Friday, October 24, 2014

(කාලකන්නි) කෙල්ල





යාන්තම්වත් එළිය නොපෙනෙන බිත්ති හතර ඇතුලට ඇඟිලි තුඩු වලින් වත් ලංවෙන්න බැරිතරම් උසින් තියෙන පුංචිම පුංචි කවුලුවෙන් වැටුණ පාන්දර හීනි අවුරැල්ලක් ගලාගෙන ඇවිත් සංසලාගෙ මූණට වැටුණ. මේක දැන් අරුමයක් නෙවෙයි. එළිවෙනව රෑ වෙනව කියල දැනෙන්නෙ මේක නිසා. 

"අද හෙට මෙහෙමම ගෙවිල යයි.. ඒත් ඉස්සරහට යනකොට මට මාවත් අමතක වෙන තරමටම කාලය වෙනස් වෙයි.... දෙයියනේ මොකද මේ උනේ මට.."
හිතට ආව හැගීම් කියාගන්න බැරුව සංසලාගෙ මුවින් සුසුමක් පිටවුනා.
....................................................................................................................................

"සංසී...."

"මොකද බං පන්තියට එන්න කලින් බෙරිහං දෙන්නෙ"

"දන්නවද වැඩක්"

"වැඩ නම් දන්නවා... හැබැයි ඉතින්.... උඹ කියන එක නම් දන්නවද දන්නෙ නෑ"

"මගෙ අම්මෝ මේකි නරක් වෙලා තියෙන තරම... අල්ලගන්නම්කො නලින්ව. මොනාද ඉගැන්නුවෙ අහන්න"

"අනේ මේ ඕව වැඩක් නෑ. කියපන්කො කියන්න ආව එක"

"නෝටිස් බෝඩ් එකට නිකමටවත් එබුනෙ නැද්ද"

"නෑ ඇයි"

"අන්න සමස්ත ලංකා තරඟ එනවලු මග"

"අහා.... එහෙනම් මේ සැරෙත් මගෙ වැඩ පෙන්නන්න පුලුවන් යන්න කලින්"

සංගීත ලෝකයේ කඩඉම් එකින් එක ජය ගනිමින් සංසලා ජීවිත ගීතය හැඩවැඩ කරගත්තේ ඇගේ පුංචි සංදියේදීමයි. මේ ඇගේ උසස්පෙල ජීවිතය ඇරඹූ කාලයයි. පොත්පත් අතර සිරවී සිටිනවාට වඩා සංගීතය හා ඇය බැඳී සිටියා.

"තාත්ති"

"ඇයි පුතේ"

"සමස්ත ලංකා ඇවිත්"

"හ්ම්ම්"

"ඇයි ඉතින් හ්ම්ම් කියන්නෙ. මට ප්‍රැක්ටිස් කරන්නෑ"

"දැන් ඔයා ලොකු ලමයක්. ඔයාට තේරෙනවනෙ මගෙ දරුවෝ. ප්‍රැක්ටිස් පටන් ගන්නකො. හැබැයි පුතේ පාඩම් වැඩත් ඒ වගේම වෙන්න ඕනි."

"හා... තාත්තෙ... මේ.."

"ඇයි. ඒපාර මොකටද තටමන්නෙ"

"නෑ මේ.. නලින්ට එන්න කියන්නද"

"ඇයි දැන් එයාටත් ඉගනගන්න එක ඇතිවෙලාද. මං දැක්ක අදත් ගිටාර් එක එල්ලගෙන යනව. මෙන්න මේක තේරුම් ගන්න පුතේ අපි ඔයාලට අවසර දුන්නෙ පිස්සු නටන්න නෙවෙයි. හොඳට ඉගනගෙන තැනකට ඇවිත් හොඳ ජීවිතයක් ගතකරන්න. මේක වැරදියට තෙරුම් ගන්න එපා" 
කියවමින් සිටි පත්තරයත් විසිකරදමා තාත්තා ගිය හැටි අතීත මතක අතරින්  සංසලාගේ දෙනෙත් අභියස මැවේ.

