Monday, March 23, 2015

හැඩයි එදාටත් වැඩියෙන් මගේ හිමී





ඉස්සර වගේ සිනහව මුව රන්දාන
නුඹ එනවාද බිං කළුවර හංගාන
නොකියන වෙහෙස දෙනෙතින් පැන නැංගාම
දෙකොපුල් තෙමමි කාටත් හොර  රහසේම........

දෙවැටේ පිච්ච මල් සුවඳට හිත යනවා
පෝයට පුරා හඳ බැලු හැටි සිහිවෙනවා
මිදුලේ පහන් පැල සුසුමින් සසැලෙනවා
ලා සඳ එළිය මැද උලමෙකු ඉකිළනවා..........

සිතිවිලි කොණිත්තයි හදවත නිමක් නැතී
සේයා රුව අදයි දුටුවේ දෑත බැඳී
එකින් එක හැදිමි මංගල ඇඳුමෙ රැළී
හැඩයි එදාටත් වැඩියෙන් මගේ හිමී.........

Thursday, February 12, 2015

පියෙහි විප්පයෝගෝ දුක්ඛො

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියල දැනෙන්නෙ හිතට ගොඩාක් සමීප කෙනෙක් අපෙන් ඈත් උනාම විතරක්ම නෙවෙයි. අපිත් එක්ක හැමදාම එකවිදියට ඉන්න නොඉන්න ඕනිම කෙනෙක් වෙනුවෙන් අපේ ඇහැට කඳුලක් එන්න පුලුවන්.....

ඒ කටුක ඇත්ත ඊයෙ දවසෙ ඉඳන් මමත් විඳිනවා. ඊයෙ රෑ ඔයා වෙනුවෙන් මමත් ගොඩක් ඇඬුවා. හිතට පුදුමාකාර විදියට දුකක් දැණුන හේතුව තමයි ඔයාගෙ මරණය රොමේෂ්......

ගතවෙන දවසක් ගානෙ ලස්සන පින්තූර ගොඩක් අප්ලෝඩ් කර කර සැහැල්ලුවෙන් හිටිය ඔයාට මොකද මේ උනේ........ මරණය ඔයාට ලඟයි කියල දශමෙකින්වත් නොහිතෙන්න ඇති....... කාටත් උරුම මේ ගමන ඇයි මෙච්චර ඉක්මණට ගියේ රොමේෂ්...

අද මං වගේම තව කී දෙනෙක්ගෙ ඇස් වල කඳුලු තියෙනෙවද කියල ඔයාට පේනවද??? දැනෙනවද???

ඔයා හොස්පිට්ල් ගියාමවත් එකම එක එස් එම් එස් එකක් වත් එවන්න හිතුනෙ නැද්ද?? 

එකම එක ෆොටෝ එකක්....


හිනාවෙවී හිතන්න ඇති ඔයා "මේ පුංචි මදුරුවෙක්ට මාව මරන්න පුලුවන්ද?" කියලා...


ඔයා වෙනුවෙන් මං දිග හරින්නෙ ඔයාගෙ පුංචි මතකයක්...










මේ විදියටම කාටවත් නොකියම ඔයා යන්න ගියාට අපි කාටවත් තරහ වෙන්න බෑ ඔයත් එක්ක. අම්මා ළඟට මාත් යන්න ඕනි කිව්වට මෙච්චර ඉක්මන් වෙයි කියල පොඩ්ඩක්වත් හිතුනෙ නෑ...

ඔයාගෙ අම්ම ළඟට වෙලා සතුටින් ඉන්න... යාලුකමින් පිරුණු  මේ හිතට ඒක සැනසීමක්...






නුඹට නිවන් සුව ලැබේවා!!!



Friday, January 23, 2015

මගේ සඳ.....






පලවෙනි කොටස


චේතියත් තාත්තාත් කුමක් කතා කරනවාදැයි දැන ගන්නට මට උවමනා වුවත් දෙදෙනාම රැකි නිහඬ පිළිවෙත මාද නිහඬ කර තැබිණි. කිසිත් වටහාගත නොහී ළතැවෙන විට, "විසඳුම" උහුලා ගත නොහී බරකින් යුතු මහමෙරක්ව මගේ හිස මතට පතිත විණි.

" වට්??  ඩිවෝස් පේපර්ස්? "

"ලේට් වෙනව.. ඕක සයින් කරල දෙන්න"

"චේති"

"කිව්වනෙ සැරයක්"
චේතියවද පසෙකට තල්ලු කර දමා මා පහළ මාළයට දිව ගියේ තාත්තාගේ හව්හරණ පතන්නට වුවත්.......

"තාත්ති... මේ මොනවද? ඇයි මේ ඩිවෝස් පේපර්ස්?? මොකද්ද තාත්ති මේකෙ තේරුම... අනේ දෙයියනේ ඇයි මේ....ම.. මට කිය..."

"ධාරි..."

තාත්තාගේ හඬ හෙණ සැරයක් මෙන් සවන්පත් මත ගුගුරා යද්දී මගෙන් උදුරාගත් කඩදාසි කොළ කිහිපය තප්පරයකින් අත්සනින් පුරවා මා දෙසට වීසිකර දැමූ චේතිය වාහනය පණගන්වා යන හඬ මට සිහිනයෙන් මෙන් ඇසිණි.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඉදින් කාලයට මා ඉඩ දුන්නෙමි. හදවතේ ගැඹුරුම තැනක නිදන් කොට තැනූ ප්‍රේමයේ හීන එකින් එක හැබෑවී ඊටත් වඩා ඉක්මණින් බොඳ වී යන අයුරු ඔහේ බලා උනිමි.

"ධාරි"

"තාත්ති"

"මං දැන් වයසයි පුතේ"
මම සිනාසුනෙමි.

"මොකද හිනාවෙන්නෙ"

"මුකුත් නෑ"

"ඔයා දැන්වත් ඔය අදහස වෙනස් කරනවද?"

"තාත්තා මට දැන්වත් මේකට හේතු කියනවද?"

"හිතුවක්කාරි, එකට එකම කරනව.."

"මං තාත්තගෙ දුවනෙ.."
තාත්තාගේ මුවට මදහසක් නැගිනි.
"දවස එයි ළඟම"

"තාත්තා අර කවුද?"
මින් පෙර මා නුදුටු කඩවසම් පිරිමි රුවක් අප දෙසට එනු පෙණින.

"ආහ් පුතා.. එන්න එන්න"
තාත්තා ඔහුව පිළිගත් උණුසුම් බවම ඔවුන් මීට පෙර සිට හොඳින්ම අඳුනන බව පමණක් මට වැටහිණි.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

"දැන් තාත්ති කියන්නෙ මට තාරකව මැරි කරන්න කියලද?"

"ඒ ළමය නරක කෙනෙක් නෙවෙයි"

"තාත්තිට චේතියව නරක් උනෙත් නෑනෙ"

"චේතිය උඹට ඔච්චරටම ආදරේ කරා නං උඹල රණ්ඩු සරුවල් උනේ මොකටද?"
තාත්තාගේ කටහඬ බිඳී යනු දැනිණි. එදා තිබූ ගාම්භීර බව අඩු වී ඇති සෙයකි.

"මං නොදන්නව වගේ උන්නට ඔය ඔක්කොම දැන ගෙන හිටියෙ ධාරි. මටවත් නොකිය උඹ කොච්චර දුක් වින්ඳද? ඒකට හේතුවවත් උඹ හෙව්වෙ නෑ. ඒත් මං හෙව්වා. උඹව මට නැතිකර ගන්න බැරිකමට මං හෙව්වා..

ම්..මං.. මං කොහොමද පුතේ අම්මෙකුත් නැතුව දුකක් නොදී මලක් වගේ හදපු උඹ විඳවනව බලන් ඉන්නෙ..."

ඇස් කෙවෙණි පුපුරා කඳුලු පණින දෑස් තාත්තාගේ පපුවට තදකරගත් මොහොතේ දෑස් අගින් දුටුවේ තාරක අප දෙස බලා ඉන්නා අයුරුයි.

"මට සමාවෙන්න මගෙ තාත්ති.."

"උඹේ ඔය නෝක්කාඩු මං එච්චර කල් අහන්නෙ නෑ"

ඉදින් මම ඔහුට කැමැත්ත දුනිමි. පළමු විවාහයෙන් දික්කසාදව උන් තාරක මගේ ස්වාමිපුරුෂයා ලෙස බාරගන්නා බවට මම දිවුරුම් දුන්නෙමි. සිතෙහි තිබුණේ තාත්තා ගැන උපන් අපමණ අනුකම්පාව පමණි.

දෛවය එතරම් අවස්තාවාදීයැයි මට නොහැඟුණි. තවත් දින දෙකකින් පසු මා උන්නේ  සිය පණ දෙවෙනි කොට මා රැකගත් මගේ තාත්තාගේ සොහොන ඉදිරිපිටයි.

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


දුරකථනය නාදවෙයි. මම සිහින ලෝකයෙන් මිදෙන්නට වෙරදැරීමි. එය චේතියගෙන් නම් නොගෙන ඉන්නට සිතා ගතිමි. "තාරක" ලෙස මුහුණතෙහි දැක්වේ... මම ඇමතුම සම්බන්ද කරගතිමි.

"ධාරි"

"කියන්න තාරක"

"පන්සලේ නේද?"

"ඔව් තාරක. ඔයා ගෙදර ගියාද? කමක් නෑ මම එන්නම්"
ඔහු සිනාසෙයි.

"නෑ නෑ දරුවෝ. ඔයාට යාලුවෙක් අඳුන්වල දෙන්න තියනව. මං එයත් එක්ක පන්සලට එන්නං"

පැය බාගයක්වත් ගතවෙන්නට පෙර තාරක පැමිණියේ තනිවමය. තවත් කෙනෙක් එනවා යැයි කීවද පෙනෙන්නට නැත.

