"කියන්න දෙයක් තියනව මට."

"කියන්න බබෝ"

"මන් ගැන බලාපොරොත්තු වෙන්න එපා."

"ඇයි ඒ කියල කියනවද මට"

"මන් කෙනෙක්ට ආදරෙයි"

"කවුද ඒ"

"පියුමික"

"අර මෙඩිකල් ෆැකල්ටි එකේ උස ලමයද"

"හ්ම්ම්ම්"

"කමක් නෑ චූටි, මේ පාර දිගේ මන් හැමදාම එනව, ඔයාට හති වැටුන දවසක වෙනද වගේම දුවගෙන ඇවිත් හරී මහන්සියි කියලා මගේ අතේ එල්ලෙන්න චූටි. මන් බලන් ඉන්නව."

- මතු සබැදි -












ආදරණීය හොරකම...




නිසන්සල සැදෑවක
හැගුම්බර දෑස් දෙස
බලා උන්නෙමි මගේ
නෙතු පියන් නොසොල්වා.......
හදවතට කතා කල
හැගුම් විල සසල කල
නුබේ නෙතු පියන් තල
සැලුනාද නොදැනුනිද.......
නොදන්නෙමි සොයන්නෙමි
නුබ ලගම දැවටෙමින්
මගේ සිත මට හොරා
සැගවුනේ කොහේදැයි....



Tuesday, May 27, 2014

අපේ මතකය....


"කෙල්ලො ඕනෑවට වඩා දග වෙන්න හොද නෑ"

ඔයා කිව්වා....

මම අහන් හිටියා,

"හිනාවෙන්න එපා ඔච්චර හයියෙන්"

ඔයා කිව්වා....

මම අහන් හිටියා,

"කොටට අදින්නෙ නෑත්තම් හොදයි"

ඔයා කිව්වා....

මම අහන් හිටියා,

"කොන්ඩෙ කපන්න එපා. එතකොට කොල්ලෙක් වගේනෙ"

ඔයා කිව්වා....

මම අහන් හිටියා,

"මට දෑන් එපා වෙලා"

ඔයා කිව්වා....

මම අහන් හිටියා,

...................................................................

"අලුත් සෙට් එක ආව නේද?"

හ්ම්ම්ම්ම්.........

මන් දෑක්කා......

මොනවද?

මුකුත් නෑ....

මොනවද දෑක්කෙ?

මුකුත් නෑ........

ගෑනුලමයි ටික වෙන්නෑති....

...............................................................................................

"දෙයක් කියන්න තියනව මට"

ඉතින් කියන්න

"අපි ගෑලපෙන්නෙ නෑ කියල ඔයාට හිතෙන්නෙ නෑද්ද?"

මම ප්‍රශ්නයක් අහන්නද

හ්ම්ම්ම්ම්.....

මාව වෙනස් කලේ කවුද කියනවද?

"මම දන්නෙ කොහොමද? ඔයා කොහොමත් හිතුවක්කාරිනෙ."

මට ඕනෙ මගෙ ප්‍රශ්නෙට උත්තරයක්....

"ඔයාට උත්තර දෙන්න මට බෑ... අනික මීට පස්සෙ කොහොමටත් ඔයාගෙ ප්‍රශ්න වලට මන් උත්තර දෙන්නෑ."

හේතුව......

"අපි ගෑලපෙන්නෙ නෑ"

අදද හිතුනෙ.

.........................................................................












සිතට හොරා නුබ හොයන විට නෙත

පාලු මාවත ඈත ඉම තෙක්
කදුලුබොද වී නොපෙනුනා රුව
කහ පාට මල් මාවතේ

සිනා හසරෑලි සමග එක්වී
දසත විසිරුනු මුදු පවන් රෑලි
ඉකිබිදින හඩ මටම ඈසුනා
පාලු වී ගිය ග0 තෙරේ

දෑත් අල්ලා එක්ව ගිය මග
සොයා යද්දී අපේ මතකය
ඉදින් දුටුවා නුබෙ මුවමල
ඈගෙ දෙකොපුල් සිබිද්දී

                      -මම ඔයාගෙම දේදු-

Monday, May 26, 2014

පෙරවදන












සිතුවිලි අකුරු විය
නෙතු කෙවෙනි රිදුම් දී
නිදි නොලද තුන් යම 
හදවතට කතා කල
ඉදින් තව දුර යමු 
නෙතු නොපියවා 
පන්හිදට අවනතව