"මට සමාවෙන්න තාත්තේ"
හීනි ඉකිබිඳුමක් මුවින් ගිලිහී දෙනෙත් කඳුලින් කම්මුල් පෙඟී යන අයුරු ඈට දැණිනි.

"සංසි"

"හ්ම්ම්"

"දැන් ඔයාට ඒ ලෙවලුත් ඉවරයි. අපිට ටික කාලයක් ඉන්න පුලුවන්නෙ. ඔයා තරුණසේවා එකට යනවද. ඒක හොඳයි මියුසික් වලට"

"හරි ඉතින් මං දැන්ම බඳින්න ඕනි කිව්වෙ නෑනෙ. දැන් මට කියන්නකෝ මේ ලමය මේ වටින් ගොඩින් කැරකිලා මොකක්ද කියන්න හදන්නෙ කියල"
හෙමින් ඔහුගේ කන්පෙත්ත කොනිත්තමින් ඈ අසයි.

"කපටි කෙල්ල"

"ඌයි මගෙ නහය. මොනාටද දැන් ඔය අවසර ඉල්ලන්නෙ මගෙන්"

"ඇයි දරුවො මං ඔයාට කිව්වෙ මට කොළඹට යන්න ඕනි කියල"

"යන්න එපා"

"ඇයි ඒ"

"එහෙ ඉන්නෙ නරක අයනෙ"

"අයියෝ ඉතින් ඔයා බබෙක් වෙන්න හදනවනෙ"

"ඉතින් ඔයාමනෙ මට බබා කියන්නෙ"

"මේකිට...."

සංසලාගේ සිතුවිලි විල ඉහිරී ගියේ එක පාරටම ඇහුනු අඳෝනාවකින්. අත් දෙකෙන්ම තද කරල ඒක ඇහෙන්නෙ නැති වෙන්න කන් වහගෙන ඔලුව දණිස් අතරෙ ගහගත්තත් එයාට දැනුණ ඒ හඬ එන්නේ නලින්ගෙ මතකය එක්ක කියල. කවදාවත්ම අමතක කරල දාන්න බැරි ඒ අසරණයගෙ මතකය එක්ක. 

නලින් ගමෙන් ගියෙත් සංසලා පන්ති යන්න පටන් ගත්තෙත් එකම කාලෙක. වැඩ වැඩි නිසාම වෙන්න ඇති නලින්ට සංසලා ගැන ගොඩක් හොයන්න ඉඩක් ලැබුනෙ නෑ. 

සංගීතය එක්ක ගෙවිච්ච ජීවිතේ අමුතු පාලුවක් සංසලාට දැනුනෙම නැති තරම්. ඒත් අන්තිමේ හැම දෙයක්ම කනපිට පෙරලෙන්න වැඩි කාලයක් ගියෙත් නෑ.

"එන්න දරුවො, වාඩිවෙන්න"
අම්ම කියනව සංසලාට ඇහුණ.

"කොහොමද ඉතින් නැන්දෙ"
ඒ කටහඬට දුවගෙන එන්න තරම් ලොකු උවමනාවක් සංසලාට එදා දැණුනෙ නෑ. භාතිය සර් තියාගන්නම කියල දුන්නු වයලීන් එකේ තත් අතරෙ තදට සංසලාගෙ ඇඟිලි තදවෙලා තිබුණ.

"දෝණි, මේ දරුව ඇවිත්"
අම්මගෙ කටහඬ ඇහිල ටික වෙලාවකින් සංසලා එලියට ආව. ඒත් ඉස්සර වගේ ලෙන්ගතුකමක් ඇයි නොතිබුණේ කියල නලින්ට ලොකු ප්‍රශ්නයක්.