"තාරක. ඔයා තනියමනෙ"

"ඇයි.. ඔයා බලන් හිටියද කියපු කෙනාව එක්කන් එනකල්"
මම සිනාසුනෙමි.

"නෑ... ඒත් මෙච්චර දවසක් කියපු දේවල් නොකර ඉඳල නෑනෙ"
ඔහුගේ මුහුණ මදක් වෙනස් වූ අයුරු මට පෙනිණි.

"ඇයි.. මමත් චේතිය වගේ වෙයි කියල හිතුනද?"

"තාරක?"

"පොඩ්ඩක් ඔහොම ඉඳගන්න. දෙයක් කියන්න තියනව"
සියුම් බියක් සිතට දැනිණි.


"අහන්නෙ නැද්ද මොකක්ද කියල"
මම හිස වැනීමි. ඔහු සිනාසෙයි. එහි කුමක් දෝ වටහා ගත නොහැකි හැඟීමක් ගැබ්වී තිබිණි.

"ධාරි"
තාරක චේතිය මෙන් නොව තාත්තාමෙන් මට "ධාරි" කියා අමතයි. චේතියට මා "ධාරා" වේ. නමුදු මම "ධාරි" වෙමි.

"කියන්න"

"ප්‍රශ්නයක් අහන්නද?"

"හ්ම්ම්"

"හ්ම්හ්.. මේ.. මේකයි"
මට සිනා නැගිණි. ඔහු කෙදිනකවත් මෙසේ නොසන්සුන්ව හැසිරෙන අයුරු මා දැක නොතිබිණි. 

"මොකෝ මේ"

"නෑ ධාරි, මේකයි.."

"ඉතින් කියන්න අනේ..."

"මහත්තයා"
එක්වරම ඇසුණු ගැහැණු හඬින් ඔහුත් මාත් එකටම මෙන් පසුපස බැලීමු.

"මැණිකම්මා"
තාරක කලබලයෙන් මුමුණනු මට ඇසිණි.

"තාරක කවුද මේ"
ඔහුට මා කියන දෙය නිනව් නොවිණි.

"මහත්තයා"

"මැණිකම්මා ඔයා මෙහේ මොනවද කරන්නේ.. කෝ දරුවා.. මං.. මං කිව්වනෙ මං එනකල් ගෙදර ඉන්න කියල..."

මට කිසිවක් නොතේරේ... 

"තාරක"
මම මහ හඬින් කෑ ගැසීමි. ඔහුට මා නෑසේ.

"හැමදේම ඉවරයි මහත්තයා. දැන් කරන්න කිසිම දෙයක් නෑ. මට මගේ ගමන යන්න අවසර දෙන්න. මහත්තයට පින් සිද්දවෙනව මට කරපු උදව් වලට"

"දැන් කෝ දරුව"

"නිශා නෝනා අරගෙන ගියා"

"නිශා?"

"මහත්තයා ගෙදරින් ගිය ගමන්ම නිශා නෝන ආව චේතිය මහත්තය එක්ක. එයාල අද රෑ රටින් යනව කිව්ව. මාවත් දාගෙන ඇවිත් මහත්තය එනකල් බලන් ඉඳල පස්සෙන් ඇවිත් මාව දාල ගියා මහත්තය."

"ශිට්.. මොකද්ද මැණිකම්මෙ මේ උනේ. මං දරුවව මගේ කරගන්න බලන් හිටිය...."

"අනේ මට සමාවෙන්න.. මේ දුප්පත් මට කරන්න වෙන දෙයක් තිබුනෙ නෑ මහත්තය. අනික දරුව අම්මයි තාත්තයි එක්කනෙ ගියේ මහත්තයො."

"ඒත් මැණිකම්මෙ.."

තවත් බලා සිටිය නොහැක.
"මට කියනවද මොකද්ද වෙන්නෙ කියල තාරක"

"ඔයා මේක දැනගන්නම ඕනි ධාරි. දන්නවද.... චේතිය ඔයාගෙ වෙන්නත් කලින් ඉඳන් මගේ නංගි නිශාට ළං වෙලා හිටියෙ... මොන හේතුවක් නිසා හරි එයා ඔයාට ලං වුනා. ඔයාගෙ තාත්තා ඔයාගෙ ආසාවට කැමැත්තට ඉඩ දෙන්න ඕනි නිසා ඔයාල බැන්ඳුව. ඒත් චේතිය කවදාවත් මගේ නංගිව අතහැරියෙ නෑ. මං මේක නවත්තන්න බලනකොට මගේ නංගිට දරුවෙක් ලැබෙන්න..."

"නවත්තන්න තාරක. දැන් ඇති."

"ධාරි"

"ඉතිරි ටික මං දන්නව තාරක."

"ඒ කොහොමද"

"මං වෙනුවෙන් ඔයා කොච්චරකල් බලන් හිටියද කියල මං දන්නව...මගේ තාත්ත ඔයාගෙ නංගිව හැංගුව කියල දන්නව.. අවුරුදු ගානක ඉඳන් ඔයා මාව රැක්කා කියලත් මං දන්නව.."

"ධාරි.. ඔ..ඔයා.. මොනාද මේ කියන්නෙ"
මගේ අත රැඳි ඔහුගේ දිනපොත මම ඔහුට පෙන්වීමි.

"ධාරි"

"ඔයාටත් එක දෙයක් වැරදුනා තාරක"

"ධාරි"

"කවදාවත් අම්මෙක්ගෙන් දරුවෙක් උදුරගන්න හදන්න එපා. ඒ දරුව නිශාගෙ"

"මට සමාවෙන්න ධාරි"

පණිවිඩයක් ලැබුණු බවට දුරකතනය හැඬවිණි.

"ධාරා. අපි යනවා. තාරකට කියන්න. අවසාන වතාවට ඔයාව බලල යන්න ආවෙ තාමත් මං ගැන දුක් වෙනවද බලන්න. එහෙම නෑ කියන්න මං දැන් දන්නව. සතුටින් ඉන්න."

අහස මුදුනටම වෙන්න හඳ දිලිසේ... කඳුලු දෑසට බර වැඩි යැයි හැඟේ... අවුරුදු ගානක් දුක් විඳ ඇත්තේ අන්සතු හදකටය... 

තාරක ඈතින් හිඳ බලා ඉඳී.... මා හෙමින් ඔහු දෙසට පා නැගුවෙමි.... දෙපා වලංගු නැතැයි හැඟේ.... එහෙත් බලාපොරොත්තුව .......



~නිමි~


Monday, December 15, 2014

මගේ සඳ.....





මම බලා ඉඳිමි හිස් අහස දෙස දෑස් දල්වා... යලි නුඹ එන තුරු වලාකුළු අතරින් මතුව..... සිනාසී බලා සැනසෙන්න.... මගේ සඳ.....
----------------------------------------------------------------------------------------------------------------------------------------

"ධාරා"

"කියන්න"

"ඔයා තාමත් ආදරෙයිද මට"

"මගේ ආදරේ මග නතර උනාද චේතිය"

"ප්ලීස් ධාරා ප්ලීස්... මගෙන් උනේ හදන්න බැරි වැරැද්දක්"

"ඔයා යන්න චේති"

"මාව පණ පිටින් මරවන්නද ඕනි"

"නෑ මං කොහොමද එහෙම කරන්නෙ"

"ශිට්... ධාරා...ධාරා...ධා..."

ඔහුගේ දුරකථනය නොනවත්වා නදදෙයි.

"ඔය ෆෝන් එකට ආන්සර් කරන්න"

"හෙලෝ..."
"...."

"මගෙ පුතුට තාත්ති එනකොට මොනවද ගේන්න ඕනි"
"........"

"තාත්ති එනකල් දොයියන්න ඔට්ටු නෑ ඔන්න පැටියෝ"
"....."

"හා හා තාත්ති හඳමාමි එන්න කලින් එන්නම්කෝ... "
"........"

"බුදුසරණයි මැණික"
"හ්ම්හ්..."

"පුතුද"

"හ්ම්ම්"

"ඔයා දැන් යන්න චේති"

-------------------------------------------------------------------------------------------------------------------------

වට්ටියක් පුරවා සුදුමල් කැඩුවේ පන්සලට යාමටම ඇති අවශ්‍යතාවය නිසා නොවේ... මට දැන් අවැසි තාරකගෙන් දෑස් සඟවා වසන් වීමටය...

"හෙලෝ තාරක"

"කියන්න ධාරි"

"මම පන්සලට යන්න කියල"

"හ්ම්ම්... ඔයා යන්න. මං එනකොට හත විතර වෙයි. පන්සල ලඟින් ඔයාව ගන්නම්..."

----------------------------------------------------------------------------------------------------------
පොහෝ දිනයක් නොවුණද තරමක් සෙනග ගැවසේ... පිරිත් හඬ මැදින්ම මල් පහන් පූජා කර කාටවත් නොපෙනෙන කොනක ඉඳගතිමි.. අතීතය දෑස් ඉදිරිපස මැවෙන්නේ සිනමාපටයක් මෙනි.

"ධාරි, ආෆ්ටර් ඒලෙවල් මොනාද කරන්න හිතන් ඉන්නෙ"

"නතින්ග් ස්පෙශල් තාත්ති. බිස්නස් වලට ඉන්වොල් වෙන්න එපා කියල තාත්තිනෙ කියන්නෙ. ඒත්..."

"මේකයි පුතේ.. මාත් කැමතියි ඔයාව ඉන්වොල් කරගන්න. බට්, කවද හරි දවසක ඔයාගෙ මැරේජ් එකේදි ඒක ප්‍රශ්නයක් වෙයි"

"ඒකට තව කල් තියෙනවනෙ තාත්ති. එතකොට මං අයින් වෙන්නම්"

"ඔයා හිතන තරම් ඒක ලේසි නෑ දරුවෝ"
මම සිනාසුනෙමි.

"ධාරි කවුද චේතිය කියන්නෙ"
මේ මොහොතේ තාත්තාගෙන් එවන් ප්‍රශ්නයක් මම බලාපොරොත්තු නොවුනෙමි.

"තාත්ති"

"ගොඩක් දේවල් නොදන්නව වගේ හිටියට මං මේව දන්නව පුතේ.. ඒ ළමයට ඇවිත් මාව මුණගැහෙන්න කියන්න.."

ඉදින් මා තරම් තවත් වාසනාවන්තියක් නොවේයැයි මා සිතූ තරම්. චේතියගේත් මගේත් ප්‍රේමය නොසිතූ පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර වූ පසු විවාහයකින් නිම විය..
.....................................................................................................................................................................

"ධාරා"

"ම්ම්ම්"

"දන්නවද මේ ලෝකෙ වැඩියෙන්ම වාසනාවන්ත කවුද කියල"

"හ්ම්ම්"

"කවුද"

"මේ මමනෙ අනේ.."

"පිස්සි... ඔයා නෙවෙයි, මේ මම"

"ඇත්තට...... ඇයි දන්නෙ නෑ එහෙම උනේ"

"උනේද, උනේ මෙන්න මේ පිස්සු මගුල නිසා..."
තවත් කියන්නට උපමා නැත.. මගේත් චේතියගේත් විවාහය, ජීවිතය, සියලු සැප සම්පත් මැද ජය ගෙන තිබිණි...  එහෙත් කොපමණ කලකටද?

............................................................................................................................................................................................

වෙනදා මෙන් නොව විවාහයෙන් දෑවුරුද්දකට පසු චේතිය එන්න එන්නම වෙනස් පුද්ගලයෙකු වන්නට විය.

"ධාරා"

"කියන්න චේති"

"ඔයාගෙ තාත්තට පිස්සු හැදීගෙන එනවද"

"චේති"

"ඔන්න මං නොකිව්වයි කියන්න එපා, එයාට කියනව තමුන්ගෙ වැඩක් බලාගෙන ඉන්න කියල.. මේක පුදුම කරුමයක් උනානෙ, දුවව මට බන්දල දුන්න කියල ඒ පළියට මගේ හැම වැඩකටම ඇඟිලි ගහන්න අයිතියක් නෑනෙ"

මගේ සිරුර පුරා විදුලි සැරයක් වැදුනාක් මෙන් විය. කිසිදාකවත් නොවූ ලෙස චේතිය බැන වදී..... එහෙත් හේතුව.... 

රැය පහන් වූයේ කෙසේදැයි නොදනී... 

"නෝනෙ"
මාලා හෙමින්විත් මා හට කොඳුරයි... මම හිමින් සීරුවේ හිස එසවූවෙමි...

"දැන් ගොඩක් දවල් වෙලා. මහත්තය බැල්කනියට වෙලා ඉන්නව. ලොකු මහත්තය ඇවිත්..."

"මාලා, මහත්තය ඔෆිස් ගියෙ නෑ.."

"ම්හ්හ් නෑ නෝනෙ"

ඉක්මණින් රෑ ඇඳුම උනා දමා, ගවුමක් ඇඟලාගෙන පහලට ගියේ දෙගිඩියාව සිත දරාගෙනමය.

"ධාරි"

"තාත්ති"

"කෝ චේතිය"

"උඩ"

"මට පොඩ්ඩක් හම්බවෙන්න ඕනි"

"චේතී, තාත්ති කතා කරනවා"

"ඉන්න පොඩ්ඩක්, මං එනවා.."



-මතු සම්බන්දයි-

Friday, November 28, 2014

අපි (ii)

  


අත අතැ'ර යන්න මට

හිත වාරු නැතිවාට
සිතිජයට එහා ගිය 
නුඹෙ දෑස පෙනෙයි මට



එක ළඟින් තිවු පාද

රටා මකමින් හොරට
විසිරුවා පෙණ බිඳිති
රළ නැගෙයි ඔච්චමට


නුඹ දුටුවෙ නැතිවාට

අදත් ගිම් නිවන ඉර
හැමදාම වාගේම
හාදු දෙයි සිඳු තෙරට....


අපි (i)

Thursday, November 20, 2014

අපි






හැමදාමත්
එක එක කෝණ වලින් 
බැලුවට මොකද
ඔයාගෙ නේකඩ් අයි එකට 
හැමදාමත් මං පැරදි....

Wednesday, November 12, 2014

වැසුණු නෙත්




උඹට 
අමතකම වුනාට
එතන හිටපු
මමමයි
මෙතන ඉන්නෙත්...

Tuesday, November 4, 2014

යන්න නුඹ ගියා....




පිච්ච මල් සුවඳ අරගෙන
හොර හොරෙන් ඇවිත් මද නල
ඉස්සරම දවස් මතකෙට 
හෙමින් ලං කලා.......

ඈත හීන ලොවක ඉඳන්
පාට සේද සලු අතරින්
එබෙන නුඹේ නපුරු මූණ
මට හිනා උණා......

නින්ද නැති රැයේ තුන්යම
සවන් පත් අතර රැඳෙනා
නුඹේ මුනු මුනුව
දෑසට කඳුලු එක්කලා........


සිත් පුරා බැඳුනු ප්‍රේමය
මටම උරුම කර සදහට
වෙන සිතක් සොයා විගසින්
යන්න නුඹ ගියා....

Friday, October 24, 2014

(කාලකන්නි) කෙල්ල





යාන්තම්වත් එළිය නොපෙනෙන බිත්ති හතර ඇතුලට ඇඟිලි තුඩු වලින් වත් ලංවෙන්න බැරිතරම් උසින් තියෙන පුංචිම පුංචි කවුලුවෙන් වැටුණ පාන්දර හීනි අවුරැල්ලක් ගලාගෙන ඇවිත් සංසලාගෙ මූණට වැටුණ. මේක දැන් අරුමයක් නෙවෙයි. එළිවෙනව රෑ වෙනව කියල දැනෙන්නෙ මේක නිසා. 

"අද හෙට මෙහෙමම ගෙවිල යයි.. ඒත් ඉස්සරහට යනකොට මට මාවත් අමතක වෙන තරමටම කාලය වෙනස් වෙයි.... දෙයියනේ මොකද මේ උනේ මට.."
හිතට ආව හැගීම් කියාගන්න බැරුව සංසලාගෙ මුවින් සුසුමක් පිටවුනා.
....................................................................................................................................

"සංසී...."

"මොකද බං පන්තියට එන්න කලින් බෙරිහං දෙන්නෙ"

"දන්නවද වැඩක්"

"වැඩ නම් දන්නවා... හැබැයි ඉතින්.... උඹ කියන එක නම් දන්නවද දන්නෙ නෑ"

"මගෙ අම්මෝ මේකි නරක් වෙලා තියෙන තරම... අල්ලගන්නම්කො නලින්ව. මොනාද ඉගැන්නුවෙ අහන්න"

"අනේ මේ ඕව වැඩක් නෑ. කියපන්කො කියන්න ආව එක"

"නෝටිස් බෝඩ් එකට නිකමටවත් එබුනෙ නැද්ද"

"නෑ ඇයි"

"අන්න සමස්ත ලංකා තරඟ එනවලු මග"

"අහා.... එහෙනම් මේ සැරෙත් මගෙ වැඩ පෙන්නන්න පුලුවන් යන්න කලින්"

සංගීත ලෝකයේ කඩඉම් එකින් එක ජය ගනිමින් සංසලා ජීවිත ගීතය හැඩවැඩ කරගත්තේ ඇගේ පුංචි සංදියේදීමයි. මේ ඇගේ උසස්පෙල ජීවිතය ඇරඹූ කාලයයි. පොත්පත් අතර සිරවී සිටිනවාට වඩා සංගීතය හා ඇය බැඳී සිටියා.

"තාත්ති"

"ඇයි පුතේ"

"සමස්ත ලංකා ඇවිත්"

"හ්ම්ම්"

"ඇයි ඉතින් හ්ම්ම් කියන්නෙ. මට ප්‍රැක්ටිස් කරන්නෑ"

"දැන් ඔයා ලොකු ලමයක්. ඔයාට තේරෙනවනෙ මගෙ දරුවෝ. ප්‍රැක්ටිස් පටන් ගන්නකො. හැබැයි පුතේ පාඩම් වැඩත් ඒ වගේම වෙන්න ඕනි."

"හා... තාත්තෙ... මේ.."

"ඇයි. ඒපාර මොකටද තටමන්නෙ"

"නෑ මේ.. නලින්ට එන්න කියන්නද"

"ඇයි දැන් එයාටත් ඉගනගන්න එක ඇතිවෙලාද. මං දැක්ක අදත් ගිටාර් එක එල්ලගෙන යනව. මෙන්න මේක තේරුම් ගන්න පුතේ අපි ඔයාලට අවසර දුන්නෙ පිස්සු නටන්න නෙවෙයි. හොඳට ඉගනගෙන තැනකට ඇවිත් හොඳ ජීවිතයක් ගතකරන්න. මේක වැරදියට තෙරුම් ගන්න එපා" 
කියවමින් සිටි පත්තරයත් විසිකරදමා තාත්තා ගිය හැටි අතීත මතක අතරින්  සංසලාගේ දෙනෙත් අභියස මැවේ.

"මට සමාවෙන්න තාත්තේ"
හීනි ඉකිබිඳුමක් මුවින් ගිලිහී දෙනෙත් කඳුලින් කම්මුල් පෙඟී යන අයුරු ඈට දැණිනි.