"මොකද මේ වෙලා තියෙන්නෙ"

"ඇයි... මට මුකුත් වෙලා නෑ"

"නැද්ද වෙලාද කියල මට තේරෙනවනෙ. තාමත් තරහින්ද ඉන්නෙ. හරි හරි දරුවො එදා මං ඇවිත් ඔයා නැති නිසා එහෙමම ගියේ වැඩ තිබුනු නිසානෙ. කෝ මෙහෙ එන්න"

නලින් සංසලාගෙ අතින් ඇද්දත් එයා අත ගලවගත්තෙ හරියට කවදාවත් ඒ අතේ එතිල හිටියෙ නෑ වගේ හැඟීමකින්. එතකොටමයි නලින් දැක්කෙ "කවදාවත් ඔයා දාන මුද්දක් ඇරෙන්න ආසාවටවත් මුද්දක් දාන්නෙ නෑ" කියපු සංසලාගෙ අතේ තිබුනු ලස්සන රත්තරන් මුද්ද.

"බබා"

"ඇයි නලින් අයියෙ"

"ඉස්සර ගොඩක් දේවල් දැන් වෙනස් වෙනව නේද"

"අපෝ තේරුනා නම් ලොකු දෙයක්"

"මාවත් එහෙමද"

"මට වද දෙන්න එපා අය්යෙ"

එදා ඇතිවෙච්ච හිත් අමනාපකම තමයි සංසලාව මේ තරම් දුර ගෙනාවෙ.

"භාතිය"

"ඇයි වස්තු"

"මට බයයි"

"මොකටද බය වෙන්නෙ ළමයො"

"නෑ නලින් ඉන්නෙ මං ගැන කේන්තියෙන්. මට බයයි කොයි වෙලේ හරි මට මොනවහරි කරයි කියල"

"අනේ මේ නිකන් ඉන්න. මං නලින් උනා නම් මෙලහට ඔයාව බලෙන් අරන් ගිහින්. නැත්තම් ඔයාව අයිති කරගන්න හදන එකාට හොඳ පාඩමක් උගන්නල"

"අනේ මංද"

"පොඩ්ඩක් ඉන්නවකො"
භාතිය කාරයට ගොස් ගෙන ආ යමක් සංසලාට දුන්නේ කපටි හිනාවක් දාගෙන.

"බය නම් මේක තියාගන්න. ඔයාගෙ ආරක්ශාවට. කරදර කරන්න ආවොත් පොඩ්ඩක් පෙන්නුවාම ඇති. කෙල්ලගෙ හැටි කොල්ල දන්නවනෙ"
භාතිය දුන්නු දේ දිහා බයෙන් බැලුවත් සංසලා ඒක අරන් පර්ස් එකට දාගත්තා.

භාතියත් නලිනුත් අන්තිමටම සංසලාට හම්බුන දවසත් එදාමයි.

සෙනග පිරිච්ච බස් එකේ සංසලාට ඉඳගන්න ඉඩක් හම්බ උනේ නෑ. හිටගෙන එන සංසලා ලඟ ඉස්සර වගේම නලින් හිටිය... පිස්සෙක් වගේ කියව කියව. වටේ පිටේ අය ඉන්නව කියල නලින්ට හැඟීමක් තිබුනෙ නෑ. එයා අයිතිවාසිකම් කිව්වෙ පුංචිකාලෙ ඉඳන් ලඟ තිබුනු ආදරේට.  

"මාව දාල යන්න හැදුවොත් මරනව උඹව"
නලින් එහෙම කිව්වෙ ආදරේටමයි. මත් වෙච්ච බඹරෙක් ගානට උන්නු භාතිය ගැන නලින් දන්නව හොඳට. 

පොඩ්ඩක් අවුල් වෙච්ච මුදු ගැහුණු කොණ්ඩෙ... පළල් නළල...... ඝන ඇස්බැමි....... යාන්තමට වැවීගෙන එන රැවුල දිහා හොරැහින් බලන අතරෙ භාතිය ආදරෙන් අතට දුන්න පිහිය සංසලාගේ අතට හිර උනා.

හැමදේකම අවසානය සංසලා තීරනය කරා......එයාගෙ ජීවිතේ ඇරෙන්න.........

"මාව මරන්න එපා සුදුහාමිනේ මං ආදරෙයි ඔයාට"
නලින්ගෙ අවසන් හුස්ම ටික යනකල්ම නලින් එච්චරයි කිව්වෙ. 

නියපොත්තකටවත් තුවාල වෙන්න නොදී සංසලාව බලාගත්තු නලින්ව සංසලා තුවාල ගොඩක් කරල දැම්ම. එක වතාවක්... දෙවතාවක්.... නෑ ... පොලිස් පොතේ ලිය වුනා දහසය පොලක් කියල....

පැදුරටත් නොකිය අතුරුදහන් උන භාතිය කොහෙද දන්නෙ නෑ.

"සේරටම වැරදි උඹ. උඹට බැරි උණා උඹේ ආදරෙ රැකගන්න. කාලකන්නි කෙල්ල"

සංසලාගේ ඇතුලාන්තය කෑ නොගහන වෙලාවක් හොයාගන්න බැරි තරම්. කඳුලු නිසාම ඉදිමිච්ච ඇස්, පිහාටු වලින් එකට ඇලිල තිබුන. අවුල් වෙච්ච කෙස් මූණට වැටිල දවල් ඉර එළියෙ හීනි රැල්ලෙන් තඹපාටට දිලිසුණා.




~ නිමි ~

20 comments:

  1. ඇයි අප්පා මේ වගේ ඇස් වලින් කඳුළු පනින කතා ලියන්නේ.... :(
    ඔන්න හොඳටම වැදුන කතාව ආ....

    සතුටු අවසානයක් ඇති කතාවක් ළඟදීම බලාපොරොත්තු වෙමි.. :D

    ReplyDelete
    Replies
    1. හැම කතාවකම අවසානය සුන්දර නෑ සිහිනයො. කොහොම වෙතත් අලුත්, සතුටු අවසානයක් තියෙන එකක් ලඟදිම ලියන්නම්.

      Delete
  2. කරකවලා අතෑරියා සිරාවටම , නියමයි ...

    ReplyDelete
    Replies
    1. හා හා දැන් ඉතින් කරකැවුන ඇති. කෝ කෙලින් හිටගන්න බලන්න. :P

      Delete
  3. අපොයි දන්නේම නැතුව ඇස් වලට කඳුලුත් ඇවිල්ලා...


    අද මං තුන්වෙනියා.....

    ReplyDelete
    Replies
    1. වෙනිය වැඩක් නෑ. ආවනම් ඇති. දැන් ඉතින් ඔක්කොටම කලින් කඳුලු පිහදාල ඉන්නටකො.

      Delete
    2. අඩෝ කින්ඩි දාන්න එපා හරිද
      ග් ර් ර් ර්.......

      සුභ දවසක්....

      Delete
  4. ගැලපෙනම මාතෘකාව දාලා තියෙන්නෙ //(කාලකන්නි) කෙල්ල// කාලකන්නි කම මිසක් වෙන මොකක්ද?

    ලස්සනයි නංගි! හිතා ගන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. ඔය විදියට ලියන්න ට්‍රයි කරපු පළවෙනි වතාව ප්‍රියා අයියෙ. ලස්සනයි නම් කමක්නෑ. ඒත් වැරදි ගොඩක් ඇති

      Delete
  5. නලීන් වේදනාවෙන් කෑගහනකොටවත් සංසලා ට දුකක් දැනුනෙ නැද්ද .සංසලා දැන් අඬල වැඩක් නෑ සංසලාගේ ආදරේ බොරුවක් ..නලීන්..හ්ම්ම් ... පව් අහිංසකයා ..

    ReplyDelete
    Replies
    1. ඔව්, ඇත්තටම දැනෙන්න නැතුව ඇති. ගොඩක් අයට ගොඩක් දේවල් තේරෙන්නෙ දැනෙන්නෙ පහුවෙලානෙ හංසියො.

      Delete
  6. ආදරේයි , තරහවයි අතර තියෙන්නේ පොඩි වෙනසක් කියන්නේ ඔය නිසා වෙන්න ඇති..
    කතාව දැනෙන්න ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔයාලට දැනුනනම් මට සතුටුයි තුශානි.