"සංසි"

"හ්ම්ම්"

"දැන් ඔයාට ඒ ලෙවලුත් ඉවරයි. අපිට ටික කාලයක් ඉන්න පුලුවන්නෙ. ඔයා තරුණසේවා එකට යනවද. ඒක හොඳයි මියුසික් වලට"

"හරි ඉතින් මං දැන්ම බඳින්න ඕනි කිව්වෙ නෑනෙ. දැන් මට කියන්නකෝ මේ ලමය මේ වටින් ගොඩින් කැරකිලා මොකක්ද කියන්න හදන්නෙ කියල"
හෙමින් ඔහුගේ කන්පෙත්ත කොනිත්තමින් ඈ අසයි.

"කපටි කෙල්ල"

"ඌයි මගෙ නහය. මොනාටද දැන් ඔය අවසර ඉල්ලන්නෙ මගෙන්"

"ඇයි දරුවො මං ඔයාට කිව්වෙ මට කොළඹට යන්න ඕනි කියල"

"යන්න එපා"

"ඇයි ඒ"

"එහෙ ඉන්නෙ නරක අයනෙ"

"අයියෝ ඉතින් ඔයා බබෙක් වෙන්න හදනවනෙ"

"ඉතින් ඔයාමනෙ මට බබා කියන්නෙ"

"මේකිට...."

සංසලාගේ සිතුවිලි විල ඉහිරී ගියේ එක පාරටම ඇහුනු අඳෝනාවකින්. අත් දෙකෙන්ම තද කරල ඒක ඇහෙන්නෙ නැති වෙන්න කන් වහගෙන ඔලුව දණිස් අතරෙ ගහගත්තත් එයාට දැනුණ ඒ හඬ එන්නේ නලින්ගෙ මතකය එක්ක කියල. කවදාවත්ම අමතක කරල දාන්න බැරි ඒ අසරණයගෙ මතකය එක්ක. 

නලින් ගමෙන් ගියෙත් සංසලා පන්ති යන්න පටන් ගත්තෙත් එකම කාලෙක. වැඩ වැඩි නිසාම වෙන්න ඇති නලින්ට සංසලා ගැන ගොඩක් හොයන්න ඉඩක් ලැබුනෙ නෑ. 

සංගීතය එක්ක ගෙවිච්ච ජීවිතේ අමුතු පාලුවක් සංසලාට දැනුනෙම නැති තරම්. ඒත් අන්තිමේ හැම දෙයක්ම කනපිට පෙරලෙන්න වැඩි කාලයක් ගියෙත් නෑ.

"එන්න දරුවො, වාඩිවෙන්න"
අම්ම කියනව සංසලාට ඇහුණ.

"කොහොමද ඉතින් නැන්දෙ"
ඒ කටහඬට දුවගෙන එන්න තරම් ලොකු උවමනාවක් සංසලාට එදා දැණුනෙ නෑ. භාතිය සර් තියාගන්නම කියල දුන්නු වයලීන් එකේ තත් අතරෙ තදට සංසලාගෙ ඇඟිලි තදවෙලා තිබුණ.

"දෝණි, මේ දරුව ඇවිත්"
අම්මගෙ කටහඬ ඇහිල ටික වෙලාවකින් සංසලා එලියට ආව. ඒත් ඉස්සර වගේ ලෙන්ගතුකමක් ඇයි නොතිබුණේ කියල නලින්ට ලොකු ප්‍රශ්නයක්.

"මොකද මේ වෙලා තියෙන්නෙ"

"ඇයි... මට මුකුත් වෙලා නෑ"

"නැද්ද වෙලාද කියල මට තේරෙනවනෙ. තාමත් තරහින්ද ඉන්නෙ. හරි හරි දරුවො එදා මං ඇවිත් ඔයා නැති නිසා එහෙමම ගියේ වැඩ තිබුනු නිසානෙ. කෝ මෙහෙ එන්න"

නලින් සංසලාගෙ අතින් ඇද්දත් එයා අත ගලවගත්තෙ හරියට කවදාවත් ඒ අතේ එතිල හිටියෙ නෑ වගේ හැඟීමකින්. එතකොටමයි නලින් දැක්කෙ "කවදාවත් ඔයා දාන මුද්දක් ඇරෙන්න ආසාවටවත් මුද්දක් දාන්නෙ නෑ" කියපු සංසලාගෙ අතේ තිබුනු ලස්සන රත්තරන් මුද්ද.

"බබා"

"ඇයි නලින් අයියෙ"

"ඉස්සර ගොඩක් දේවල් දැන් වෙනස් වෙනව නේද"

"අපෝ තේරුනා නම් ලොකු දෙයක්"

"මාවත් එහෙමද"

"මට වද දෙන්න එපා අය්යෙ"

එදා ඇතිවෙච්ච හිත් අමනාපකම තමයි සංසලාව මේ තරම් දුර ගෙනාවෙ.

"භාතිය"

"ඇයි වස්තු"

"මට බයයි"

"මොකටද බය වෙන්නෙ ළමයො"

"නෑ නලින් ඉන්නෙ මං ගැන කේන්තියෙන්. මට බයයි කොයි වෙලේ හරි මට මොනවහරි කරයි කියල"

"අනේ මේ නිකන් ඉන්න. මං නලින් උනා නම් මෙලහට ඔයාව බලෙන් අරන් ගිහින්. නැත්තම් ඔයාව අයිති කරගන්න හදන එකාට හොඳ පාඩමක් උගන්නල"

"අනේ මංද"

"පොඩ්ඩක් ඉන්නවකො"
භාතිය කාරයට ගොස් ගෙන ආ යමක් සංසලාට දුන්නේ කපටි හිනාවක් දාගෙන.

"බය නම් මේක තියාගන්න. ඔයාගෙ ආරක්ශාවට. කරදර කරන්න ආවොත් පොඩ්ඩක් පෙන්නුවාම ඇති. කෙල්ලගෙ හැටි කොල්ල දන්නවනෙ"
භාතිය දුන්නු දේ දිහා බයෙන් බැලුවත් සංසලා ඒක අරන් පර්ස් එකට දාගත්තා.

භාතියත් නලිනුත් අන්තිමටම සංසලාට හම්බුන දවසත් එදාමයි.

සෙනග පිරිච්ච බස් එකේ සංසලාට ඉඳගන්න ඉඩක් හම්බ උනේ නෑ. හිටගෙන එන සංසලා ලඟ ඉස්සර වගේම නලින් හිටිය... පිස්සෙක් වගේ කියව කියව. වටේ පිටේ අය ඉන්නව කියල නලින්ට හැඟීමක් තිබුනෙ නෑ. එයා අයිතිවාසිකම් කිව්වෙ පුංචිකාලෙ ඉඳන් ලඟ තිබුනු ආදරේට.  

"මාව දාල යන්න හැදුවොත් මරනව උඹව"
නලින් එහෙම කිව්වෙ ආදරේටමයි. මත් වෙච්ච බඹරෙක් ගානට උන්නු භාතිය ගැන නලින් දන්නව හොඳට. 

පොඩ්ඩක් අවුල් වෙච්ච මුදු ගැහුණු කොණ්ඩෙ... පළල් නළල...... ඝන ඇස්බැමි....... යාන්තමට වැවීගෙන එන රැවුල දිහා හොරැහින් බලන අතරෙ භාතිය ආදරෙන් අතට දුන්න පිහිය සංසලාගේ අතට හිර උනා.

හැමදේකම අවසානය සංසලා තීරනය කරා......එයාගෙ ජීවිතේ ඇරෙන්න.........

"මාව මරන්න එපා සුදුහාමිනේ මං ආදරෙයි ඔයාට"
නලින්ගෙ අවසන් හුස්ම ටික යනකල්ම නලින් එච්චරයි කිව්වෙ. 

නියපොත්තකටවත් තුවාල වෙන්න නොදී සංසලාව බලාගත්තු නලින්ව සංසලා තුවාල ගොඩක් කරල දැම්ම. එක වතාවක්... දෙවතාවක්.... නෑ ... පොලිස් පොතේ ලිය වුනා දහසය පොලක් කියල....

පැදුරටත් නොකිය අතුරුදහන් උන භාතිය කොහෙද දන්නෙ නෑ.

"සේරටම වැරදි උඹ. උඹට බැරි උණා උඹේ ආදරෙ රැකගන්න. කාලකන්නි කෙල්ල"

සංසලාගේ ඇතුලාන්තය කෑ නොගහන වෙලාවක් හොයාගන්න බැරි තරම්. කඳුලු නිසාම ඉදිමිච්ච ඇස්, පිහාටු වලින් එකට ඇලිල තිබුන. අවුල් වෙච්ච කෙස් මූණට වැටිල දවල් ඉර එළියෙ හීනි රැල්ලෙන් තඹපාටට දිලිසුණා.




~ නිමි ~

Monday, October 20, 2014

අතීත කතා



මේ දවස් වල එක එක්කෙනාගෙ අතීත කතා අහන බලන අතරෙ මටත් හිතුන ඕං එහෙම එකක් දාන්න. 

අපිත් ඉතින් මෙහෙම හිටියට ඔය සුට්ටං ඇට්ටර වැඩ කරල හොඳට අත්දැකීම් ලබාපු උදවියනෙ. එකක් දෙකක් දාන්නම් ඉතිං.....

පවුලක මද්දුමයෙක් උනාම කන්න වෙන පරිප්පු කවුද අත්විඳල තියෙන්නෙ කියන්න බලන්න. ඇත්තටම ඒක හරිම අනුවේදනීය අවස්ථාවන්ට මුහුන දීමේ භාග්‍ය හිමිවෙන අති රමණීය පදවියක්. ඇත්තටම මං මේ කියන්නෙ......... බොරු නම් අහල බලන්න මද්දුමයෙක්ගෙන්.