      ඔය ආදරෙයි තරහවයි අතරෙ තියෙන කෙස්ගහක දුර කොච්චර ප්‍රභලයිද කියල කියන්න පහුගිය දවස් වල ඕනතරම් සාක්ශි තිබුනනෙ.

      Delete
  7. කතාව සුපිරියි.............. නියමෙට ලියලා තියෙනවා. කතාව ඇහැට කදුලක් ගෙනාවා................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු, ඉඩ තියෙන හැමවෙලාවකම එනවට. ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනව.

      Delete
  8. මම මේ කෙල්ලෙක් කොල්ලෙක් මරපු කතාවක් කියෙව්වමද කොහෙද? අම්මෝ දැන් කෙල්ලෝ අස්සරේ කරන්න ඕනා හන්ද බෑග් එක බලලා, ඔකේ මක්කා තියෙයිද කව්ද දන්නේ? ඇදලා අරන් ඇන්නොත් හෙම? (එක්කෝ අර අනේ අම්මෝ ඒ ගැන කියන්න ඕන නෑ :D )

    කතාව හොඳයි එත් ගලාගෙන ගියපු විදියත් එක්ක කෘතීම බවක් දැනුනා මේ කතාවේ,

    නලීනුයි සනසලා අතරයි වැඩි හිටි ආශිර්වාදය ලැබුණු ආදරයක් ගොඩ නැගුනා කියලා කතාව කිව්වට එහෙම ආදරයක් කතාවේ දැනෙන්නේ නැහැ, එතකොට මේ කොටස බැලුවම ඇත්තටම එහෙම ආශිර්වාදයක් ලැබුනද කියන එක ප්‍රශනයක්. එතකොට නලීන්ගෙයි සසලාගෙයි ආදරය කතාවේ දෙබස් කිහිබයකට යොමු වෙලා,කියවන කොට දැනෙන්නේ එක මොනතරම් බොළඳ ආදරයක්ද කියලා, කතාවේ දෙබස් වලට යොදා ගත්ත යෙදීම් එක්ක මුළු කතාව පුරාම දිවෙන කතාවේ සැර බාල වෙලා වගෙයි දැන්නෙන්, එතන දෙන්න අතර ඇඟට හැඟෙන දැනෙන ආදරයක් ගලාගෙන යන්නේ නැහැ. සංසලා මොනතරම් බොළඳද කියලා හිතෙන්නේ වියෝවක් එක්ක වෙන වෙනස් වීම, නලීන් කොළඹ ගිහින් එන ටිකට සංසලා වෙනස් වෙලා. හැබැයි කොහොම මොන දෙකට වෙනස් උනාද කියන එක කතාව තුල අතුරු දහන් වෙලා. හැබැයි කතාව බැලුවම සංසලාට තියෙන්නේ උමතුවක්, සංගීතය පිලිබඳ උමතුවක්.

    වෙනස බැලුවම අවසන් වරට නලීන් එනකොට සංසලා ඉන්නේ භාතිය සර් දුන්නු වයලීන් එක බදාගෙන, සංසලාගේ වෙනස අතේ රන් මුද්දක් මගින් කියා පාන්න උත්සාහ ගෙන තියෙනවා, එය හරහා ඇති වෙන දෙබස සාර්ථකයි. එයිනුත් මේ කොටස ප්‍රභලව නැගී සිටිනවා.

    //"ඉස්සර ගොඩක් දේවල් දැන් වෙනස් වෙනව නේද"

    "අපෝ තේරුනා නම් ලොකු දෙයක්"//

    හරි එතනින් පස්සේ භාතියට නලීන් ගැන ගතු කියනවා සංසලා, භාතියත් සන්සලාට පිහියක් දෙනවා, හරියට ලව් කරන කෙල්ල ලව්වා කුඩු පැකට් අද්දවනවා වගේ දෙයක් දැනෙන්නේ, වටපිට බලලා එක බාග එකට ඔබා ගන්නවා.

    නලීන්ට වෙනස තේරුනාද? වෙනසත් එක්ක වල මත වුනාද? එයත් සැඟවිලා? ආදරේ වැඩි කමට මරනවා කියනවා කියන එක සාධාරණීකරණය කරන්න පුලුවන්ද මන්දා? එකත් කොහොම හරි එහෙම උනා කියමු, මොකද මනුස්සයොනේ.

    හරි එත් මේ දේ නම් ගැටලුවක්,

    //හැමදේකම අවසානය සංසලා තීරනය කරා......එයාගෙ ජීවිතේ ඇරෙන්න.........//

    ක්ෂණික කෝපයක් එතන ගැබ් වෙලා නැහැ, එතකොට ගත්ත තීරණේ, හදිසියේ හරි එයා දිවි හානි කරගන්න උත්සාහ කළා නම් නලීන්ව බය කරන්න කතාව මොන අතකට දිවෙයිද? එතැනදී වෙන අත්වැරදීමකින් කාගේ හරි ඉරණම තීන්දු උනා නම්? ඒත් සංසලා අනින්නේ නලීන්ට, එකත් 16 වතාවක් කියලා කියද්දී සිද්දිය වෙලා ඉවරයි, ඉතින් 16 වතාව හරහා ක්ෂණික කෝපය ගොඩ නැගුනට එක සිද්දිය වෙන මොහොතට නෙවෙයි දීලා තියෙන්නේ.

    එතකොට නලීන්, මරන්න හදද්දී කිසිම ප්‍රති රෝදයක් නැහැ, එකා උමතු වෙලාද? නැත්තන් නොමරා හිඳී කියලා බලාපොරොත්තු වෙලාද? පිහියක් අතේ තියෙන එකාට නම් කියන්න පුළුවන් මම දැන් උඹව මරනවද නැද්ද කියලා, එත් මැරෙන්න යන එකාට නම් මරණ බය ආවම හිතෙන්නේ මරයිමයි කියලා, පිහිය ලං කලත් ඇති සිහි නැති වෙන්න, ගල වෙන්නයි බලන්නේ, එහෙම නුනුත් එවුන්ට සංවේදන නැති එවුන්.

    කතාව මතුපිටින් බොළඳ උනාට යටින් ගලාගෙන ගිය දේ හරි ගැඹුරුයි, ඒ ගැඹුර මතු පිටට තව තවත් ගෙනාව නම් කියලා හිතෙනවා.

    කතාව නිකන් නිවුස් බැලුවා වගේ, වාර්තාමය ගතියක් තිබුනේ, කලබලෙන් ලියලද මන්දා, වෙනදා තරම් රසයක් දැනුනේ නැහැ. එත් කතා තේමාව සුපිරි. ඒ කෙල්ල කාලකන්නිද? නැත්තන් ඒ කෙල්ල ආස්සරේ කරපු එවුන් දෙන්නා ඊටත් වඩා කාලකන්නිද කියලා ප්‍රශ්න කලොත් සැබවින්ම ඒ කෙල්ලට වඩා මට නම් අරුන් කාලකන්නියෝ දෙන්නෙක්. කෙල්ල කාලකන්නි නොවේ බොළඳ මවාපාපු චරිතයක් වගේ.

    කතා තේමාවත් එක්ක ඔබ ගත්තු උත්සාහය අගය කරනවා, ආදර කතා ලියලා මෙවන් කතාවක් ලියුඅපු මුල්ම වර නිසා වෙන්න ඕනා වැඩිපුර තිබුනේ ඒ කතාවල ආභාෂය, ඒ නිසා කතාවේ සැර ඒ තුයුනු හන්ගීම් දැනෙන තැන් වල ඒ රසය දැනෙන්නේ නැහැ. ඒ තැන වලත් දැනෙන්නේ ආදරයක්ම විතරයි, මරණ මොහොතේ නලීන් කියන්නෙත් දේ ගත්තම දැනෙන්නෙත් ඒ වගේම දෙයක්.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. //ආදර කතා ලියලා මෙවන් කතාවක් ලියුඅපු මුල්ම වර නිසා වෙන්න ඕනා වැඩිපුර තිබුනේ ඒ කතාවල ආභාෂය, ඒ නිසා කතාවේ සැර ඒ තුයුනු හන්ගීම් දැනෙන තැන් වල ඒ රසය දැනෙන්නේ නැහැ//