ලොකුම අවනඩුව තමයි හැමපැත්තෙන්ම තැලෙන එක. උදාහරණයක් ගත්තොත්, 

මට ඉන්නෙ අයියයි - නංගියි ඩබලක් ඉතින් මං නංගි එක්ක මොකකට හරි වලියක් දාගත්තොත් මව් හා පිය පාර්ශවය ඉතාමත් ආදරණීය ලෙස මට ආමන්ත්‍රනය කරනව පොඩි එකාව අවුස්සනව කියලා.... ඒ වගේම අයිය එක්ක පැටලුනොත් මට අයියගෙන් ගුටි පූජාවක් වගේම අනිත් අයගෙනුත් ප්‍රසංසා ලැබෙනව ලොකු අය එක්ක රණ්ඩු කරනව කියල...



කාටද මේ අවනඩුව කියන්නෙ....

මං ඉතින් ඔය ඔක්කොටෝම හරියන්න රිටන් එක දෙනව කාටවත් නොදැනෙන්න. 

ඔන්න ඉතින් දවසක් අපේ සීය... ඒ කියන්නෙ අපේ අම්මගෙ තාත්තා අපිට ඉස්කෝලෙ නිවාඩු දෙන්න දවස් තුනකට කලින් ආව අපේ ගෙදර. ඔය පැමිනීමෙ එක අරමුනක් තමයි නිවාඩු දුන්න දවසට පහුවදාම මාවත් අරන් ගමේ යන එක. මොකද මං පුන්චිකාලෙ ඉඳන් හැදුනෙ වැඩුනෙ එයාල ලඟ. ඉස්කෝලෙ යන කාලෙ තමයි අම්මල ලඟට ආවෙ. 

ඉතින් ඔහොම ආව දවසෙ අරන් ඇවිත් තිබුන බිබික්කන් (අද කාලෙ අයනම් ඕව දන්නෙ පොල්කේක් කියල ). අපේ අම්මත් සීයට තේ හදල දීල අපිටත් දීල අරකෙ ඉතුරු ටික හොඳට ඔතල අරන් තිබ්බ. මාත් ඕක නොදැක්ක වගේ අහක බලාගෙන හිටියා.

ඔන්න දවස් දෙකක් විතර ගිහින් අපිට නිවාඩුත් හම්බුනා. මං රෙදි ටික පොදි බඳිනව පහු වෙනිදට යන්න. අපේ නගා පුරුදු විදියට ඇඳ උඩ ඉඳගෙන අයිය එක්ක පොර ටෝකක් දෙනව මට ඇහෙන්න.

"මේ අයියෙ, හෙට චේතයි, රුසියි එක්ක වත්තෙ යං හොඳේ. අරවත් තියෙන එකේ නෙක්ටො එකක් ගත්තම ඇති. වැවේ නාන්ඩත් එක්කම යමු"
මේකි වත්ත කිව්වෙ අපෙ මාමට තියන ලොකු ඉඩමට. ඒකෙ වෙනම පොඩි ගෙයක් හදල මාම වත්ත වවාගෙන හිටිය. මාර පරිසරයක්. අපි හැමෝම ආසයි එහෙ යන්න. වැවකුත් තියනව. 

"හ්ම්ම්. ගීතුත් එයි"
අයිය කියනව. ගීත් කියන්න එයාගෙ යාලුව.

මං ඉතින් සද්ද නැතුව රෙදි නවනව. මට මොකෝ කොහෙ ගියාම. 

ඔන්න ඉතින් පහුවෙනිදට එලිය වැටුනු යාමෙ මමයි සීයයි යන්න ලෑස්ති උනා. අපේ අම්ම ඉතින් කිරිත් හදල දීල, කන්න දෙන්න කියල අර මල්ල ගේන්න ගියා. මෙන්න ටිකකින් අම්මගෙ අඳෝනාව ඇහෙනව. 

"අනේ ඇත්තට මෙ කොල්ලට නං දෙන්න හිතෙනව පුපුරන්න දෙකක්. උඹ දොර වහගෙන හිටියට කමක්නෑ වරෙන්කො එලියට"

"මොකෝ ලොකූ"
ඒ අපේ සීය,

"බලන්න තාත්තෙ  මේක පැණි රසවලට පුරුදු වෙලා මුකුත් තියන්න බෑ හොරෙන් කනව. මේකෙ බාගයක්ම නෑනෙ. නැගිටිද්දෙන්කො අද"
අම්ම උදේම වරම් අරන් කෑගහනව. මට මොකෝ අම්මයි පුතයි බලා ගන්නෙ නැතැයි. මං තේ බීල සීය එක්ක ආව.

හප්පේ බස් එකක පැය හතක් ඉඳගෙන යන එකේ ආශ්වාදය එක්ක මට පුදුම බැඳීමක් තියෙන්නෙ. හරියට අර බස්සි අක්ක  කියනව වගේ ආත්මීය බැඳීමක්. ඔව් ඇත්තටම. 

ඔහොම යනකොට ඉතින් ජොලි බඩගින්න ඇති වෙනව ඉබේම. එදත් මට ඒක ඒ විදියටම ඇති උනා. ඉතින් මං යන ගමන් හෙමීට බෑග් එකට අතදාල ඒකෙ තිබුණු යමක් එලියට ගත්ත කන්න කියල. 

ඔව් කන්න, මට බඩගිනි නිසා....

මං කන්න පටන් ගත්තා....

ඔන්න මට මගේ ඇහේ කොනෙන් පේනව අපේ සීය හොඳටෝම හිනාවෙනව... 

ඔව් හොඳටෝම හිනාවෙනව... හිනාවෙන ගමන් කනට කරල මෙහෙම ඇහුව..

"අම්ම අයියට ගහන්න ඇතිනේ"

"මොන පිස්සුද එයා අම්මට හොරෙන් කොස්ගහ උඩට නැගගෙන ඇති" 



-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

මේක නම් ඉතින් මගේ එකක් නෙවෙයි අපේ නගාගෙ බොහොම කල්පනාකාරී, නුවණක්කාරී, සිඟිති ටිකිරි මොලෙන් කරපු වැඩක්.

අපේ අම්මයි අප්පච්චියි උදේ වැඩට ගියාම එන්නෙ හවසට. ඉතින් ඉස්කෝලෙ ඇරිල ආවම අපි තුන්දෙනා අපේ රාජධානියෙ තනි වෙලා ඇට්ටර වැඩ කරනව නොසෑහෙන්න. 

සතියෙ එක දවසක් මටයි අයියටයි පන්තියක් තියෙනව ඉස්කෝලෙ ඉංග්‍රීසි ටීචගෙ. ඕකටත් ඉඳලයි අපි දෙන්න එදාට එන්නෙ. නගා ඇවිත් දොර වහගෙන ඉන්නව අපි එනකල්.

දවසක් ඔහොම ඉන්නකොට එහාපැත්තෙ ගෙදර අක්ක ඇවිත් නාන්ඩ ගඟට යන්න කතාකරල. මෙයත් ඉතින් ගිහින්. 

එදා අපි පන්ති ඇරිල එනකොට අම්ම ඇවිත් කලින්ම. නංගිත් පැත්තකට වෙලා ඉන්නව අඬ අඬා... 

"මොකෝ මේ"
අයිය ඇහුව. අම්ම කට තදකරන් හිනාව තදකරන් ඉන්නව. නංගිගෙ වොලියුම් අඩුවෙනවා...... වැඩි වෙනවා.....

"ඇයි අම්මෙ"
මාත් පොඩ්ඩක් බයෙන් වගේ ඇහුව.

අපේ අම්ම බෙල්ල දික්කරල දොර පෙන්නුව. මටයි අයියටයි පැන්න හිනාව මැද්දෙ අම්මත් හිනාවෙනකොට නංගි සයිරන් එකේ ෆුල් වොලියුම් මැද්දෙන් අතට අහු උනු සබ්බසකලමනාවම අපි දෙන්න දිහාට පාකරා.... 





අපි දෙන්න දෙයියනේ කියල වත්ත පහලටම දුවලයි පස්ස බැලුවෙ.

අයියටයි මටයි හිනාව නවත්තගන්න සෑහෙන වෙලා ගියා.

දන්නවද....................... 

හොරුන්ගේ සහ දැනගතයුතු සියලු දෙනාගේ දෑස්වලට පෙනෙන පරිදි පොල්ගෙඩි සයිස් අකුරින් ලියූ කොලයක් දොරේ ගහලයි අපේ නගා නාන්ඩ ගිහින් තියෙන්නෙ.

"මං තිලිනි අක්ක එක්ක නාන්ඩ යනවා. යතුර මල් පෝච්චිය යට"



Friday, October 17, 2014

හිතට හොරා.. [අවසන් කොටස ]





කිසිම විදියකින් මගේ ජොබ් එක ගැන දන්නෙ නැති අසිතට මාව නෝට් වෙන එකක් නෑ කියල හිතුවට මාව ෆොටෝස් වලින් දැකල මතක තියනවනෙ. හිතට බයක් වගේ හැඟීමක් දැනුන.

එදා රෑත් මම FB ගියා. මේ මරාලෙන් ගැලවෙන්න විදියක් හිතපං. මං මගෙ හිතටම බැන්න.

"ආ ගෑණු ළමයෝ. මොකෝ සයිලන්ට්"

"නිකන් අප්පා"

"මේ හෙටත් වැඩද"

"ඇයි ඒ. මං වෙනුවට වැඩට යන්නද? අනේ සාදු මේ පිංවතාට"

"මොකක්"

"නෑ මං මේ කිව්වෙ මෙහාට වහින්න වගේ කියාල"

"අනේ ඇත්තට.... මේ මැට්ටි හෙට නිවාඩුවක් දානවකො"

"ඇයි ඒ"

"අපේ හෙට එක්සිබිශන් එකක් තියනව. එනවකො යාලුව එක්ක"

"අම්මෝ මට බෑ. අනික මන් කියන්නමයි හිටියෙ මන් හෙට ගෙදර ගිහින් එන්න යනව"

"හදිස්සියෙම"

"හ්ම්ම්ම්. සීයට පොඩ්ඩක් අමාරුයිලු. බලල එන්න යනව මං"

"හෙට යන්නම ඕනිද"

"ඔව්, ඇයි"

"නෑ මේ........ නෑ කමක් නෑ ගිහින් එන්නකො"
................

"නංගා"

"ඇයි මැටිස්"

"බඩ්ඩක් ඉල්ලුවොත් තරහ වෙනවද"

"මොකක්ද"

"මට ඔයාගෙ ෆෝන් නම්බර් එක එවනවද"

"ඒ මොකටද"

"නෑ බැරිනම් කමක් නෑ. මට ටිකක් කතාකරන්න හිතුන මැට්ටි"
ඇත්තටම මට ඒකට බෑ කියන්න හිතුනෙ නෑ. FB හින්ද අමාරුවෙ වැටුණ අය ගැන අහල තිබුනට ගෙදර ගියාම වටින් ගොඩින් අසිත ගැන හෙව්ව නිසා මට බයක් හිතුණෙ නෑ. මගෙත් පිස්සු වැඩ. මොකට හොයනවද මේ කොල්ලෙක් ගැන.

"ඒක දෙන්න මං පගාව ගන්නව"

"හි හී,  ඒ මොකටද මෝඩි"

"ඇයි ඉතින් ඊට පස්සෙ මගෙ වැඩකරන්න තියෙන වෙලාව අඩු වෙන්න පටන් ගත්තොත්"

"ඒ කියන්නෙ දෙනවද මට"
මං දුන්න නම්බර් එක වැඩිය හිතන්නෙ නැතුවම.
ටික වෙලාවක් ගියා. කෝල් එකක් එනව. මං දන්නව මේ අසිත කියල. ගත්තෙ නෑ මං.

"මොකො ආන්සර් නැත්තෙ. මේ මං"

"කවුද මං"

"මැට්ටියෙ"

"එහෙම කෙනෙක් මෙහෙ නෑ"
එක කෝල් එකක් වත් ආන්සර් කරේ නෑ මං. ඕල්වේස් එස් එම් එස්. 
රෑ වෙනව දැනුනෙ නෑ. හ්ම්ම්.........
උදේට ගෙනියන්න ඕනි අඩුම කුඩුම පොදි බැන්දා. මොකටත් කියල හෙයාස්ටයිල් එක චේන්ජ් කරගන්න ඕනි. හ්ම්ම්ම් ලූස් හෙයා හොඳයි.

හෙට.... හෙට... හෙට... අනේ හෙටට එළිවෙන්න එපා. ප්ලීස් ගොඩ්, සේව් මී... ප්‍රොටෙක්ට් මී....

"රිතූ නැගිටපං එළිවෙලා. අද යන්නෙ නැද්ද"
දිලුව බෙරිහන් දෙනව.

"අනේ බං තව ටිකා.........ක් ඉන්න දීපං"
මං කොට්ටෙ අරන් කන්දෙක වහ ගත්ත.

"අහා, වට් අ ශේම්. ගෙට් අප් ඩියර්. හී ඊස් වේටින් ෆො යූ"

"මොකක්. මොනාද අප්පා. මගේ ලේ පුච්චන්නෙ නැතුව ඉඳින්"
ඇස් දෙක ඉස්සරහ අසිතව මැවුන. ඕහ්... ගෝඩ්...

"මං යනව. දැන් බස් එකේ"
මොකටත් මං උදේම මැසේජ් එකක් දැම්ම.

"හා. පරිස්සමින් යන්න. මං දවල් වෙලා ගන්නම්. උදේ ඉඳන් වැඩ මං"

"ඕකේ. බායි"

ස්නූස් කරපු බෙල් එක තව පාරක් වදිද්දි මං ඇඳෙන් බිමට පැන්න.

කොහොම හරි එතනට යනකොට අටයි. හතරවටේ කැරකි කැරකි ඕපයක් දෙකක් හොයා ගත්ත. දැන් ඉතින් කාවහරි සෙට් කරගෙන පිටට පේන වැඩේ කරන්න ඕනි.

"මේ එක්ස්කියුස් මී. මම ..... පත්තරෙන්. අද මෙහෙ තියෙන ප්‍රොග්‍රැම් එක කවර් කරන්නයි ආවෙ. මට අයි ටී සෙක්ශන් හෙඩ් මීට් වෙන්න ඕනි. පොඩ්ඩක් උදවු කරනවද?"

"ඕකේ ඕකේ අපි බලන් හිටියෙ තාම නැත්තෙ මොකද කියල එන්නකො යන්න"

.................

"සර්, මේ අර නිව්ස් පේපර් එකෙන්"

"ආ. එන්න එන්න මිස්. ටේක් අ සීට්"

"තැන්කියු සර්"

"මිස්ට නුවන් කිව්ව අලුත් කෙනෙක් කියල. එහෙනම් හොඳට වැඩේ කරල දෙන්නකො අපිට. ඔක්කොටම කලින් අපි ගෲප් ෆොටෝ එක ගමුද? මේ සැරේ ඉන්නෙ නාහෙට අහන්නෙ නැති සෙට් එකක්. අන්තිම වෙනකොට හොයාගන්නත් නැති වෙයි."
හි හී මට හොඳටම හිනායන්න ආව අසිතව මතක් වෙලා. උදේ ඉඳන් මෙයාලගෙ කෝලං මං දැක්කනෙ. සර්ව හොඳට මඩවනව ඇති.

කට්ටියම ආව. මං කැමරාව එහාට මෙහාට කැරකුව. කෝ මං හොයන කෙනා. ආ මේ ඉන්නෙ. මං එයාව හොයාගත්ත. ගෲප් ෆොටෝ එක හරි. තව ගත්ත මං. එකක්... දෙකක්... නෑ ඊට වැඩි ඇති. ගිහින් බලනව.

ඒත් එකපාරම දැක්ක දේ නිසා මාව ගැස්සිල ගියා. එයා බලාගෙන ඉන්නව මං දිහා. මුකුත් නොවුන වගේ මං කැම් එක චෙක් කරන්න ගත්ත..... එයා ෆෝන් එක අතට අරන් මොනවද කරන්නෙ.

දෙයියනේ මගෙ කරුමෙ. ෆෝන් එක වයිබ්‍රේට් වෙනව. වෙලාව නරකම නෑ. මං නොදන්න ගානට හිටිය.

"අසියා, උඹ මොකද ඔතන කරන්නෙ වරෙන්කො"

"විනාඩියක් දියන්"

"මේ උඹේ විනාඩිය එස් එම් එස් වලටද? හසී මරයි තෝව"

මාව ගැස්සුනා. කවුද "හසී".

එයාල ගියා. මාත් එක්සිබිශන් හෝල් එක පැත්තට එන ගමන් ෆෝන් එක බැලුව. මැසේජ් එකක්..

"කොහෙද ඉන්නෙ"

"කඩුවෙල"

"ඇයි අන්සර් කරේ නැත්තෙ"

"ඇහුනෙ නෑ"

"හ්ම්ම්"
මේ මගුල කීයට ඉවර වෙයිද. මගේ වැඩේ කරගන්නත් එපැයි. හෙමීට ළමයෙක් ලඟට කිට්ටු උනා.

"ඔයත් මේ අවුට් වෙන බැජ් එකේද"

"ඔව් අක්කෙ"

"කොහොමද ඔයාලගෙ ස්ටඩීස් වෙන්නෙ. ඒ කිව්වෙ ඔක්කොම පර්මනන්ට් ලෙක්චරස්ලද නැත්තම් විසිටින් ඉන්නවද"

"දෙගොල්ලොම තමයි"

"හා හා. එතකොට ප්‍රැක්ටිකල් එහෙම හොඳට වෙනවද"

"ඇයි එහෙම ඇහුවෙ අක්කෙ"
මං ඉතින් මගේ පුන්චි ටිකිරි මොලේ පාවිච්චි කරා.

"නිකන් නංගි. මටත් කරන්න හිතුන. ඒකයි. මේ,නංගි ඔයාලගෙ බැජ් එකේ ගෑණුළමයි ගොඩක් ඉන්නවද"

"නෑ අක්කෙ. අපි අටක් විතර ඉන්නෙ. ඔක්කොම බෝයිස්ල. ලංකාවෙ හතරවටේම අය ඉන්නවනෙ. එන්නකො යන්න අපෙ යාලුවො ඉන්න තැනට"

දෙපාරක් නොහිතම මං ගියා. වෙන මොකටවත් නෙවෙයි "හසී"ව හොයාගන්න.

"එන්න අක්කෙ, මේ ඉන්නෙ අපේ සෙට් එක. නිපුනි, දනූ, හිමායා, රංගි... එතකොට අනිත් අය නම් නෑ. අර පැත්තෙ ඉන්නෙ. ම්ම්ම්ම් පෝඩ්ඩක් ඉන්න අක්කෙ, අර අර අතන ඉන්න එක්කෙනාව පේනවද අර පොතක් අතේ තියන් ඉන්නෙ"

"අර බෝයි ලඟ ඉන්න කෙනාද, ස්පෙක්ට්ස් දාගෙන ඉන්නෙ"

"ඔව්. එයා හසිනි. එයත් අපේ බැජ් එකේ. මළ ඇනයක්"
ආහ් එහෙනම් මෙයයි "හසී". මට ගිහින් හොඳ කනේ පාරවල් දෙකක් දෙන්න හිතුන. ඒත් මොකටද?