      බොහොම ස්තුතියි විචාරයට. මං ගොඩක් වෙලාවට ලියන කතා කුමක් හෝ සිද්දිය මට ආරෝපනය කරගෙන ලියන කෙනෙක්. ඇත්තටම මේ විදියට ලියන්න උත්සහ ගත්ත පලවෙනි අවස්තාව. ලියනකොට වෙනසක් දැනුනත් මං මෙහෙම ලියන්න උත්සහ කරා. මටත් දැනුන ගොඩක් අඩුපාඩු තියෙනව කියල.

      //එතකොට නලීන්, මරන්න හදද්දී කිසිම ප්‍රති රෝදයක් නැහැ, එකා උමතු වෙලාද? නැත්තන් නොමරා හිඳී කියලා බලාපොරොත්තු වෙලාද? පිහියක් අතේ තියෙන එකාට නම් කියන්න පුළුවන් මම දැන් උඹව මරනවද නැද්ද කියලා, එත් මැරෙන්න යන එකාට නම් මරණ බය ආවම හිතෙන්නේ මරයිමයි කියලා, පිහිය ලං කලත් ඇති සිහි නැති වෙන්න, ගල වෙන්නයි බලන්නේ, එහෙම නුනුත් එවුන්ට සංවේදන නැති එවුන්//

      සොමී මේක ඇත්තම කතාවක්. වෙන කාගෙවත් නෙවෙයි මගේ පළවෙනි සංගීත ටීචගෙ කතාව මේ. අවුරුදු ගානකට පස්සෙ එයාට හිරගෙය උරුම උනා කියල මට අහන්න ලැබුන. ඒකයි මේක ලිව්වෙ. ටීච ආදරේ කරපු හැටිත් මං දැක්ක. ඒත් අවාසනාවකට මෙහෙම දේකුත් උනා. මං පරන විදියටම ලිව්ව නම් මේක මීට වඩා දිග වෙනස් ආරක එකක් වෙයි.

      ඇත්තටම පිරිමි කෙනා ගැන කියද්දි මං අසාර්ථකයි කියල මට දැනෙනව. මොකද එයා ඇත්තටම එයාගෙ ජීවිතේ බේරගන්න ගොඩක් උත්සහ කරන්න ඇති. ආදරේට වගේම කවුරුත් තමන්ගෙ ජීවිතේට ආදරෙයිනෙ.

      ඇත්තටම සොමී ඔයානම් සොඳුරු මිනිහෙක්ම තමයි. ගොඩාක් ස්තුතියි මගේ අඩුපාඩු තැන් කියල දුන්නට.

      Delete
    2. දැන්නේ දන්නේ මේක ඇත්ත කතාවක් කියලා, මටත් එහෙම හැඟුනා, අවාසනාවන්ත ජීවිත. විහින් අවාසනාවන්ත කම කර ගහගත්තුවා.

      Delete
  9. මට නම් මේ කතාව පට්ටයි! ගොඩක් සංවේදීයි නංගා.... මේ වගේ අත්දැකීම් නැතිකම/ බොළඳකම නිසා මෝඩ තීරණ ගත්ත කෙල්ලො මොනතරම් ඉන්නවද!

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කා. ඒත් මෙතන තියෙන ප්‍රශ්නෙ මේ කෙල්ල නූගත් කෙනෙක් නොවෙන එක. මොකක්දෝ පවක් එයාට මේ විදියට පලදෙන්න ඇති. නම් ගම් වෙනස් කරල ලිව්වට මේක ඇත්තක්. කොච්චර උගත් උනත් එයා මෙතනදි මෝඩ උනා. මේ ප්‍රශ්නෙ මීට වඩා වෙනස් විදියට විසඳන්න එයාට පුලුවන්කම තිබුන.

      Delete