"ඇයි එහෙම කියන්නෙ"

"පිස්සු අනේ එයාට. කොයිවෙලේ බැලුවත් අපේ බැජ් එකේ ඉන්නව අසිත කියල බෝයි කෙනෙක්, එයාගෙ පස්සෙමයි"

"එහෙනම් දෙන්නගෙ අෆෙයර් එකක් ඇති"
පපුව නිකන් සීතල වෙලා යද්දි මං කිව්ව.

"පිස්සු අක්කෙ අසිත කාටදෝ මැරීගෙන ලව්. මේකි පස්සෙන් යනව"
මට මුකුත් කියන්න ලැබුණෙ නෑ.... කෝල් එකක් ආව. වටපිට නොබලම මං ආන්සර් කරා.
ෆෝන් එක බෑග් එකෙන් ගනිද්දි මොකක් හරි වැටෙනව දැනුනට මට ඒක අමතක උනා.

"රිතූ වැඩේ ඉවරද"

"සර්, වැඩේ නම් ඉවරයි"

"එහෙනම් හෙට උදෙන්ම එන්න. තව වැඩක් තියනව. ඔයාටයි, හර්ශටයි යන්න වෙනව"

"හොඳයි සර් මං උදෙන්ම එන්නම්"

"අක්කෙ යන්න කලින් අපි පොඩි ගමනක් යමුද"

අනේ මංද ආවෙ රාජකාරි වැඩකට. අක්කෙ අක්කෙ කිව්වට මොකෝ මගෙ වයසෙම උන් ටිකක් නිසා බෑ කියන්න බැරි උනා. දවස ගත උණා දැනුනෙ නෑ. මගෙ වැඩෙත් හරි. පුලුවන් හැම වෙලේම අසිතව මගහැරෙන විදියට හිටිය. එදා හවස අපි හැමෝම ගියා එතන තිබුණු පාර්ක් එකට.

මාර ෆන් එකේ හිටියා කාලෙකට පස්සෙ. ඒත් යන්න ලෑස්ති උනාමයි දුක හිතුනෙ. සමහර විට මේ මං අසිතව දැකපු මුල්ම අවස්ථාව වගේම අවසාන එකත් වෙයි. එයා කවදාවත් මාව දකින එකක් නෑ. අනික හිටිය ටික වෙලාවෙ තේරුනා හසී අසිතට ලඟ වැඩී කියල. අපි දුරයි.......

එක එක්කෙනා යන්න ගියා. ඒත් මං....

"ගෑණු ළමයො යන්න අදහසක් නෑ"
ඒ ශානුක. කටකාරයි. පිස්සෙක්.

"ඔයාල යන්න ශාන්, මං ටිකක් ඉඳල එන්නම්"

"අහා... කොල්ල එනව කිව්වනම් ඉවරනෙ. අපි දැක්ක ඉතින් මෙතනට ආව වෙලේ ඉඳන් ඇඟිලි කඩාගෙන එස් එම් එස් ගහනව. අනේ මංද ඉතින්"

"ගයනි දන්නවද මේ අපේ අසිතයටත් ඔය ලෙඩේ තියෙනෝ. හැබැයි ඉතින් මූ නම් ඇහින්වත් දැකල නැති.........."
නාරදට කියල ඉවර කරන්න උනේ නෑ. (ගයනි කියන්නෙ මෙයාලට මාව අදුන්නලා දුන්න මගෙ බොරු නම)

"බට්ටා නවත්තපන් ඕක"
අසිත කෑ ගැහුව.

"ඕකේ ඕකේ. තෝ ඕන මගුලක් කරගනින්. බැරිනම් ඕකත් එක්කම වැලලියං"
කට්ටියම යන්න ගියා.

මට එකපාරම අසිත දිහා බැලුනා. එයත් බලාගෙන.

"මං එයා එනකල් ඉඳල යනව. ඔයාල යන්න"
මං කිව්ව.

මට යන්න හිතුනෙ නෑ. නිකන් තනිවෙලා වගේ දැනුන මට. මං දිලූට කෝල් එකක් ගත්ත.

"රිතූ. කොහෙද උඹ"

"මං පාක් එකේ. එනවද සමීර එක්ක"

"රිතූ මොකද උනේ"

"ප්ලීස් දිල් එන්න"

"ඔතනම ඉඳපන් මං එනව"
.....................

එස් එම් එස් එකක්
"නංගියො"

"ඇයි"

"කොහෙද ඉන්නෙ"

"ගෙදර"

"බොරු"
මාව ගැස්සුණා. වටපිට බැලුවට කවුරුත් නෑ.

"ඇත්ත"

"එහෙනම් මෙතන මොකද කරන්නෙ"
 කන ළඟින් ඇහුනු කටහඬ මාව ටික වෙලාවකට ගල්පිලිමයක් කරා.

දෙයියනේ අසිත..

"අසිත"

"කුවේණි මොකද මෙතන කරන්නෙ"

"කුවේණි???"

"හිතුවෙ මං බබෙක් කියලද ආ???"

"අසිත"

"උදේ ඉඳන් හෙව්වෙ කවුද ඔයා කියල. මගේ ඇස් රවට්ටන්න ඔයාට බෑ නංගා. මොන පිස්සුවක්ද මේ. කොන්ඩෙ කඩාගෙන, මේක් අප් දාගෙන..."
මට කියන්න දෙයක් තිබුනෙ නෑ.

"අයියෙ"

"පිස්සි...මෝඩි... "

"අයියෙ"

"මාව පිස්සෙක් කරන්න එපා තවත්"

"අනේ ඉතින්"

"ප්‍රොමිස් වෙන්න මට"

"මොකටද"

"ආයෙත් කුවේණි වෙන්නෙ නෑ කියල"

"කොහොමද ඒක දැනගත්තෙ"

"අද උදේ. ඔයාව දැක්කට පස්සෙ"

"ඉතින්"

"මෙන්න මේකෙන්"
මට අසිත කොලයක් පෙන්නුව. මගෙ දෙයියනේ.  ඒක කොහොමද වැටුනෙ මගෙ අතින්. මගේ ජීවිතෙත් පරදුවට තියාගෙන කුවේණි නමින් මං ලියන ආටිකල් එක අසිතගෙ අතේ තිබුණ. ඒකෙ තිබුණෙ මං පත්තරේට ලියාගෙන ආව ආටිකල් එකක ඉතුරු බාගෙ.. ෆෝන් එක බෑග් එකෙන් ගනිද්දි වැටුනෙ මේකද....

"රිතූ"

"දිල්"

"මොකද උනේ"

"මොකද උනේ දරුවො"
සමීරයි, දිලුයි තරඟෙට අහනව. මට හිනා ගියා.

"දිල්, මේ අසිත"
මං අසිතව පෙන්නුව.

මගේ ජීවිතේ මං ආසම කරපු දවස් මට ලැබුනෙ ඊට පස්සෙ. දිලූ... සමීර වගේම අනිත් හැමෝම අපි ගැන සතුටු උණා. ඒ ආඩම්බරකාරයා මගේ උණා. 

මං ටික කාලෙකින් කුවේණි කියන චරිතෙන් ඈත් උනා. තනියෙන් ඉන්න කොට වගේ නෙවේනෙ. ජීවිතේ ලොකූ අවදානම් ගන්න අමාරුයි දැන්.





~ සමාප්තයි ~


___________________________________________________________________________________________________________________________________________________

ප.ලි.

පළමු කොටසින් පසු ඉතිරිය ඉක්මනින් පෝස්ට් කරන්න බැරි උනාට සමාවෙන්න යාලුවනේ. එකපිට ආව කරදර ගොඩයි. මළගෙවල් දෙකක් (මගෙ යාලුවගෙ තාත්තා සහ තවත් යාලුවෙක්ගෙ අය්ය ) වෙනුවෙන් කාලය වැය කරා. ඉන්ටර්විව් එකක් සහ තවත් වැඩ ගොඩක් තිබුණ. ප්‍රමාදය නිසා රසය නැති වෙලා ඇති කියල හිතෙනව.

Monday, October 6, 2014

හිතට හොරා..






කම්මැලියි හොඳටම... දැන්නම් එපා වෙලා. ඉලක්කම් එක්ක හැප්පෙන ජීවිතේ කවදා අකුරු එක්ක ගෙවන්නද මන්දා. ඊයෙත් දිලූ බැන්න.

"මොකක්ද බං, එපා වෙලා වගේ ජොබ් එක කරන්න එපා. පත්තරේකවත් ජොබක් හොයාගනින්. අඩුමගානෙ උබේ ඔය මැලවෙච්ච මූනෙ එතකොටවත් හිනාවක් තියෙයි"

"ගනන් අප්පිරියයි බං"

"ඒකනෙ. ඉඳපංකො මං සමීරටවත් කියල බලන්නං"

"හ්ම්ම්"
පුංචි කාලෙ ඉඳන්ම මගේ ආසාව ලියන්න. ඒත් මගේ කරුමෙට මන් හෙව්ව විදියෙ රස්සාවක් මට ලැබුනෙ නෑ. ආර්ථිකේ දුර්වල වෙනකොට ලැබුන රස්සාව කරන්න මං හිත හදාගත්ත. ඒත් මේක නෙවෙයි මගේ ජීවිතේ.

ලැප් එක ඕන් කරගත්ත. දැන් ඉතින් ෆේස්බුක්. මගේ පාලුව මකන, මගේ අදහස් එළියට දාන එකම තැන.

ඔහ්... මැසේජස්. කවුද මේ.
ම්ම්ම් අසිත.. පිස්සු කොල්ල. කෝ බලන්න.

"හෙලෝ.. ගෙදර කවුද....."
"එනවකො මෝඩි"
"මැට්ටි. ඇයි ලේට් මං යනව"
හ්ම්ම්.. තව ගොඩක් මැසෙජ් එවල. එයාම විතරයි. වෙලාවකට මටත් පිස්සු.

"මැට්ටො මට වැඩ. දැනුයි ෆ්‍රී උනේ"

"මොකෝ ඕෆ් ලයින්"

"අහ් ඔයා හිටියද"

"මන් තරහයි"

"මෙන්න වැඩක්, ඒ මොකද"

"මං ගැන ගානක්වත් නෑ ඔයාට"

"ඔව්. මට වැඩ"

"නපුරි"
අසිත ජොබ් එකක් කරන කෙනෙක් නෙවෙයි. එයා තාම ඉගනගන්නව. මම නම් දෙකම එකට. වෙලාවකට කරදරයි. ඒත් කාටවත් වදයක් නෑනෙ.

ඒ අස්සෙ කවුද දොරට ගහන්නෙ,
"රිතූ"

"පොඩ්ඩක් හිටින්. මේ එනව"

"මොකෝ බං දොර අරින්න පරක්කු, ආහ් මට හිතුන.. මට හිතුන උඹ චැටක කියල"

"බෙරිහන් නොදී හිටපන්"

"ආ... ගනින් මේක"

"මොකක්ද මේ"

"කියෝල බලපන්."
මට දැනුනෙ මුලු ලෝකෙම ලැබුන වගේ. මං නොහිතුව දෙයක්. ඒක පේපර් ඇඩ් එකක්. සමීර හොයල දීල මට දෙන්න කියල. පවු. දිලුයි සමීරයි හරියට මහන්සි වෙනව වෙලාවකට. අහම්බෙන් හම්බුනත් හිත හොඳ යාලුවො දෙන්නෙක්.

*****************************************************************************

"දැන් මිස් රිතූ මේ පේපර් ඇඩ් එකට ඇප්ලිකේශන් දැම්මෙ හොඳට හිතල බලලද"

"ඔව් සර්"

"ඔයා නොහිතුවට මේක ලොකු රිස්ක් එකක්. අනික අපි බලාපොරොත්තු වෙන්නෙ මේල් ආටිස්ට් කෙනෙක්. මොකද ආරක්ශාව පිළිබඳ වගකීම වැඩිය ගන්න බෑ අපිට"

"ඇත්ත සර්. ඒත් පිරිමි කෙනෙක්ට වගේම වගකීමක් බාර අරන් කරන්න හැකියාව අපටත් තියනව"

"හොඳයි අපි මෙහෙම හිතමු. ඔයාට දෙනව රසවින්දන ආටිකල් එකක් කරන්න. කවි, නිසඳැස් වගේ පිටුවක්. ඔයාගෙ එකක් අනිවාර්යෙන්ම වැටෙන්නත් ඕනි. දැන් හදන්න පුලුවන්ද. හැබැයි මං ගැන"

මට ආපු හිනාව නවත්තගත්තෙ බොහොම අමාරුවෙන්. මෙයාට කවියක් හැදුවොත් යම රජ්ජුරුවන්ට තමයි සමාන කරන්න වෙන්නෙ.රතු ඇස්... මහත බඩ... උඩු රැවුල... ඔක්කොටම වඩා කොටමහත, නියපොතු ලොකු ඇඟිලි... හික්ස්....

"මෙහෙමයි සර්... මට කරන්න පුලුවන්. ඒත් ඒක තාත්ත්වික නෑ. හදවතින්ම එන හැඟීමක් නෙවෙයි. එහෙම වෙන්න මට බෑ"

එතනින් එළියට මං ආවෙ හිස් වෙච්ච හැඟීමෙන්. ඒත්.......

"මිස්"
කන ළඟින් ඇහුණු හඬට මං ගැස්සුණා.
දැකල පුරුදු මූණක්.

"මිස්ට මාව මතකද"

"සර්, ඉන්ටර්විව් බෝඩ් එකේ......"

"හරි හරි. මතකයි එහෙනම්"

"ඒත් සර් මෙතන. තාම ඉන්ටර්විව් ඉවර නෑනෙ"

"ඔයා හිතුවෙ මාත් ඒ පත්තරේ කියලද දරුවො"

"නැතුව බෝඩ් එකට ඉන්නෙ නෑනෙ සර්"

"ඔයාගෙ තර්ක නම් මරු. මං මේ ආවෙත් ඒකයි. මමයි, විජිතයි යාලුවො. ඒ නිසයි මාත් ආවෙ. යාලුකම වෙනයි, රස්සාව වෙනයි. දෙයක් දැනගන්න ආවෙ මම. ම්ම්ම්.......මෙහෙම කියන්න බෑ. මෙන්න මගේ පත්තරේ එඩ්‍රස් එක. හෙට උදේ නවයට එන්න මාව මීට් වෙන්න"
මගෙ අතට විසිටින් කාඩ් එක දීල එයා ගියා.

රෑ පුරා කල්පනා කලත් හිතාගන්න බැරි උනා. කමක් නෑ කියල හිතාගෙන මං ඒ සර්ව මීට් උනා. ඔන්න ඔහොමයි මං මගේ ආසාව ඉටු කරගත්තෙ. 

මම පත්තරේට ලිව්වෙ මගේ නමින් නෙවෙයි. ඒක කවුරුත් දන්නෙ නෑ. පත්තරේ ටික දෙනෙක් ඇරෙන්න. අඩුම ගානෙ සමීරවත්, දිලූවත්. අහන්න උන් පත්තරේ බලන්නෙත් නෑ. මගේ ජොබ් එක අහන අයට මං කිව්වෙත් බොරුවක්. නිතර චැට් කරන අසිතටත්.

දවසක් වැඩ ඇරිල එනකොට සමීර ඇවිත්. මූටත් කෙල්ලව නොදැක දවසක්වත් ඉන්න බෑ.

"මේ දිලූ, කෝ අර ඉස්සර මූණ හපුටු කර ගෙන ඉන්න ඔයාගෙ යාලුව"
යකෝ මේක හදන්නෙ මාව මඩවන්න. ඒව කොහෙද.....

"ආ ඒකිට පයින් එකක් දීල එලෝල මං ආව දිලූගෙ තනියට"
සමීරයි - දිලුයි හිනාවෙනව. දිලූට අතට අහු උන කුශන් එකෙන් ගහල මං කාමරේට ආව.

අපි දැම්ම පුංචි පාටියක්. සමීර, දිලූ, මම......... කවුරු හිටියත් පොඩියට පාලුවක් දැනෙනව. එකපාරටම මතක් උනේ අසිතව. FB ලොග් වෙන්න ඕනි රෑට. 

"මොකෝ කල්පනාව"

"මුකුත් නෑ සමීර"

"අනේ නිකන් ඉදින්. මේ ඕකට හොඳ බේතක් නම් තියනවා..............."

"අනෙ මේ, කටවහගෙන ඉඳපන්. මට තියෙන වැඩ එක්ක බබාලව නළවන්න වෙලා නෑ"

"හිටියනම් නලවන්නෙ නැතුවම ඉදී නැද්ද සමී"

"ඒ පාර උඹත් පටන් ගත්තද.. දිලූ............. උඹල ඕන මගුලක් කරගනිල්ල මං යනව"
උන් දෙන්නට පාඩුවේ ඉන්න දීල මං කාමරේට ආව. අසිත එක්ක කතා කරන්න ඕනි.

ම්ම්ම් මෙන්න මෙයා ඔන්ලයින් 
"මිස්ට මැටිස් මට හොරෙන් FB ආව නේද"

"ඇයි ඔයත් එන්නෙ"

"හරි හරි. කාලද ඉන්නෙ"

"ඔව්"

"හ්ම්ම්"

"ඇයි"

"නිකන්"

"ඔයා කාලද නංගා"

"අද පාටියක්"

"කාගෙද"

"කවුරුත් නෑ. මමයි දිලුයි සමීරයි"

"හ්ම්ම්ම්, නංගි.."

"ඇයි"

"ගෙදර යන්නෙ නෑ"

"නිවාඩුවක් හම්බුනේ නෑ අය්යෙ"
අසිත එක්ක කතාකරද්දි අමුතු හැඟීමක් දැනෙනව. හරියට එයා මගේ වගේ. ඒත් කවදාවත් දැකල නෑ. අපි එකම පළාතක. ඒත් දැකල නෑ. අහම්බෙන් හම්බුනේ  FB එකෙන්. ඉන්නෙත් මේ කලබල නගරෙමයි. 
ඒත්..... එයාට කෙනෙක් ඉන්නව ඇති. මටත් පිස්සුනෙ.

*********************************************************************************

"රිතූ"

"සර්"

"කතා කලේ පොඩි වැඩක් බාර දෙන්න"

"කියන්න සර්"

"මෙන්න මේ එඩ්‍රස් එකට හෙට උදේම යන්න. ඔය ඉන්ස්ටිටියුට් එකේ තියෙන ප්‍රෝග්‍රම් එක කවර් කරන්න. කිසිම වෙලාවක තමන් කවුද කියල අර නමින් අදුන්නල දෙන්න එපා. අලුත් කෙනෙක් කියන්න. මේ බාර දුන්න වැඩේ ඇතුලෙ තියන කතාව ඔයාට අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ."

සර් බාර දුන්න වැඩේ මට හොඳටම තේරුනා. මං මගේ ටේබල් එකට ඇවිත් විස්තර ටිකක් හොයන්න ගත්තා. ඒත් එක පාරටම මට මතක් උනේ අසිතව. 

මාව අහුවෙයිද?



~ මතු සබැඳි ~